පුංචි බබාට සීතලම සීතල ඇති හරියට පොරවන රෙද්දක්වත් නෑ. පිදුරු තමයි වටේට, අපි වගේ දුප්පත් කෙනෙක්.

නගරය මැද්දේ තියෙන මහ පල්ලිය දෙසැම්බර් 01 වෙනිදා ම ලයිට් වැල් වලින් සැරසිලා. ලොකු තරුවක් පල්ලියේ ඉහළ රිදි පාටින් බැබලෙනවා.

චූටා ට මේක අමුතුම දර්ශනයක්. චූටා චූටම්මා එක්ක කොළඹට හිඟාකන්න ආවේ ඊයේ පෙරේදා

“මොකක්ද චූටම්මේ ඒ තරුව"

චූටම්මා මොකුත් කිව්වේ නෑ.  මුඛ ආවරණයක් දාගෙන හිඟාකන එක හරි අමාරුයි.

එදා රෑ ඔවුන් ගුලි ගැහැණුනෙත් පල්ලිය පේන දුරක කඩයක අඟු පිළක. පොද වැස්ස හවස ඉඳන්ම වැටෙනවා. කඩේ වැහුවාට පස්සේ පරාට දෙක තුනක් ගිල දමලා කඩ පිලට ගොඩවෙලා කාඩ්බෝඩ් පෙට්ටිය ඵළා ගත්තා.

චූටෝ ඔය ඉටි කොළයක් කකුල් දෙකට උඩින් දා ගනිං

චූටා ට පෙනුනේම අර ලොකු ලොකු තරුව.

චූටම්මේ මොකක්ද ඒ තරුව

ඒක නත්තල් තරුව. නත්තල් තරුව කියන්නේ ? අපේ බුදු හාමුදුරුවෝ වගේ ක්‍රිස්තියානි මිනිසුන්ගේ ජේසුස් වහන්සේ කියලා උත්තමයෙක් ඉන්නවා උන්න එයා ඉපදුණු දවසේ ලොකු තරුවක්පෑ යුවාලු ඒක මතක් වෙන්න තමයි ඔය තරුව හදන්නේ

චූටා කල්පනා කළේ ජේසුස් වහන්සේ ගැන. එයා කොයිවගේද චූටා ට යාන්තම් මතක් වුණා. සිද්ධාර්ත කුමාරයා ඉපදුණු හැටි. සල් වනයක ඉපදුණාට පස්සේ නෙළුම් මල් හතක් උඩ ඇවිදගෙන යනවා. එක වෙසක් එකකට පන්සලේ හදලා තිබුණා.

ජේසුස් වහන්සේ කොයි වගේ කෙනෙක්ද චූටම්මේ

මම ඕව ගොඩක් දන්නේ නෑ චූටෝ. එයත් ඉතිං බුදුන් වහන්සේ වගේ හොඳ කෙනෙක් තමයි.

චූටා හිතට ගත්තා පල්ලිය ඇතුළට ගිහින් දවසක බලන්න. ඒත් පල්ලියේ මහ ගේට්ටුව වහළා සිකුරුටි කෙනෙකුත් ඉන්නවා.

කොහොම හරි චූටා නත්තල් දවසේ උදේ නගර සභා පයිප්පෙන් මූණ කට සෝදලා චූටම්මගෙන් ටිකක් හොඳ බැනියමකුත් ඉල්ලගෙන ඇඳගත්තා. එදා හවස චූටලා ආයෙත් ගමේ යනවා. හිඟා කන බජාර් එකට අවසර දීපු මහත්තයා එනවා කිව්වලු දවල් වෙන කොට.

අද නත්තල් දවස නිසා කොළඹ හිස්වෙලා. චූටම්මා නම් පල්ලියට ඈතින් තාමත් හිඟාකනවා චූටා මිනිස්සු අස්සේ පල්ලිය ඇතුළට ගියා. හුගාක් සෙනඟ ඇවිත් නෑ.

චූටා පල්ලිය ඇතුළ බැලුවා. ඒක ලස්සනට සරසලා. පන්සල් වගේ නෙවෙයි. මහ විශාලයි.

මිනිස්සු කීප දෙනා ගිහින් පිදුරු දාලා හදාපු පුංචි මඩුවක් ළඟ පඬුරු දාලා වදිනවා.

චුටත් ගියා. ටිකක් ඈතින් බලන් හිටියා. පිදුරු ගොඩක් උඩ පුංචි බබෙක්ගේ පිළිමයක්, දුප්පත් වගේ පෙනෙන අම්මෙකුගෙයි තාත්තාකුගෙයි පිළිම තියෙනවා. හරක් එළදෙන්නු හා තවත් සත්තුයි ඒ සත්තුන්ව බලා ගන්නවා වගේ දුප්පත් මිනිස්සු ටිකකගෙයි පිළිම තිබෙනවා.

පුංචි බබාට සීතලම සීතල ඇති හරියට පොරවන රෙද්දක්වත් නෑ. පිදුරු තමයි වටේට, අපි වගේ දුප්පත් කෙනෙක්.

චූටා ට හිතුණා.

ඒ ගමන්ම චූටා ට ඇහුණා. එක අම්මා කෙනෙක් කියනවා.

"පුතේ ජේසු බබාට අත තියලා ඉඹගන්න"

පුංචි ළමාය එහෙම කළා. චූටා දැනගත්තා මේ තමයි ජේසුස් වහන්සේ. චූටා තවත් ටික වෙලාවක් බලා ඉඳලා බුදු සාදුට වදිනවා වගේ අත් දෙක එකතු කරලා වැඳලා චූටම්මව හොයාගෙන ගියා.

"චූටම්මේ ජේසුස් වහන්සේ අපි වගේ කෙනෙක්."

චූටා මහා හයියෙන් කිව්වා.

 

Comments powered by CComment