මට දරුවෝ හතර දෙනෙක් හිටියත් මගේ උපන් දිනේට තෑග්ගක් දුන්නේ මගේ මේ මුණුපුරා තමයි ජීවිතේ පළමු වතාවට

 

උපන් දින තෑග්ග

ලක්ෂාන් ජීවත් වුණේ ආච්චි අම්මා එක්ක. එයාගේ අම්මා රස්සාවකට ගියා. උදේ පාන්දර වැඩට යන අම්මා ගෙදර ආවේ රාත්‍රි අටට විතර.

ලක්ෂාන්ට අම්මා එක්ක ගත කරන්න ලැබුනේ ඉරිදාට විතරයි. ඒකත් යාන්තම හවස් වරුවේ. ඉරිදා උදේ පූජාවටත් ලක්ෂාන්ව එක්ක ගියේ ආච්චි අම්මා. දහම් පාසල ඉවර වෙනතුරු පල්ලිය ඉස්තෝප්පුවේ ආච්චි අම්මා වාඩිවෙලා හිටියා.

ලක්ෂාන් ඉස්කෝලේ ගියෙත් ආච්චි අම්මා එක්ක. ආච්චි අම්මාගේ වැඩට ලක්ෂාන් උදව් වුනේ නිරායාසයෙන්ම වගේ.

“පුතේ අර පොල් ගෙඩිය ගෙනත් දෙන්න”

“පුතේ මිදුලේ දාලා තියෙන රෙදි ටික ගෙට ගන්න”

ඒ හැම එකක්ම ලක්ෂාන් කළේ සතුටින්.

“මොන වදයක්ද ආච්චි අම්මේ ?"

කවදාවක් ලක්ෂාන් එහෙම කිව්වේ නෑ.

“මම සෙල්ලම් කරලා එන්නම්”

හැම විටම ආච්චිට කියලයි ලක්ෂාන් ගෙදරින් පිට වුණේ.

ආච්චි අම්මා එක්ක තමයි ලක්ෂාන් රෑට නිදා ගන්නේ. ආච්චි අම්මාගේ කතන්දර කොච්චර වාරයක් ඇහැව්වත් පුංචි ලක්ෂාන්ට එපා වුණේ නෑ.

ආච්චි අම්මා ලක්ෂාන්ගේ උපන්දිනේට නොවැරදිව කිරිබත් හැදුවා. පැණිපොල් සමඟ ඉඹුල් කිරිබත්. ඒ තමයි ලක්ෂාන්ගේ ආසම කෑම.

ලක්ෂාන්ගේ ආච්චි අම්මා මරිය හමුදාවේ හිටිය වයසකම අම්මා. ඉතිං දවසක් පූජාව ඉවර වෙලා දහම් පාසලින් පස්සේ ගෙදර එන්න ඉන්න කොට මරිය හමුදාවේ ඉන්න අම්මලා ඔක්කෝම පුංචි ලක්ෂාන්ව වට කර ගත්තා.

“අනේ පුතේ ඔයා නම් හරීම හොඳ ළමයෙක්”

හැමෝම ලක්ෂාන්ගේ ඔළුව අතගෑවා.

“ඔයා කැටයකට සල්ලි එකතු කරලා ආච්චිට චීත්ත රෙද්දකුයි හැට්ට රෙද්දකුයි අරන් දුන්නලු නේද ? ඔයාගේ ආච්චි ඒක අපිට කිව්වේ ඇස්වල කඳුළු පුරෝගෙන”

“මට දරුවෝ හතර දෙනෙක් හිටියත් මගේ උපන් දිනේට තෑග්ගක් දුන්නේ මගේ මේ මුණුපුරා තමයි ජීවිතේ පළමු වතාවට”

ආච්චි අම්මා එහෙම කිව්වා කිව්වම ලක්ෂාන්ගේ ඇස්වලටත් කඳුළු ඉනුවා. ඒ ආච්චි අම්මා ගැන තියෙන ආදරයට.

Jesustoday.lk 4 වන වසර 24 වන සතිය 2020  අගොස්තු 23 වන ඉරිදා

Comments powered by CComment