බියෙන්වෙනු පියතුමා අපට කියා දෙන සරල ප්‍රබල ‘ආදරයේ පවුල් සූත්‍රය’ කුමක්ද ? “හැම විටම ශුද්ධ වූ පවුල ඔබේ ආදර්ශය කරගන්න. සෑම ප්‍රශ්නයකදීම සෑම තත්වයකදීම නිරතුරුව මෙසේ ප්‍රශ්න කරන්න. ජේසු මරිය ජුසේතුමන්ලා මගේ ස්ථානයේ සිටියේ නම් මේ අවස්ථාවේදි උන්වහන්සේලා කෙසේ ක්‍රියාකරනු ඇත් ද ? කුමක් කියනවා ඇද්ද ?

ප්‍රීතිමත් පවුල් දිවියක් උදෙසා බියෙන්වෙනු පියතුමා නිර්දේශ කළ ‘ආදරයේ සූත්‍රය’

ශුද්ධ වු පවුලේ සංගමයේ ද්වි ශතක සංවත්සරය වෙනුවෙන් කළුතර ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමයේ දරුවන් සමඟ අප කළ මෙනෙහි කිරිම් වලදි අප හද මනස ට කා වැදුනු අදහසක් බෙදා හදා ගැනීම මේ ලිපියේ අරමුණයි.

ප්‍රැන්සිස් සුදතුම් පියතුමාගේ පවුල තුළ ප්‍රේමයේ ආනන්දය’ (Amorist Laetitia – The Joy  of love - Apostolic Exhortation on love in the family) අපොස්තලික අනුශාසනාව නිකුත් කළ සමයේ (2016/03/09) අපට දැනුනු කාරණයක් වූයේ බියෙන්වෙනු හොඳ පියාණන්ගේ පවුල පිළිබඳ ආධ්‍යාත්මිකත්වය හා අපොස්තලික අනුශාසනාව එක්ව ගෙන සරල නමුත් ගැඹුරු ඒ වගේම ප්‍රායෝගික මග පෙන්වීමක් නූතන පවුල වෙත ගෙනයාමට හොඳ අවස්ථාවක් බවයි. අප පෞද්ගලිකව එම සම්බන්ධය ප්‍රේමයේ ආනන්දය අපොස්තලික අනුශාසනාව ගැන ක්‍රිස්තියානි පවුල් ව්‍යාපාරය හා සම්බන්ධ මෙනෙහි කිරීම් හා ඥානකාන්තිවලිද බෙදා ගත්තෙමු.

මීට වරස 200 කට පෙර  පීටර් බියෙන්වෙනු පියතුමා ශුද්ධ වූ පවුල වෙත හැරෙන්නට ආරාධනා කළේය. ජේසු මරිය ජුසේතුමන්ලා සෙව්වේත්, ආදරය කළේත්, අයිතිකරගත්තේත් දේව කැමැත්ත පමණක් බව මතක් කළ අප හොඳ පියාණන් සුදු පවුල ආදර්ශය කර ගන්නට කළ ඇරයුමම ප්‍රැන්සිස් සුදතුම් පියතුමා ප්‍රේමයේ ආනන්දය අපොස්තලික අනුශාසනාව අග යාච්ඥාවක ස්වරූපයෙන් මෙසේ දක්වති.

ජේසු මරිය ජුසේ තුමනි
සැබැ ප්‍රේමයේ අසිරිය
ඔබ තුමන් තුළ මෙනෙහි කරන අපි
විශ්වාසයෙන් යුතුව ඔබ වෙත හැරෙමු

නාසරතේ ශුද්ධ වූ පවුලෙනි
සාංඝිකත්වයේ නිවෙස් හා යැදුම්
කුටි බවටද
සුපුවත උගන්වන සැබෑ පාසල් බවටද
කුඩා ගෘහස්ථ සභා බවට පත් වීමේ
වරම අප පවුල්වලට ලබා දුන මැනව.

නාසරතයේ ශුද්ධ වූ පවුලෙනි
යළි කිසි දිනක
ප්‍රචණ්ඩත්වය ප්‍රතික්ෂේපය හා බෙදුම්වාදී බව
අපගේ පවුල්වල අත්දැකීම නොවන්නට
සැලැස්වුව මැනව
රිදුම් තුවාල හා අපකීර්තියට ලක්වූවන් වෙත
සුව සහනය නිරන්තරයෙන් ලැබීමේ
මං සැලසුම මැනව

නාසරතේ ශුද්ධ වූ පවුලෙනි
පවුලට ආවේණික ශුද්ධත්වය අඛණ්ඩතාවය හා
පවුල සඳහා වු දේව සැලැස්මේ සුන්දරත්වය
යළි අපට මතකයට නගා ගන්නට
සැලසුව මැනව.

අප හොඳ පියාණන් එදා පැවැති බෙදි වෙන්වුණු සමාජයට සුදු පවුල ඒකත්වය සඳහා වන ආලෝකය ලෙස ඉදිරිපත් කළ බියෙන්වෙනු ආධ්‍යාත්මිකත්වය හා යැදුම තුළ අද පවතින සංදර්භයට සුදතුම් පියතුමා සුදු පවුල වෙත හැරී ගොඩනගන්නට ආරාධනා කරන ආධ්‍යාත්මය එකක්මය.

අප ජීවත්වන සමාජ යථාර්ථය තුළ බරපතළම අර්බුදයට පත්වු සංස්ථාව බවට පවුල පත් වී තිබේ. ශ්‍රී ලාංකේය යථාර්ථය තුළ දිනෙන් දින වර්දනය වන දික්කසාද ස්ත්‍රීයට එරෙහිව පවුල තුළ ඇති ප්‍රචණ්ඩත්වය ඒ අර්බුදයේ ප්‍රකාශන දෙකක් පමණි.

ප්‍රේමය වෙනුවට ලාභය මුල්කරගත් සමාජ ආර්ථීක දේශපාලන රටාවක් තුළ විශේෂයෙන් පීඩිත හා පහළ මධ්‍යම පාතික පවුල් පවුලක් වීමේ අවම අවශ්‍යතා පවා සපුරා ගැනීමේ සටන තුළ බිදි විසිරි අපා දුක් විඳිමින් තිබේ.
මේ යථාර්ථය තුළ අපට සුදු පවුලේ ආධ්‍යාත්මිකත්වය තුළින් ප්‍රේමයේ ආනන්දයේ පවුලක් වීමට කළ හැකි උපකාර ඉමහත්ය. ශුද්ධ වූ පවුලේ අවබෝධය, ශුද්ධ වු පවුලේ අපේක්ෂාව හා ශුද්ධ වූ පවුලේ මෙහෙවර වු දේව රාජ්‍ය කේන්ද්‍රකරගත් පවුලක් වීම තුළ පමණක් ප්‍රේමයේ ආනන්දය අත්දැකිය හැකි බවට වන සුභාරංචිය අවම වශයෙන් අප කිතුන පවුල් වෙත ගෙන යා යුතුය.

ප්‍රැන්සිස් සුදතුම් පියතුමා ප්‍රේමයේ ආනන්දයේ පවුල් වසරක් ලෙස 2021 නම් කර තිබේ. කොරොනා වසංගත තත්වය තුළ වූවද අපට මේ පණිවුඩය පවුල් වෙත සමීප කිරිමට මෙය අවස්ථාවක් කරගත හැකි.
ආදරයේ සූත්‍රය

පවුල් ජීවිතවලට අද අවශ්‍ය වන්නේ ජීවිතය තුළ යොදාගත හැකි සරල ප්‍රායෝගික මඟ පෙන්වීම්ය. හොඳ පියාණන් කියාදෙන ‘ප්‍රේමයේ සූත්‍රය’ ලෙස අප නම් කරන පහත ඉගැන්වීම ඒ සඳහා අපට යොදාගත හැකිය.
එය යොදා ගැනීම විවිධ ගැටුම් ප්‍රශ්න සහිත පවුල්වලට ඔසුවක් වු බවට ප්‍රායෝගික අත්දැකීම් කීපයක්ම මේ ලියුම්කරු සතුය.

බියෙන්වෙනු පියතුමා අපට කියා දෙන සරල ප්‍රබල ‘ආදරයේ පවුල් සූත්‍රය’ කුමක්ද ?

“හැම විටම ශුද්ධ වූ පවුල ඔබේ ආදර්ශය කරගන්න. සෑම ප්‍රශ්නයකදීම සෑම තත්වයකදීම නිරතුරුව මෙසේ ප්‍රශ්න කරන්න. ජේසු මරිය ජුසේතුමන්ලා මගේ ස්ථානයේ සිටියේ නම් මේ අවස්ථාවේදි උන්වහන්සේලා කෙසේ ක්‍රියාකරනු ඇත් ද ? කුමක් කියනවා ඇද්ද ?"

පවුල් තුල පැන නගින සෑම ප්‍රශ්නයකදීම පවුලේ සාමාජිකයින්ට මෙසේ සිතිය හැකි නම් සිතා කතා කළ හැකි නම්, ක්‍රියා කළ හැකි නම් පවුල් ජීවිත ආදරයේ තෝතැනි බවට පත් වේ.

මව්වරුන් ලෙස
මරිය තුමිය නම්
මවක් ලෙස
මේ අවස්ථාවේ
කුමක් කියයිද ?
කුමක් කරයිද ?

පියවරුන් ලෙස
ජුසේ තුමා නම්
පියෙක් ලෙස
මේ අවස්ථාවේ
කුමක් කියයිද ?
කුමක් කරයිද ?

දරුවන් ලෙස
ජේසු තුමා නම්
දරුවෙක් ලෙස
මේ අවස්ථාවේ
කුමක් කියයිද ?
කුමක් කරයිද ?

මේ සිතීම පුහුණු වීම ආරම්භයේ දී දුෂ්කර විය හැකිය. ඒ සඳහා එකිනෙකා තමා එසේ සිතමින්, ක්‍රියා කරමින් තමා අත්දකින සැහැල්ලුව අන් අය හා බෙදා ගැනීමෙන් අනෙක් සාමාජිකයින්ට උපකාර කළ යුතුය. (ඒ අයට එසේ කිරීමට උපදේස දීම නොව, තමාගේ අත්දැකීම බෙදා ගැනීම)

Jesustoday.lk 5 වන වසර 13 වන සතිය 2021 මැයි 30 වන ඉරිදා

 

Comments powered by CComment