ඇත්තටම අබ්දුල්ගේ ප්‍රශ්නය පයින් යන එකට වඩා දවල්ට බඩගින්නේ සිටීමයි. අබ්දුල් කොච්චර ලොකු වීරයෙක්ද කිව්වොත් එයා කඩල ගොට්ටෙන් කඩල ඇට දහයකට වඩා කන්නේ නෑ. ඉතිරි ඔක්කෝම නංගිට ගෙනියනවා.

පුංචි වීරයින් ගැන ඇත්ත කතා.

හත්වෙනි ශ්‍රේණියේ ඉගෙනුම ලැබු අබ්දුල් පාසලට ආවේ පා ගමනින්. අබ්දුල්ලා ජීවත්වුණු මුඩුක්කු වත්තේ සිට ඉස්කෝලෙට දුර කිලෝමීටර් තුනක්.

පහේ ශිෂ්‍යත්වය පාස්වෙලා තමයි අබ්දුල් මේ ලොකු ඉස්කෝලේට ඇතුළු වුණේ. ඔහුගේ පංතියේ හිටිය වැඩි දෙනෙක් වත් පෝසත් කම් තිබෙන අය. ඇත්තම කිව්වොත් අබ්දුල් විතරමයි ඉස්කෝලේට පයින් ආවේ. ඒ වගේම මුඩුක්කු වත්තකින් ආවේ.

හයවෙනි පංතියේ සිටම අබ්දුල්ගේ දක්ෂතා මෙන්ම දුෂ්කරතාද දැන හඳුනාගත් සිංහල ගුරුතුමා දවසක් පංතියේ ඉන්න වත්පෝසත්කම් තිබෙන මුස්ලිම් ළමයෙකුටම (අෆ්රාස්ට) කතා කරලා අබ්දුල්ට බස් එකේ යන්න සල්ලී දෙන්න ලෑස්ති කළා.

හැමදාම ඉස්කෝලේ ඇරුනාම ගෙදර යන්න අබ්දුල්ට රු 30 ක් ලැබෙනවා. ඒ ගෙදර යන්නයි. හෙට උදේට ඉස්කෝලේ එන්නයි.

දවස් කීපයකට පස්සේ ඒ උදව් කරපු යාළුවා ගුරු තුමාට හමුවුණා.

“සර් සල්ලි දුන්නට අබ්දුල් බස් එකේ යන්නේ නෑ. මම දැක්කා එයා කඩල ගොට්ටක් අරන් ඒක කන ගමන් පයින් යනවා”

ගුරුවරයා අබ්දුල්ගෙන් මේ ගැන විමසුවේ රහසින්.

“ඒක ඇත්ත සර්. මම රු 30 ට කඩල ගන්නවා. ටිකක් කකා ගෙදර යනවා. භාගයක් නංගිට ගෙනියනවා. මට පයින් යන්න පුළුවන්.”

ඇත්තටම අබ්දුල්ගේ ප්‍රශ්නය පයින් යන එකට වඩා දවල්ට බඩගින්නේ සිටීමයි. අබ්දුල් කොච්චර ලොකු වීරයෙක්ද කිව්වොත් එයා කඩල ගොට්ටෙන් කඩල ඇට දහයකට වඩා කන්නේ නෑ. ඉතිරි ඔක්කෝම නංගිට ගෙනියනවා.

මේ කතාව දැනගත්තට පස්සේ අෆ්රාස් තාත්තාට කියලා අබ්දුල්ට සීසන් ටිකක් එකක් (වාර ප්‍රවේශ පත්‍රයක්) අරන් දුන්නා. හැබැයි හැමදාම දෙන රුපියල් 30 ත් අබ්දුල්ට දෙන්න ඔහු අමතක කළේ නෑ.

Jesustoday.lk 3 වන වසර 23 වන සතිය 2019 අගොස්තු 04 ඉරිදා

 

Comments powered by CComment