ඔය දරුවාගේ තාත්තා මැරුණේ අලියා ගහලා. එතකොට ඔය දරුවා අම්මාගේ බඩේ හිටියේ. ඉපදිලා අවුරුද්දක් ගියේ නෑ. අම්මා දරුවව දාලා ගියා.

 

කෝවිඩ්වලට පස්සේ මුලින්ම ඉස්කෝලේ පටන් ගත්තේ අපේ. ලොකු අයියලා අක්කලා නැතිව ඉස්කෝලේ පාළුයි වගේ.

නවයේ පංතියට වෙනකල් පංති තියෙන අපේ ඉස්කෝලේ පස්වෙනි පංතියෙන් පස්සේ හුගාක් ළමයි අස්වෙලා යනවා. ඒ නිසා හය, හත, අට, නවය පංතිවල ඉන්නේ එක පංතියකට අටක් දහයක් වගේ. ඒ උනත් ඒ අයියලා අක්කලා නැතිව හරි පාළුයි.

අපේ පහේ පංතියේ පංති භාර ගුරුතුමි සුධර්මා මිස් අපිට හරීම ආදරෙයි. පළවෙනි දවසේ අපි පාසල් ඇවිත් හිටියේ දහතුන් දෙනායි. දොළොස් දෙනෙක්ම ඇවිත් නෑ. මිස් හිටියේ හරීම දුකෙන්. හෙටවත් කට්ටියම එයිද ළමයි ? මිස් අපෙන් ඇහැව්වා.

‘එයි නේද මිස්’ අපිත් ඇහැව්වා.

දෙවනි දවසේ ළමයි 20 ක් ඇවිත් හිටියා. හුගාක් ළමයි සපත්තු නැතිව. දෙන්නෙක් පාට ගවුම් ඇදලා. ප්‍රින්සිපල් සර් කිව්වාලු හතර දෙනෙක්ම අස්වෙලා ගිහින් කියලා.

‘මල්ෂි’ තමයි දවස් තුනක් ආවේ නැත්තේ. අපේ සුධර්මා මිස් ඉස්කෝලෙට එන්නේ හුගාක් දුර ඉඳන්. මිස් පාන්දර හතරමාරටලු පාරට එන්නේ.

හතරවෙනි දවසේ අපේ අම්මටත් එන්න කියලා. ඉස්කෝලේ ඇරිලා අපි මල්ෂිලාගේ ගෙදර ගියා.

මල්ෂිලාගේ ගේ තමයි අපේ පංතියේ ළමයින්ගෙන් ඉස්කෝලේට ඈතින්ම තියෙන්නේ කියලා අම්මා කිව්වා. ටිකක් කැලේ පැත්තට වෙන්න තමයි ගේ තියෙන්නේ. රෑ වෙන කොට යන්නත් බයයිලු. අලි එනවලු.

අපි මල්ෂිලාගේ ගෙදර යනකොට මල්ෂි ගෙදර හිටියේ නෑ. ආච්චි අම්මා විතරයි හිටියේ. ආච්චි අම්මත් උන්නේ අසනීපෙන්.

"ඔය දරුවාගේ තාත්තා මැරුණේ අලියා ගහලා. එතකොට ඔය දරුවා අම්මාගේ බඩේ හිටියේ. ඉපදිලා අවුරුද්දක් ගියේ නෑ. අම්මා දරුවව දාලා ගියා."

ආච්චි අම්මාගේ ඇස්වල කඳුළු පිරිලා. අපේ මිස් ආච්චි අම්මගේ අත්දෙකෙන් අල්ල ගෙන කතා කරනවා.

“ඔහොම තමයි අම්මේ ඉතිං මේවගේ ප්‍රශ්න ගොඩක් අයට තියෙනවා.”

“ඉතිං කෝ මල්ෂි”

“අපේ මනුස්සයත් දැන් මාස පහකට ඉස්සෙල්ලා මැරුණා නෝනේ කොරොනා හැදිලා. එයා රත්නපුරේ කඩේක වැඩ කළේ. මළ මිනියටවත් යන්න වුණේ නෑ. පස්සෙන් පහු තමයි පණිවුඩේ ලැබුණේ."

"අනේ අම්මේ අපි මේ මොනවත් දන්නේ නෑ." අපේ මිස් කිව්වා.

"ගම් පළාත්වල අපිවත් දන්නේ නෑ."

අපේ අම්මා කිව්වා.

“මේ කරදර අස්සේ දැනගත්තත් එන්නයැ නෝනේ.....?"

“ඉතිං කෝ මල්ෂි”

ආච්චිගේ ඇස්වල ආයේ කඳුළු පිරුණා. ඒ කඳුළු කම්මුල් දිගේ ගැලුවා.

“ළමයා ගෙදරටක යනවා නෝනේ. ඒකෙන් තමයි අපි වේලක් පිරිමහ ගන්නේ? ”

මල්ෂිගේ ආච්චි හැරමිට්ට ගහමින් අඩි දෙක තුනයි ඇවිදින්නේ. වරිච්චි බිත්ති තියෙන ගේ හොඳටම පරණයි. වහලේ ටකරනුත් දිරිලා.

අපේ මිස්ගේ අන්තිම බස් එක හතරා මාරට.

“මම හෙට එන්නම් අම්මේ. මල්ෂිට කියන්න. අපි ඇවිත් ගියා කියලා”

එන ගමන් මිස් අපේ අම්මට මෙහෙම කිව්වා.

“මේ වයසක අම්මට දැන් නම් ඒ ළමයව බලන්න බෑ. අනික ගෑණු ළමයෙක් කිසිම ආරක්ෂාවක් නෑ.”

"මොනා කරන්නද කියලා මටත් හිතාගන්න බෑ”

අපේ අම්මත් කිව්වා.

සතියකට විතර පස්සේ මල්ෂිගේ ආච්චිව වැඩිහිටි නිවාසයකට බාරදීලා මල්ෂීව අපේ මිස් මිස්ලාගේ ගෙදර එක්ක ගියා. දැන් මල්ෂි අපේ මිස් එක්කම ඉස්කෝලේ එනවා.

අපේ මිස් නම්, දෙවියෙක් වගේ කියලා අම්මා කිව්වා.

Jesustoday.lk 5 වන වසර 37 වන සතිය 2021 නොවැම්බර් 21 වන ඉරිදා 

 

Comments powered by CComment