සැලසුමක් නැති ප්‍රමුඛතාවයක් නැති වුවමනාවෙන්ම අධ්‍යාපනය පද්ධතිය බිඳ වැටීමට ඉඩ දී ඇති ආණ්ඩුවේ පිළිවෙතට විරෝධය පාමු හැකි හැම මව්පියෙක්ම උපරිමයෙන් නිවැරදි ලෙස දරුවන්ට උපකාර කරමු ප්‍රජාවක් ලෙස සාධන මට්ටම අඩු දරුවන් උදෙසා යමක් කරමු.

2020 මාර්තුවේදි පාසල් වැසුනේ හිටි හැටියේමයි. ඒ නිසා කළ යුත්තේ කුමක්ද යන්න ගැන හරි සැලසුමක් මාස දෙක තුනක් යන තුරු ආන්ඩුවට නොමැති වීම ගැන සමාව දීම යුක්ති යුක්තය. එහෙත් ඉන්පසු ආන්ඩුව කළේ කුමක්ද ? කිසිදු ස්ථීරසාර දෙයක් කළේ නැත.

මෙය ගෝඨාභය රාජපක්ෂ ගැන හෝ පොහොට්ටු පක්ෂය ගැන විවේචනයක් සේ පමණක් ගත යුතු නැත. අප මෙය කියන්නේ පුද්ගලයා හා පක්ෂය ගැන ප්‍රශ්නයක් ලෙස නොවේ. අපේ රට ගැන අපේ රටේ පවතින ක්‍රමය ගැන ප්‍රශ්නයක් වශයෙනි.

2020 න් ඉගෙන ගත්තා නම් 2021 මේ මොහොත වන විට අපි ගුරුවරුන්, ළමුන් හා ප්‍රජාව අධ්‍යාපනය සඳහා සූදානම් කළ යුතුව තිබුණි. පුහුණු කළ යුතුව තිබුණි. පහසුකම් සැපයීය යුතුව තිබුණි. ජනමාධ්‍ය හා සමාජ මාධ්‍ය හා වෙනත් විකල්ප ප්‍රජා වැඩසටහන් ලෙස අධ්‍යාපනය පවත්වාගෙන යාමට ක්‍රියාමාර්ග සම්පාදනය කළ යුතුව තිබුණි.

ඒ කිසිවක් නැතිව නැවත පාසල් වසා දැමුණි. ලෝකයේ රටවල් විශේෂයෙන් සාධන මට්ටම අඩු හෙවත් සාමාන්‍ය ව්‍යවහාරය අනුව දුර්වල ළමුන්ට, දිළිඳු ළමුන්ට හා පාසල් පද්ධතියෙන් ගිලිහෙන ළමුන්ට මග හැරුනු පාඩම් කියා දීමටත් ඔවුන් අධ්‍යාපනයට සම්බන්ධ කර ගැනීමටත් විශේෂ වැඩ පිළිවෙලවල් දියත් කරන ලදී.

නිදසුනක් ලෙස බ්‍රිතාන්‍යය රජය ගිය සැප්තැම්බර් අගදි පවුම් මිලියන 350 ක් (ශ්‍රී ලංකා මුදලින් රුපියල් මිලියන 670 ක් හෙවත් රු 670 000 000 ක්) වෙන් කළේය. ඩෙන්මාර්ක රජය ද ඩොලර් මිලියන 277 වෙන් කළේය.
ශ්‍රී ලංකාව ගිය අයවැයෙන් එවැනි කිසිදු විශේෂ වැඩ පිළිවෙලට මුදල් වෙන් නොකළේය. අධ්‍යාපනය සඳහා වැය කරන මුදල් ද මූර්ත අගයෙන් ගත් විට කප්පාදු කරනු ලැබුවේය.

මේ ලියුම්කරු ඇතුලු බොහෝ දෙනෙකු 2020 මැද භාග්‍ය වන විට පෙන්වා දුන්නේ වසර අවසන් වන විට රජය ගුරුවරුන් නියම ඔන්ලයින් අධ්‍යාපනයක් සඳහා පුහුණු කිරිම ඊට අවශ්‍ය යටිතල පහසුකම් සැපයීම, අධ්‍යාපන කටයුතු අඩපණ වීමේ අවදානම ඇති දරුවන් සඳහා විශේෂ වඩසටහන් සෑදීම කළ යුතු බවයි.

එහෙත් සිදු කළේ පාසල් පටන් ගන්නා විට වෙනදා සේම වාර සටහන් ලිවීමේ පොත් ලබාදීම, ඇගයීම් පවත්වා ලකුණු ඉල්ලා සිටීම හා විභාග පැවැත්වීම ගැන අවධානය දීම පමණි. පාසල් පද්ධතිය තුළ සෞඛ්‍ය ආරක්ෂාව වැඩි කිරීමටත් ගුරුවරුන් එන්නත්කරණය කිරීමටවත් නිසි වැඩ පිළිවෙලක් නැත.

ඔන්ලයින් විෂමතාවය

මේ ලියුම්කරුද ගුරුවරයෙකි. අවංකව ගත් විට අය කරන ඔන්ලයින් ඉගැන්වීම අසාර්ථක එකකි. ශ්‍රී ලංකාවේ පවුල් වලින් 50% කට පමණ ඔන්ලයින් සඳහා පහසුකම් නැත. මාස කීපයක් පුරා එකදු ඔන්ලයින් පංතියකටවත් සහභාගී නොවුන ළමයි සිටියෝය. පැමිණ පිරිස සාමාන්‍යයක් ලෙස 50% ක මට්ටමක පැවැතුනි. ඒ පැමිණි පිරිසද ඒ කාලය තුළ කළ ඉගැන්වීම් මගින් ලබාගත් ප්‍රතිඵලය ඇගයීමට ලක් කළ විට එය ඉතා අඩු මට්ටමක පැවැතුනි.

අතින් අතට මේ ලියුම්කරුට තම හිතවතුන් මගින් කළ සොයා බැලීම් වලදි දැනගත් සැබෑ තොරතුරු අනුව පාසල් ගමන අත්හළ ළමුන් දහ දෙනෙකු පමණ එක් පලාත් පාලන කොට්ඨාශයක හඳුනාගත හැකි විය. මේ ප්‍රමාණය ඊට බොහෝ වැඩි විය යුතුය. සමහර සා පෙළ වයසේ දරවැන් කුඩා රැකියාවලට එක් වී සිටියෝය.

පාසලෙන් ගිලිහෙන ළමුන් ප්‍රතිශතය සැලකිය යුතු මට්ටමක පවතින රටක මෙය බරපතලය. ඒ ගැන සමාජ කතිකාවක් නැත. ඔන්ලයින් පැමිණි, ඒ සඳහා උපකරණ ලැබුනු දරුවන් ද ඒ හරහා ඒවා දැන නොදැන අවභාවිතයට යොමුවීම පිළිබඳ කතා සෑහෙන ප්‍රමාණයක් මේ ලියුම්කරු සතු වේ. එය වෙනම දිගු ලිපියක කතිකා කළ යුත්තකි. පසුගිය මාස කීපය තුළ ළමුන් කීප දෙනෙකුටම උපදේශනයෙන් උපකාර කිරීමට දායක වීම නිසා ඒ පිළිබඳ මේ ලියුම්කරු සතු අත්දැකීම් රැසකි. පාසල් පටන් ගත් විටද ඒ ගැන කිසිදු විශේෂ අවධානයක් පාසල් පද්ධතිය තුළ යොමු නොවුනේය.

ඔන්ලයින් පාඩම් වලට සහභාගී නොවු ළමුන්ට සතියක් පමණ ඇතුලත ඒ වැඩ සම්පූර්ණ කිරිමට පාසල් වල ගුරුබවතුන් බල කිරිමේ අත්දැකීම් රැසක් මේ ලියුම්කරු අත්දුටු අතර අසා දැනගත්තේය. ඇතැම් පාසල් ප්‍රධානින් දරුවන්ට ඒ සඳහා දඩුවම් පවා පමුණුවනු ලැබීය.

ඔන්ලයින් ඉගෙනීම සඳහා සහභාගී නොවු දරුවන් ගැන කිසිදු තැකීමක් නොකර වාර විභාග හා ඇගයීම් පවත්වා ඒ ලකුණු ප්‍රගති වාර්තාවල ඇතුලත් කිරීමට තරම් ඇතැම් පාසල් ප්‍රධානින් අසාධාරණ විය. ප්‍රාථමික පංතිවල පවා ඒ දේ සිදු කරනු දැකිය හැකි විය. එවැනි ක්‍රියාවලියකට විරෝධය දැක් වූ ගුරුවරු ද ඉතා අල්පය.

කෝවිඩ් 19 න් අප පාඩම් උගත් බවක් පාසල් පද්ධතිය තුළ විද්‍යාමාන නොවේ. පවතින ප්‍රමාණයෙන් විශාල විෂය නිර්දේශ ආවරණය කිරිමේ සටනක මිස කෝවිඩ් 19 අප දරුවන්ගේ අධ්‍යාපනය මත විශේෂයෙන් අඩු සාධන මට්ටමක් ඇති දුප්පත් දරුවන්ගේ අධ්‍යාපනය මත කරන ලද දැවැන්ත සෘණ බලපෑම ගැන අවධානයක් ආන්ඩුවටද අධ්‍යාපන බලධාරින්ටද සමාජයටද නැත.

උසස් පෙළ ප්‍රතිඵල නිකුත් වු වහාම නැවත ජනමාධ්‍ය ලංකාවේ පළමු දෙවන ළමුන් ගැන කතා කරනු ඇති මුත් ඔන්ලයින් අධ්‍යාපනයෙන් හානි පැමිණුනු ළමුන් ගැන කතා කරනු නැති...

සැලසුමක් නැති ප්‍රමුඛතාවයක් නැති වුවමනාවෙන්ම අධ්‍යාපනය පද්ධතිය බිඳ වැටීමට ඉඩ දී ඇති ආණ්ඩුවේ පිළිවෙතට විරෝධය පාමු.

හැකි හැම මව්පියෙක්ම උපරිමයෙන් නිවැරදි ලෙස දරුවන්ට උපකාර කරමු.

ප්‍රජාවක් ලෙස සාධන මට්ටම අඩු දරුවන් උදෙසා යමක් කරමු.

Jesustoday.lk 5 වන වසර 10 වන සතිය 2021 මැයි 09 වන ඉරිදා 

Comments powered by CComment