ලංකා බැංකුව අසාදු ලේඛනයට පත් වීම වැලැක්වීමට යැයි කියමින් සැප වාහන ගෙන්වන්නේ නම්, දැන් ජනතා හිතේෂි ආණ්ඩුව කළ යුත්තේ එම සැප වාහන ප්‍රසිද්ධියේ වෙන්දේසි කර එම මුදලින් කොවිඩ් මර්ධනය හා ජනතාවට අත්‍යාවශ්‍ය සහන සැලසීමයි. 

ශ්‍රී ලංකාව සිටින්නේ, දැවැන්ත ණය බරකය. ආර්ථික අර්බුදය තුළ මේ තරම්වත් ශ්‍රී ලංකාව පවතින්නේ එයට සොබාදහමෙන් ලැබී ඇති ආශිර්වාදයන් හා මාසිකව විදේශ විනිමය උපයා දෙන පිරිස් නිසාවෙනි. එසේ නොවන්නට ශ්‍රී ලංකාව මේ වන විට පැවතිය යුත්තේ මීට වඩා ඛේදනීය තත්වයකය.

පසුගිය මාර්තුවේ සිට කෝවිඩ්-19 වසංගතයට ගොදුරු වූ ශ්‍රී ලංකාව ඉහත කී ආර්ථික අර්බුදය තුළ වගා කළ යුතු ව තිබුණේ අනාගතය දකිමින් සෞඛ්‍ය, අධ්‍යාපනය හා කෘෂිකර්මාන්තයට ප්‍රමුඛතාවය දෙමින් අනිකුත් සියලු ප්‍රමුඛතා නොවන ව්‍යාපෘති ටික කලකට හෝ පමා කිරීමයි.

නමුත් තුනෙන් දෙකක බලයක් ජනතාව විසින් ලබාදුන් රජයේ පළමු අයවැය තුළම ඒ ප්‍රමුඛතා ගිලිහී තිබුණි. කෝවිඩ් මත බිඳ වැටනු සෞඛ්‍ය හා අධ්‍යාපනයට වෙන් කිරීම් වර්ධනය කරනු වෙනුවට කප්පාදු කර  තිබුණි.

කෝවිඩ් තෙවන රැල්ල හෙවත් අලුත් අවුරුදු රැල්ල බරපතල වන විට කෝවිඩ් එන්නත් සඳහා ආණ්ඩුව කිසිදු පෙර සැලසුමක් නැතිව ක්‍රියා කර තිබීමේ ගැටළුව කෝවිඩ් එන්නත් පාදඩකරනයක් දක්වා වර්ධනය විය. එහි වගකීම සෞඛ්‍ය අංශය වෙත ‍බැර කරන ආණ්ඩුවේ ප්‍රධානීන්ගේ ප්‍රකාශන පිළිකුලෙන් හෙලා දැකිය යුතුය. 

ඒ සියල්ල තුළ මෙරට පොදුජන නායකයා දේශප්‍රේමී නායකයා යැයි වර නංවන මහින්ද රාජපක්ෂ මහතා මැයි 15 වනදා කැබිනට් පත්‍රිකාවක් ගෙනෙන්නේ මන්ත්‍රීවරු සඳහා සැපවාහන 399 ගෙන්වීමටයි. රටේ දවසකට විස්ස තිහ මිය යන මොහොතක එවැනි යෝජනාවක් ගෙන ආ හැක්කේ කවර නම් නායකයෙකුටද ? ඊට අත් ඔසවා අනුමැතිය දිය හැක්කේ කවර නම් නායකයින්ටද ?

ජනතා විරෝධය මත මැයි 18 ඒ තීරණය අවලංගු කරන බව නිවේදනය කෙරුනු අතර, එය නොබො දිනකින් ක්‍රියාත්මක වනු මිසක වෙනකක් නොවන බව සාමාන්‍ය බුද්ධිය ඇත්තෝ කීවෝය.

දැන් ඒ සඳහා ණයවර ලිපි විවෘත කර ඇති නිසා අවලංගු කළ නොහැකි යැයි කියමින් වාහන ගෙන්වීම සිදු වේ. කැබිනට් අනුමැතිය ලද වහාම ණයවරලිපි යැවීමට තරම් වන කාර්යක්ෂමතාවයක් මේ රටේ වේද ? 

අනුමැතියටපෙරම ඒවා සකසා නොතිබුණාද ? එවැනි කාර්යක්මතාවයක් කොවිඩ් එන්නත් සම්බන්ධයෙන් හෝ ගං වතුර ව්‍යසනය මත 19 දෙනෙකු මිය යන තත්ත්වයක් තුළ හෝ වෙනත් කවර ජනතා ප්‍රශ්නයකදී මේ පාලකයින් පෙන්නුම් කර තිබේද ? 

ලංකා බැංකුව අසාදු ලේඛනයට පත් වීම වැලැක්වීමට යැයි කියමින් සැප වාහන ගෙන්වන්නේ නම්, දැන් ජනතා හිතේෂි ආණ්ඩුව කළ යුත්තේ එම සැප වාහන ප්‍රසිද්ධියේ වෙන්දේසි කර එම මුදලින් කොවිඩ් මර්ධනය හා ජනතාවට අත්‍යාවශ්‍ය සහන සැලසීමයි. 

අහෝ බොරුකාරයින් බලයට පත් කරන ඔබට වන විපතක මහත.

ඔබට සාගින්නේ මිය යාමට සිදුවනු ඇත.

Jesustoday.lk 5 වන වසර 15 වන සතිය 2021 ජුනි 13 වන ඉරිදා

Comments powered by CComment