යුක්තිය පතා වන ගමන තුළ යා යුතු දුර බොහෝය. එය නියම ගමනක් වන්නේ සියල්ලන්ගේ යුක්තිය සඳහා පෙනී සිටින තැනට පත්වීමත් සමගය.

 

අප්‍රියල් 21 ප්‍රහාරයට යුක්තිය ඉටුකර ගැනීමේ ක්‍රියාන්විතයේ යෙදී සිටින එක් ප්‍රධාන චරිතයක් වන සිරිල් ගාමිණි පියතුමා අත් අඩංගුවට ගැනීම වළක්වන නියෝගයක් ඉල්ලු ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම සලකා බැලු පසුගිය 08 වනදා පියතුමන්ට සහය දැක්වීමට කතෝලික පැවිදි සොයුරි සොයුරියන් හා සාමාන්‍ය වැසියන් විශාල පිරිසක් උපරිමාධිකරණ සංකීර්ණ ඉදිරිපිට මාර්ගය දෙපස රැස් වී නිහඬ විරෝධතාවයක නිරත වූහ.

උපරිමාධිකරණය සංකීර්ණය අභියස විවිධ ජනතා ගැටළුවලට අදාලව සිදුවන විරෝධතාවලදි සාමාන්‍යයෙන් දකින කතෝලික පියතුමන්ලා හත් අට දෙනා වෙනුවට මේසා විශාල පූජක පැවිදි පිරිසක් ඉතිහාසය තුළ ගොනුවු අවස්ථාව මෙයයි.

මෙය ක්‍රිස්තියානි පිළිබඳ ඉතා වැදගත් කරුණු දෙකක් එකවර මතු කරයි. පළමුවැන්න නම් කතෝලික ප්‍රජාව ‘තමන්ගේ එකා වෙනුවෙන්‘ නැගී සිටීමට පෙරට විත් තිබීමයි. දෙවැන්න ඔවුන් මෙතෙක් මීට වඩා රටට අහිතකර කරුණුවලදි නිහඬව සිටි බවයි.

ඒ නිසා මෙය ක්‍රිස්තියානිය පිළිබඳ පරීක්ෂණයක් බවට පත් වී තිබේ. එය නිහතමානීව පිළිගැනීමට සූදානම් නම් පමණක් මේ විරෝධතාවය ක්‍රිස්තියානියේ දිවැසිවර මෙහෙවරට සාක්ෂි දැරිම් නව යුගයක ආරම්භයක් කරගත හැකි වනු ඇත.

‘සිරිල් ගාමිණි පියතුමා මේ අවස්ථාවේ අත්අඩංගුවට ගැනීමේ සූදානමක් නැතැයි’ සී. අයි. ඩි ය අධිකරණයට දැනුම් දීම තුළ නොකියවෙන කාරණය වන්නේ වෙන අවස්ථාවක එසේ කිරීමට බැරිකමක්ද නැති බවයි. එසේම විනිසුරු මඩුල්ල දුන් තීරණය වන්නේ ‘නීතිපතිවරයාගෙන් උපදෙස් ලබාගෙන නිසි දැනුම් දීමකින් ප්‍රමාණවත් කාලයක් ලබා දී පෙත්සම්කාර පියතුමාගේ ප්‍රකාශ සටහන් කරගන්නා ලෙස දැනුම් දීමයි.

යුක්තිය පතා වන ගමන තුළ යා යුතු දුර බොහෝය. එය නියම ගමනක් වන්නේ සියල්ලන්ගේ යුක්තිය සඳහා පෙනී සිටින තැනට පත්වීමත් සමගය.

Jesustoday.lk 5 වන වසර 36 වන සතිය 2021 නොවැම්බර් 14 වන ඉරිදා 

Comments powered by CComment