ගොවි ජනතාව වගා හානියට වන්දි ඉල්ලලා පාරට පැමිණීම යුක්ති සහගතය. මන්ද රජය ඔවුන්ගේ වගා හානි ගැන වගේ වගක් නැතිව සිටින නිසාය.

 

සහල් මෙට්ට්‍රික් ටොන් ලක්ෂ 3 ක් ආනයනයට කැබිනට් අනුමැතිය. 

රටින් ගේන දේවල් කාලා වකුගඩු ලෙඩ හැදෙන්නේ නැද්ද ?

ගොවියන්ගේ මහ පාරේ අරගලය අඛණ්ඩව හෙට සිට !

ඉහත දැක්වෙන්නේ ජනවාරි 12 වන බදාදා අද පුවත්පතේ පළවූ ප්‍රවෘත්ති තුනක සිරස්තලය.

රජය කාබනික පොහොර වගාව ප්‍රවර්ධනය කිරීමට රසායන පොහොර ගෙන්වීම නතර කිරීමට ගත් තීරණයත් සමග කෘෂ ක්ෂේත්‍රයේ ඇති වු අර්බුදය ගොවි පවුල් මෙන් රටේ සමස්ථ ජනයා විශාල පීඩාවකට පත් කර තිබේ.

පසුගිය මාස් කන්නයේ ආහාර භෝග වගාවන්හි ඇති වු බිඳ වැටීම ඉදිරියේදි රටේ බලවත් ආහාර අර්බුදයක් ඇති කරනු ඇති බව රජයටද දැනි තිබෙන නිසා හාල් ගෙන්වීමට තීරණය කළ බව පෙනේ. එහෙත් රට තුළ ප්‍රමාණවත් හාල් තොග තිබෙන බව ගොවීන් හා ‍ ගොවි සංවිධාන පවසති. 

සමස්ත ලංකා ගොවිජන සම්මේලනය පවසන්නේ මාස් කන්නයේ වී අස්වැන්න 50%කින්ද එළවළු හා පළතුරු අස්වැන් 60%කින් ද අඩු වී තිබෙන බවයි.

මේ නිසා වගා ණය ගෙවාගත නොහැකි තත්ත්වයට පත් වු ගොවි ජනයා 13 වනදා සිට අඛණ්ඩව මහ පාරේ අරගලයක් ආරම්භ කරන බව එම ගොවි සංවිධානයේ ජාතික සංවිධානයකවරයා පවසා තිබුණි.

 රසායන පොහොර පිටරටින් ගෙන්වීම රජය නැවැත්වූයේ රසායන පොහොර හරහා වකුගඩු රෝගය ඇතුළු රෝග ගණනාවකට ජනතාව ගොදුරුවන බව පවසමිනි. නමුත් දැන් රජය රසායන පොහොර නොගෙනාවට පෞද්ගලික අංශයට රසායන පොහොර ගෙන ඒමට අවසර දී ඇත. එසේම ඇති වු අර්බුදය හමුවේ පිටරටින් සහල් ඇතුළු ආහාර වර්ග ගෙන ඒමට රජය තීරණය කර ඇත.

මේ තත්ත්වය ගැන අදහස් දක්වන වන්නියලැත්තෝ මෙසේ පැවසු බව අද පුවත්පත වාර්තා කර තිබුණී.

“මිනිස්සු ලෙව වෙනවා කියලා ආණ්ඩුවෙන් බෙහෙත් පොහොර ගේන එක, දෙන එක නැවැත්තුවා. අද වෙන කොට රට පුරා කොම්පැනිවලින් විශාල මුදල් අය කරමින් ගොවි ජනතාවට පොහොර අලවි කරනවා ආණ්ඩුවෙන් පොහොර දෙන කොට විතරද මිනිසුන්ගේ වකුගඩු නරක් වන්නේ ? කොම්පැනිවලින් දෙන කොට වකුගඩු නරක් වෙන්නේ නැද්ද ? රටේ ගොවිතැන අසාර්ථික වෙන කොට පිටරටින් ආහාර ද්‍රව්‍ය ගෙන්වනවා කියලා ඇමතිවරු උජාරුවට කියනවා. එතකොට ඒ රටවල්වල බෙහෙත් පොහොර ගහලා නොවෙයිද ඒවා වගා කරලා තියෙන්නේ ? රටින් ගේන දේවල් කාලා වකුගඩු ලෙඩ හැදෙන්නේ නැද්ද ?

මේ ප්‍රශ්න ඉතා වැදගත්ය. මෙයින් මේ ක්‍රියාවලියේ පවතින විහිළු සහගත තත්ත්වය පැහැදිලිව පෙනී යයි.

ගොවි ජනතාව වගා හානියට වන්දි ඉල්ලලා පාරට පැමිණීම යුක්ති සහගතය. මන්ද රජය ඔවුන්ගේ වගා හානි ගැන වගේ වගක් නැතිව සිටින නිසාය.

රජය වහාම ගොවි ජනයාට සහන දිය යුතු අතර තාර්කික, සැලසුම් සහගත ක්‍රමානුකුල කෘෂිකර්මාන්තයක් සඳහා වහ වහා ක්‍රියා කළ යුතුය.

Jesustoday.lk 5 වන වසර 45 වන සතිය 2021 ජනවාරි 16 වන ඉරිදා

 

Comments powered by CComment