ඒ නිසා අපට විමුක්ති දේව ධර්මයන් යන බහු වචනයෙන් ඒවා හඳුනා ගැනීමට සිදු වේ. එය එසේ වන්නේ එක් කලාපයට සීමා නොවීම නිසා පමණක් නොවේ. එය ක්‍රිස්තියානියට පමණක් ද සීමා නොවීම නිසාය.

“දේව ධර්මය” යන්න සාමාන්‍යයෙන් ව්‍යවහාර වන්නේ ක්‍රිස්තියානිය ඇසුරිනි. එහෙත් දේව ආගම් ලෙස සැලකෙන සියලු ආගම්හී ධාර්මික ඉගැන්වීම් සඳහා එය පොදු පදයක් බව අප වටහාගත යුතුය.
ඒ අනුව ගත් කළ ජුදා දේව ධර්මය, ක්‍රිස්තියානි දේව ධර්මය ඉස්ලාම් දේව ධර්මය පමණක් නොව හින්දු දේව ධර්මය ලෙසද දේව ධර්මය හඳුනා ගත හැකිය.

දේව ධර්මය දෙවියන් විසින් අනාවරණය කරන ලද්දකියි ඇහුවද එය ද්වානුභාවය ඇති මිනිසුන් විසින් ප්‍රකාශයට පත්වූ බවද පිළිගැනේ. එකම මූලයකින් පැවැත එන ඒක දේව වන්දනාවක් සහිත ජුදා දහම මෝසෙස් ද, කිතු දහම ජේසු ද, ඉස්ලාම් දහම මොහොමඩ් ද ආදි වශයෙන් ඊට මුල් වූ ශාස්තෘවරයෙකු වේ. මේ ශාස්තෘවරයා විසින් මතු කළ ධර්මය නිසැක වශයෙන්ම ඒ. ඒ. සමාජ සංදර්භය තුළ පීඩිත ජනතාවගේ විමුක්තිය උදෙසා දේශනා කළ ධර්මයකි. හුදෙක් ඒවා දේශනා කළ ධර්මයන් පමණක් නොව ඒ ඒ සමාජ සංදර්භය තුළ ප්‍රායෝගිකව ක්‍රියාවට නැංවූ ධර්මයන්ට.  එබැවින් මුල් ධර්මයන් ඒ ඒ යුගයට සාපේක්ෂව විමුක්ති ධර්මයන් වන අතරම ඒවා තුළ කිසියම් දුරකට සර්වකාලීන විමුක්ති පණිවුඩයක් ද ගැබ්ව තිබේ.

කල්යත්ම මේ හැම ධර්මයක්ම කිසියම් පැළැන්තියක් විසින් සංස්ථාගත ආගම් බවට පරිවර්තනය කරනු ලැබු අතර ඔව්හූ ආගමික නායකයින්, පූජකයින් ලෙස මතු විය. එසේ මතුව ආ විවිධ පුද්ගලයින් මුල් දහම පිළිබඳ දක්වන ලද අර්ථ කථන හා ඔවුන් අතර ඇති වූ පුද්ගල පෞරුෂ ගැටුම්, බල අරගල, ඔවුන් ඒ ඒ සමාජයන් හී දේශපාලන සංස්ථා සමඟ තිබු සබඳතා ආදිය මත මුල් ධර්මය පිළිබඳ විවිධ ගුරු කුළ සම්ප්‍රදායන්, නිකායන් බිහි විය.

මේ පරිණාමයේ ප්‍රතිඵලයක් වූයේ ශාස්තෘවරු පීඩිතයාගේ විමුක්තිය උදෙසා දේශනා කළ ධර්මයන් මෙකී ආගමික නායකයින්, පූජකයින් විසින් ධනය හා බලය සමඟ බැඳුණු පීඩක ව්‍යුහයන්ගේ අවශ්‍යතාවය පරිදි විකෘති කිරීමයි. එනම්, ආගම් විසින් ධර්මය දේව ධර්මය නමින් ප්‍රචලිත කරන විට ඒවා මුල් ශාස්තෘවරු පැවැසු විමුක්තිය අරමුණු කරගත් දේව ධර්මයන් වෙනුවට විමුක්තිය අහිමි කරන විකෘති දේව ධර්මයන් බවට පත් විය.

දීර්ඝ කාලයක් තිස්සේ ජුදා ආගම, ක්‍රිස්තියානි ආගම, ඉස්ලාම් ආගම පීඩක පාලකයින්ගේ මෙවලම් බවට පත් විය. සූරාකෑම සාධාරණිකරණය කරන උපකරණ බවට පත් විය. මෙය ඒක දේව වාදි ආගම්වලට පමණක් නොව හින්දු දහම වැනි බහු දේවවාදි ආගම්වලටද බුදු දහම වැනි අගාම්වලට ද පොදු තත්වයක් විය.

20 වන සියවස ආරම්භය සමඟ ලොව පුරා අධිරාජ්‍යවාදින් විසින් පවත්වා ගෙන ගිය දරුණු පීඩාව ලෝකයේ සෑම කලාපයකම පාහේ මිනිසුන් දැවැන්ත දරිද්‍රතාවයකට ඇද දැමු අතර විමුක්තිය පිළිබඳ වුවමනාවද ඒ හා සමඟ සෑම කලාපයකම මතු විය. ඒ මතුවීමේ ප්‍රතිඵලයක් ලෙස විකෘති කරන ලද දේව ධර්මයන් තුළ සඟවාලන ලද විමුක්ති හරය මතු කරන දේව ධාර්මික ප්‍රවණතාද ලෝකයේ තැනින් තැන ඉස්මත්තට ආහ. ඒවා ‘විමුක්ති දේව ධර්මය’ ලෙස පොදුවේ නාමකරණය විය.

ප්‍රථමයෙන් එය ක්‍රිස්තියානිය ඇසුරින් ඉස්මත්තට ආවේ ලතින් ඇමරිකානු කලාපයෙනි. නමුත් ආසියාව, අප්‍රිකාව ආදි කලාප වලද එකී ප්‍රවණතාවය විවිධ ස්වරූපයන්ගෙන් මතු විය.

ඒ නිසා අපට විමුක්ති දේව ධර්මයන් යන බහු වචනයෙන් ඒවා හඳුනා ගැනීමට සිදු වේ. එය එසේ වන්නේ එක් කලාපයට සීමා නොවීම නිසා පමණක් නොවේ. එය ක්‍රිස්තියානියට පමණක් ද සීමා නොවීම නිසාය.

අද අපට ක්‍රිස්තියානි ජුදා ඉස්ලාම් විමුක්ති දේව ධර්මයන් හඳුනාගත හැකිය. දේව ධර්මය එහී හරයෙන් විමුක්තිගතික වන්නකි. පෙරකී ලෙස ඒ විමුක්තිගතිකත්වය වසා දැමු අධිපතිවාදි විකෘති දේව ධර්මයන් හේතු කොටගෙන ‘විමුක්ති’ යන විශේෂණ පදය දේව ධර්මයේ සැබෑ රාවගුණ මතු කරන ප්‍රවණතාවයට ලැබී ඇත.

ජනතාවගේ ගැලවීම අපෙක්ෂා කරන සියළු දෙනාට තුලනාත්මකව විමුක්ති දේව ධර්මයන් හැදැරීම (එය භාවිතයෙන් තොරව කළ නොහැක්කකි) මඟ හැරිය නොහැකිය.

Jesustoday.lk 5 වන වසර 14 වන සතිය 2021 ජුනි 06 වන ඉරිදා

Comments powered by CComment