පුංචි ඔබත් ඉතාම සුලභ පැලැටියක් වන තණ කොළ ගසකින් මේ පාඩම ඉගෙන ගන්න. මේ දවස්වල පුංචි ඔබ බොහෝ දෙනෙක් බියන් පසු වෙනවා ඇති. ඇතැම් විට වෙනදා වගේ කන්න, බොන්න නැතිව ඇති. ඒත් දුවේ පුතේ මීටත් වඩා භයානක කාලවලට ලෝකයේ ළමුන් මුහුණ දුන්නු බව ඔබ දන්නේ නැතිව ඇති. ටිකක් අම්මලා තාත්තාලාගෙන් ආච්චිලා සීයලාගෙන් ඒ ගැන අසා දැනගන්න.

ජේසු වගේ භාග්‍යවන්ත දරුවෙක් වෙන්න - 2

තෘණ පැළයක් සේමා

ජේසු වගේ කිතුනු දරුවෙක් වෙන්න ඕනෑ නම් අභියෝග හමු වේ නොසැලි සිටිමේ ගුණය අපි වහා කරගන්න ඕනි.

"තෘණ පැළයක් සේ" යනුවෙන් සටහන් කළේ ඇයි ? ඉතා කුඩා තණ කොළ ගසක් ගැන හිතන්න. ඉතා දැඩි නියඟයක් පවතිද්දී ඒවා වියලි නැති වී යනවා. නමුත් එක වැස්සක් දෙකක් ඇද හැලුණු පසු නැවත ඒ ගස් මරණයෙන් නැගිටිලා වගේ ආයෙත් නිල්ල ගසාගෙන මතු වෙනවා.

සොබාදහමේ මේ පාඩම හරීම ලස්සනට කවියකින් ලියලා තියෙනවා ආරියවංශ රණවීර කවියා. 

අසන්න

ඉතාම සුලභ
පැලෑටියෙන් වුව අසන්න
ඉර සැර වැඩි නිසා
ලොව හැර දමා
යනවාද කියා

මේ කවියේ අදහස මොකක්ද ? ඉතාම පුංචි පැලැටියකින් අසන්නලු නියඟයක්, පෑවිල්ලක් ආවම ඔයා ජීවිතය අත්හැර දාලා මිය යනවාද කියලා.

ඇත්තටම අපි එහෙම ඇහැව්වොත් පැලැටිය දෙන උත්තරේ මොකක්ද ?

පිස්සුද ? මම කොහොම හරි වැස්සක් එනතුරු ජිවිතය අල්ලාගෙන සිටිනවා.

පුංචි ඔබත් ඉතාම සුලභ පැලැටියක් වන තණ කොළ ගසකින් මේ පාඩම ඉගෙන ගන්න. 

මේ දවස්වල පුංචි ඔබ බොහෝ දෙනෙක් බියන් පසු වෙනවා ඇති. ඇතැම් විට වෙනදා වගේ කන්න, බොන්න නැතිව ඇති. ඒත් දුවේ පුතේ මීටත් වඩා භයානක කාලවලට ලෝකයේ ළමුන් මුහුණ දුන්නු බව ඔබ දන්නේ නැතිව ඇති.

ටිකක් අම්මලා තාත්තාලාගෙන් ආච්චිලා සීයලාගෙන් ඒ ගැන අසා දැනගන්න. ලෝක යුද්ධ කාලවල, මැලේරියා, වසුරිය  වැනි වසංගත කාලවල, අප රටේම යුද්ධය පැවැති කාලය වගේ කාලයන් ගැන. ඒවාට එදා සිටි ළමුන් මුහුණ දුන්නා.

ශුද්ධ වූ බයිබලය අපිට මෙහෙම කියනවා.

"හැම දෙයකදීම සමිදුන් සිහි කරන්න. එතුමා ඔබට හරි මග පෙන්වනු ඇත" (හිතෝපදේශ 3/6)

 අලසකමින් තොරව කාර්යශීලි වන්න.
උද්යෝගීමත් හදවතින් සේවය කරන්න.
විපතේදි ඉවසිලිමත් වන්න.
                                                 (රෝම 12/11-12)

ඉතිං දුවේ පුතේ කරදර, විපත්, වසංගත ලෙඩදුක් ප්‍රශ්න ලෙස නොව අභියෝග ලෙස අප භාරගත යුතුය.

අභියෝගවලට මුහුණ දීමට අප කුඩා කල සිටම පුහුණු විය යුතුයි.

අමතක කරන්න එපා ඔබ අද සිටින වයසට පැමිණියේ අභීයෝග රැසක් ජයගෙන බව. ඔබ මුලින්ම ජයගත් අභියෝගය තමයි අම්මාගේ කුස තුලින් මේ ලෝකයට ඒම. ඊට පස්සේ මුණින් අතට පෙරලීම, බඩ ගෑම. දණ ගෑම, කෙලින් සිටීම, ඇවිදීම සිය ගණනක් අභියෝග ඔබ ජයගෙන තිබෙනවා.

ජීවිතය කියන්නේ අභියෝගයක්
ජීවත්වීම කියන්නේ ඊට මුහුණ දීම
මේ පාඩම ඉගෙන ගන්න

Jesustoday.lk 4 වන වසර 05 වන සතිය 2020  අප්‍ර‍ේල් 12 වන ඉරිදා 

 

Comments powered by CComment