ජනපති රාජපක්ෂ අපක්ෂාපති පරීක්ෂණයක් සිදු කර වැරදිකරුවන්ට දඩුවම් කරන බව ප්‍රකාශ කළත් සිදුවීමෙන් වසර හතක් ගත වන අද වන තුරුත් දේපල වලට වන්දි ගෙවිම් හැර මේ සංවිධානාත්ම ප්‍රහාරයට මුල්වූ හතර දෙනෙකු ඝාතනය කළ කිසිවෙකුට නීතිය ක්‍රියාත්මක වී නැත.

පාස්කු ඉරුදින සිදුවූ ප්‍රහාරය සම්බන්ධයෙන් මෙරට කතෝලික ප්‍රජාව දැක්වූ ‘කළු ඉරිදා’ විරෝධතාවය පිළිබඳ Jesustoday.lk  හී සටහනක් තබමින් අප මෙසේ සටහන් කළෙමු. “කළු අඩ සියවසක කළු ඉරිදා”

ශ්‍රී ලංකාවේ ඉතිහාසය තුළ නූතන අර්ථයෙන් ගත්විට දේශීය ජනයාට එරෙහිව, පීඩිතයාට එරෙහිව, හා ප්‍රමාණාත්මක සුළුතර ජාතින්ට එරෙහිව නග්න ප්‍රහාරයන් හෙවත් ‘කළු’ ප්‍රහාරයන් එල්ල වීම යටත් විජිත යුගයේ සිට ක්‍රියාත්මක වූවකි. යටත් විජිත ශ්‍රී ලංකාව තුළ අධිරාජ්‍යවාදීන් සැකසු වර්ගවාදී ජාතික රාජ්‍යය තුළ, ජාතින් ආගම් එකිනෙකාට සතුරන් සේ විශේෂයෙන් ප්‍රමාණාත්මක බහුතර ජාතියට ප්‍රමාණාත්මක සුළු ජාතින් ප්‍රමාණාත්මක සුළුතර ආගමිකයින් තම ජාතිය ආගම විනාශ කරන්නන් සේ ඒත්තු ගැන්වූ ඉතිහාසය වනාහි අධිරාජ්‍යවාදී වුවමනාවන් මත ගොඩනැංවූවකි.

මේ ගොඩනැංවීම් ප්‍රතිඵලයක් ලෙස ලියැවුණු කළු ඉතිහාසයේ එක් කතාවක් මතකයට නැංවීම මේ කෙටි ලිපියේ අරමුණයි.

ඒ වනාහි 2014 ජූනි මස 14-17 අතර කළුකර දිස්ත්‍රික්කයේ දකුණට වන්නට පිහිටියාවු බේරුවල-අළුත්ගම ප්‍රදේශවල සිදුවූ මුස්ලිම් ජනයාට එරෙහිව ප්‍රහාර මාලාවයි. එය මුස්ලිම් –- සිංහල කෝළහාලයක් ලෙස හුවා දැක්වීම රාජ්‍යයේ, පාලක පංතින්ගේ දෘෂ්ටිවාදයට අදාලව මාධ්‍ය විසින් කරන්නනක් මිස එවැන්නක් එහි සිදු නොවීණ.

මේ ප්‍රහාරය පොසොන් පෝය දින සංඝයන්වහන්සේ නමකගේ ගමන් ගැනීමකට මුස්ලිම් තරුණයන් පිරිසක් බාධා කිරීමේ ප්‍රතිඵලයක් ලෙස හූවා දැක්වීමද අධිපති මාධ්‍ය තුළින් සිදුවූවක්. එය සත්‍යය නොවේ. එය වනාහි 1915 මැයි හා ජූනී වල සිදුවූ පළමු මුස්ලිම්වරුන්ට එරෙහි ප්‍රහාරයට පසු යට ගියාවුද, ඊනියා යුධ ජයග්‍රහනයෙන් පසු ප්‍රබලව කරලියට ගන්නාවුද මුස්ලිම් විරෝධි ව්‍යාපාරයේ පරප්‍රාප්තියට පත් වීමකි.

සංඝයා වහන්සේට සම්බන්ධ ව සිදුවීමට අදාල පුද්ගලයින් කීප දෙනෙකුව ප්‍රදේශයේ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබියදීත් බොදු බල සේනාවේ ප්‍රධානි ගලබෝඩඅත්තේ ඥානසාර හිමි එම ප්‍රදේශයට පැමිණ කළ කුපිත කරවන රැස්වීමකින් පසු මෙම ප්‍රහාරය දියත් විය.

ඇමති පාඨලි චම්පික රණවකද වීඩියෝවක කියා තිබුණේ බෞද්ධ හිමිනමකට ඇරියාදු කිරීම බරපතල කාරණයක් බවයි.

නමුත් අපි දන්නවා මෙරට තුළ බෞද්ධයන්ට බෞද්ධ භික්ෂුණු වහන්සෙලාට බෞද්ධයින් විසින් ම ගස් බැඳ ප්‍රහාර දීම්, වෙඩි තබා ඝාතනය කිරීම් පවා සිදුවෙන බව එහිදී කිසිදු බෞද්ධ සංවිධානයක් ඒ පුද්ගලයාට මිස ඒ ප්‍රදේශයේ බෞද්ධයින්ට පහර දෙන්නේ නැති බව.

ප්‍රහාරයට එක්වූ බහුතරය ඒ ප්‍රදේශයට පිටින් පැමිණි සංවිධානාත්මක පිරිස් වූහ. සිංහල අයට මුසල්මානුවන්ගේ දේපලවලට හානි කිරීමට ආරක්ෂක අංශ යම් කාලසීමාවක් තුළ ඉඩකඩ ලබාදුන් බව වාර්තා විය. ප්‍රහාරයට ලක්වූවන් බේරුවල රෝහලට රැගෙන ඒවටද ඇතැම් බෞද්ධ භික්ෂුන් බාධා කළ බවත් රෝහල් වෛද්‍යවරු ඊට එරෙහි වූ බවත් වාර්තා විය. තත්ත්වය සමතයකට පත් කිරීමට හැකි දැයි බැලීමට ආ ඇතැම් මන්ත්‍රීවරුන්ගේ වාහනද හරවා යැවුණි. දින තුනක් තිස්සේ තත්වය පැවැති අතර බණ්ඩාරගම ප්‍රදේශය ද සිදුවීම් කීපයක් සිදු විය.

මුස්ලිම් පුද්ගලයින් හතර දෙනෙකු ඝාතනය වූ අතර කීප දෙනෙකු ආබාධිත තත්ත්වයට පත් විය. අසු දෙනෙකු තුවාල ලැබුහ. නිවාස හා වෙළඳපොල 1000 කට අධික ප්‍රමාණයක් විනාශ කෙරුණු අතර ඉන් 80% ක් ම මුස්ලිම් ජනයාට අයත් වු ඒවාය. ඊට ටික දිනකට පසු මුස්ලිම් ජාතිකයකට අයත් පානදුර නෝලිම්ට් ආයතනය ගිනිතැබු අතර මිලියන ගණනක අලාභයක් සිදු විය.

ජනපති රාජපක්ෂ අපක්ෂාපති පරීක්ෂණයක් සිදු කර වැරදිකරුවන්ට දඩුවම් කරන බව ප්‍රකාශ කළත් සිදුවීමෙන් වසර හතක් ගත වන අද වන තුරුත් දේපල වලට වන්දි ගෙවිම් හැර මේ සංවිධානාත්ම ප්‍රහාරයට මුල්වූ හතර දෙනෙකු ඝාතනය කළ කිසිවෙකුට නීතිය ක්‍රියාත්මක වී නැත. එයින් පෙන්නුම් කරන්නේ මේ ප්‍රහාරවලට රාජ්‍යයේ ඇති සම්බන්ධයයි. පාලක පංතිවල ඇති සම්බන්ධයයි. ප්‍රමාණාත්මක සුළුතර ජාතින්ට පහර දි මරා දමා දඩුවමින් මුක්තිය ලබා ගැනීමට ශ්‍රී ලංකා රාජ්‍යය රාජ්‍යයක් ලෙස ඉඩදී තිබෙන බවයි.

දේව සාධාරණත්වය යුක්තිය පිළිබඳ අදහන පාස්කු ඉරුදින ප්‍රහාරයට සාධාරණය ඉල්ලන කිතුනුවන් තම හෘද සාක්ෂිය විමසා බැලීය යුත්තේ මෙවන් අපරාධවලදී අප නිහඬව සිටියේ ඇයි ද යන්නයි. පාස්කු ඉරුදින ප්‍රහාරයෙන් පසුව ද, මුස්ලිම් ජනතාව ඉලක්ක කරගෙන සිදු වු ප්‍රහාරයන් ගැන පරීක්ෂණ පවත්වා සාධාරණය ඉටු කරන ලෙස ඉල්ලීම පාස්කු ඉරුදින ප්‍රහාරයට සාධාරණ ඉල්ලීම සමග සම්බන්ධ විය යුතු ඉල්ලීමක් බව, සැබෑ ක්‍රිස්තියානින්ට පෙනී යා යුතුය. කළු ජූනිය පිළිබද අප‍ගේ සාමුහික හෘද සාක්ෂිය අවදි විය යුත්තේ සමස්ථ ජනතාවකම සාමයෙන් ජීවත් විය හැකි රටක් නිර්මාණ කර ගැනීමට එය අත්‍යාවශ්‍ය නිසාය.

Jesustoday.lk 5 වන වසර 15 වන සතිය 2021 ජුනි 13 වන ඉරිදා

 

Comments powered by CComment