දේශපාලකයින්ගෙන් හා රාජ්‍යයෙන් වන්දියක් ලබාගෙන මුස්ලිම්වරු කීප දෙනෙකුට දඩුවම් දුන් විට මෙතෙක් කල් බලාපොරොත්තු වු මිය ගියවුන්ට සාධාරණය ඉටුවේද ?

ගෙවුනු ඉරිදා පාස්කු ඉරිදාය. එය අප්‍රියල් 21 නොවුනාට පාස්කු ඉරුදින ප්‍රහාරය එදින මතකයට ඒම වැලැක්විය නොහැකිය.

පාස්කු ඉරුදින ප්‍රහාරය මුළු මනින්ම භාහිර අධිරාජ්‍යවාදයෙත්, අභ්‍යන්තර වර්ගවාදයෙත්, සුසංයෝගයෙත් සිදුවූ දේශපාලන මෙහෙයුමක් බව මහා ලොකු දේශපාලන බුද්ධියක් නැති අයටද තේරුම්ගත හැකිය. ඒ නිසා පාස්කු ඉරුදින ප්‍රහාරය දේශපාලනයෙන් වෙන් කළ නොහැකිය.

පාස්කු ඉරුදින ප්‍රහාරය ගැන නිල කතෝලික සභාවේ මැදිහත්වීමද දේශපාලනික යැයි ඇතැම් හු කියති.

ප්‍රශ්නය වන්නේ එය කුමන දේශපාලනයක්ද යන්නයි. ජනතාවට විමුක්තිය, සාමය, සතුට, නිදහස ගෙනෙන දේශපාලනයක්ද නැද්ද යන්නයි.

දැන් ‘පාස්කු ප්‍රහාරය දේශපාලන නාට්‍යයක් බවට පත්වෙමින් තිබෙන බව රහසක් නොවෙයි‘ යනුවෙන් පවසන්නේ මහජන ආරක්ෂක ඇමතිවරයාමය.

ඒ දේශපාලන නාට්‍යයේ අවසාන ජවනිකාවට කරුණු කාරණා පෙළගැසෙන බව පෙනේ,

“පාස්කු ප්‍රහාරයට වන්දි ඉල්ලා නඩු 27 ක්”

"හිටපු ජනාධිපති හිටපු අගමැති ඇතුළු නිලධාරින්ගෙන් වන්දි අයකර දෙන්නැයි බෝම්බ ප්‍රහාරයේ වින්දිතයන්ගේ ඥාතින් උසාවි යයි. (අද පුවත්පත් මුල් ප්‍රධාන පුවත 2021.04.07)"

මුල් පුවත අසලම උප පුවත මෙසේය.

"පාස්කු ප්‍රහාරයේ මහ මොළකරුවන් ලෙස නඩුෆර් මවුලවි සහ හර්ජුල් අක්බාර් දෙදෙනා හඳුනා ගත්තා" (මහජන ආරක්ෂක ඇමති)

මෙයද කාදිනල් හිමි හා කතෝලික ජනතාව ඉල්ලු සත්‍ය හා යුක්තිය. මෙයද ශුද්ධාත්මයාණන්ගේ අනුභාවයෙන් ප්‍රකාශ වන සත්‍යය. දේශපාලකයින්ගෙන් හා රාජ්‍යයෙන් වන්දියක් ලබාගෙන මුස්ලිම්වරු කීප දෙනෙකුට දඩුවම් දුන් විට මෙතෙක් කල් බලාපොරොත්තු වු මිය ගියවුන්ට සාධාරණය ඉටුවේද ?

නාට්‍යයේ අවසාන දර්ශනය එසේ වීම දේව කැමැත්තද ? එය එසේ වන්නේ නම් ඒ ඇයි ?

සත්‍ය හා යුක්තිය සඳහා මෙරට නිල කතෝලික සභාව අතීතයේ ක්‍රියා කළ ආකාරයේ ම දිගුවක් ලෙස එය එසේ වීම පුදුමයක්ද ?

උතුරු නැගෙනහිර මදකට අමතක කරමු. අනිකුත් ජන කොටස් මදකට අමතක කරමු.

හලාවතදී ඝාතනය කළ ඇන්ටනි නම් ධීවරයාට අදාල සත්‍ය හා යුක්තිය රාජ්‍යයට අවශ්‍ය පරිදි විසඳීමට උපකාර කළ දකුණේ කතෝලික සභාවට,

කටුනායකදි ඝාතනය කළ රොෂෙන් චානකට අදාල සත්‍ය හා යුක්තිය රාජ්‍යයට අවශ්‍ය පරිදි විසඳීමට උපකාර කළ දකුණේ කතෝලික සභාවට,

රතුපස්වල පාසල් ළමුන්ද ඇතුළු තිදෙනෙකු ඝෘතනය කිරිමට අදාල සත්‍ය හා යුක්තිය රාජ්‍යයට අවශ්‍ය ලෙස විසඳීමට උපකාර කළ

දකුණ කතෝලික සභාවට ලැබෙන්නේ දෙවියන්ගේ රාජ්‍යයට අදාල සත්‍ය හා යුක්තිය නොවීම පුදුමයක් ද නොවේ.

එහෙත් කිතුනු ජනයා මෙන්ම පොදු ජනයාද තේරුම් ගත යුත්තේ මේ ව්‍යාජ සත්‍යය හා යුක්තිය කිසි දිනක මේ රටට ගැලවීම උරුම කර නොදෙන බවයි. 

Jesustoday.lk 5 වන වසර 6 වන සතිය 2021 අප්‍ර‍ේල් 11 වන ඉරිදා

 

Comments powered by CComment