ආස දෙයක් වුනත් පෙරේත කමට කන්නවත්, අවසර නැතිව කන්නවත්, හොරෙන් කන්නවත්, කිතුනු දරුවෙකුට බැරි බව සිතට ගන්නට ඕනා.

වන්දනාවේ යන වැඩිහිටියන්ට ගෙදර පුංචි අය අරගෙනම යන්න වෙනවානේ. මේ ළඟදි මමත් තේ වත්තේ පල්ලියේ මංගල්‍යයට ගියා.

මම වගේ පුංචි යාළුවෝ ගොඩාක් පල්ලියේ ඉඳලා ආපසු එන අතර කඩපිල් වලට තමන්ගේ අම්මලාව ඇදගෙන එනවා මම දැක්කා.

සමහර අම්මලා හුඟාක් අසරණ මුහුණින් සෙල්ලම් බඩු කඩ ළඟ, අයිස් ක්‍රීම් වෑන් ළඟ ඒවා ඉල්ලලා අඩන ළමයින්ව සන්සුන් කරගන්න හදන හැටි දැක්කම මට දුකත් හිතුනා.
අයිස්ක්‍රීම්, ලොලි පොප්, චොක්ලට්, අච්චාරු ඔය වගේ ආස දේවල් කන්න පුංචි අයට හිතෙන එකේ වරදක් නෑ. ළමාකම එහෙම තමයි. ඒත් අම්මලා තාත්තලාව අසරණ කරමින් ඒවා ඉල්ලලා පලි දරන එක, හඬා වැටෙන එක, දේව දරුවන්ට ගැලපෙන්නේ නෑ. අවුරුදු 7, 8 ක් දොළහක් දහතුනක් වෙච්චි අපි වගේ ළමයින්ට ටිකක් හිතන්න පුළුවන් වෙන්න ඕනි.

මගේ යාළුවෙක් එයා හුඟාක් ලැජ්ජා වුනු අවස්ථාවක් මට කිව්වා. ගෙදර ශීතකරණයේ තිබෙන දේවල් අම්මගෙන් අහන්නත් නැතිව කන්න එයා පුරුදු වෙලා හිටියා. දවසක් ඉස්කෝලේ ඇරිලා ඇවිත් ශීතකරණයේ තිබෙන හුගාක් රසවත් චොක්ලට් එකක් එයා කෑවලු. පැය භාගයකට විතර පස්සේ අල්ලපු ගෙදර නැන්දා ඇවිත් අම්මගෙන් ඒ චොකලට් එක ඉල්ලලා. එයා දැනන් ඉඳලා නෑ ශීතකරණයේ තිබුණු ඒ චොක්ලට් එක අල්ලපු ගෙදර නැන්දා ඒ ගෙදර ශීතකරණයක් නැති නිසා එගොල්ලන්ගේ ශීතකරණයේ තැබු බව.

ගෙදර ශීතකරණයේ තිබුනත්, ගෙදර වෙන තැනක තිබුණත් ගෙදර අයගේම වුනත් තමා ආසකරන කෑමක් පවා කන්න ගන්න ඕනි අම්මා තාත්තා ආච්චි සීයා ආදි වැඩිහිටියෙක්ගෙන් අහලා. ඒ පුරුද්ද තිබුනේ නැති නිසා තමයි මගේ යාළුවා හා පවුලේ හැමෝම ලැජ්ජාවට පත්වුනේ.

ආස දෙයක් වුනත් පෙරේත කමට කන්නවත්, අවසර නැතිව කන්නවත්, හොරෙන් කන්නවත්, කිතුනු දරුවෙකුට බැරි බව සිතට ගන්නට ඕනා.

Jesustodaysl 2 වන වසර 40 වන සතිය 2018 දෙසැම්බර් 16

Comments powered by CComment