පෙනෙන ශාරීරික ලිංගික අපචාරවලට වඩා දිගුකල් පවතින බලපෑමක් හැඟීම්මය හා මානසිකමය වශයෙන් සිදුවන අපචාර මගින් සිදු වේ. අපි එය දකිමු. වළකමු.

අප ගියවර Jesustoday.lk හී ප්‍රචණ්ඩත්වය ළමයි හා පවුල් ජීවිත ගැන කතා කළේමු. මේ ලිපිය එහි තවත් පැතිකඩකි.

කිරිමැටියාන ප්‍රදේශයේ නව යොවුන් දැරියක් ගෙල වැළලා දිවි තොර කර ගැනීම සමාජ මාධ්‍ය වාර්තා කර තිබුණේ, ඵළ නොකළ යුතු ඡායාරූප ද සමඟය. මරණයට හේතුව ඇයගේ ඡායාරූප විකෘති කොට වෙබ් අඩවියක ඇතුලත් කිරිමෙන් ඇති වු පීඩනයයි.

කෝවිඩ් ඇති වීමට පෙර පාසල් වයසේ නව යොවුන් දරුවන් වැඩි පුරම උපදේශනයට යොමුවු ප්‍රශ්නය වූයේ සමාජ මාධ්‍ය තුළ අතරමංවීම ඊට ඇබ්බැහි වීම ඒ හරහා මානසිකව අපචාරයට ගොදුරුවීම ආදි ප්‍රශ්න වෙනුවෙනි.

පාලකයින් කෝවිඩ් තත්ත්වය තුළ විකල්ප සෙවීම අත්හැරීම නිසා ඔන්ලයින් ඉගෙනුම එකම විකල්පය වූ බව කිව යුතුය. මෙය හුදෙක් කෝවිඩ් තත්ත්වය නිසාම ඇති වූවක් නොවේ.

කොවිඩ් තත්ත්වය දඩම්මා කරගෙන අද ලෝකයේ අංක එකේ ලාභ ලබන ව්‍යාපාර වර්ගය වන අන්තර්ජාල සමාජ, ජාල, ඩිජිටල් උපකරණ අලවි කරන සමාගම් හී බලපෑම තුළ ද සිදුවන ක්‍රියාවලියකි එය. ඒ ගැන අප සමාජයේ අවධානය යොමුව නැති තරම්ය.

කෙසේ වෙතත් ළමා හා නව යොවුන් දරුවන් දවසේ සැළකිය යුතු කාලයක් ඩිජිටල් උපකරණ හා අන්තර්ජාලය සමඟ සැරී සැරීම තුළ ඇති වී ඇති මානසික බලපෑම් කෙරෙහි වහාම අවධානය යොමු කිරීම අත්‍යාවශ්‍යව ඇත. මෙහිදී ප්‍රතිපත්ති සම්පාදකයින්ගේ, ගුරුවරුන්ගේ, දෙමාපියන්ගේ, වැඩිහිටියන්ගේ අවධානය යොමු විය යුතු කරුණු කීපයක් අවධාරණය කළ යුතුය.

01. ඩිජිටල් හා අන්තර්ජාල ඇබ්බැහිවීම් මගින් ඇතිවන රෝගී තත්ත්වයන් පිළිබඳ දැනුමවත්භාවය.

      උදා:-  - අවධානම් ඌණතාවය
               - අක්ෂි රෝග
               - අධික්‍රිය තත්ත්වයක් ඇති වීම.
               - විශාදය

02. ඔන්ලයින් අධ්‍යාපනයට යොමුවීම හා නිවසට සීමා වීම නිසා ඇති වන ශාරීරික ක්‍රියාකාරිත්වයන්, ක්‍රීඩාවන් අහිමි වීමේ ශාරීරික හා මානසික බලපෑම් හඳුනා ගැනීම හා ඒක අහිතකර බලපෑම් අවම කර ගැනීමට කටයුතු කිරීම.

          - දරුවන් ශාරීරිකව ක්‍රියාකාරිවන වැඩවලට සම්බන්ධ කර ගැනීම
          - නිවෙස් තුළම පවතින සීමාව තුළම විවිධත්වයක් ඇති කර ගැනීම

උදා:- නිවස තුළ රාත්‍රී කාලවල කුඩාවට පවුලේ හමුවක් සාදයක් සේ පැවැත්වීම, කුඩා හෝ මිදුලට රැස් වී සතුටු සාමිචියේ යෙදීම මේ සාදය යනු තමන්ගේ රාත්‍රී ආකාරය වෙනස් විදිහකට සකසා ගෙන තේ පැන් සංග්‍රහයක් සමඟ ගීත කීපයක් ගායනා කිරීම විය හැකිය.
         - පවුලේ අය එක්ව ක්‍රීඩා කිරීම

03. ළමුන් අන්තර්ජාලයට නිරාවරණය වීම තුළින්, ෆේස්බුක්, ටික්ටොක් වැනි සමාජ ජාලා තුළින් අහිතකර ලිංගික බලපෑම්වලට, ලිංගික ඡායාරූප වීඩියෝ නැරඹීමට, හුවමාරු කර ගැනීමට යොමුවීම ඇති ඉඩකඩ දැනුවත්ව අහුරා දැමීම හා එවන් තත්ත්වයන් ඇති වී ඇත්නම් බුද්ධිමත්ව  කටයුතු කර ඒ තත්ත්වයෙන් මුදා ගැනීමට ක්‍රියා කිරීම.

මෙහිදී උපදේශනයන් ලබා ගැනීම, දරුවාට ශාරිරික දඩුවම් කිරීමෙන් වැලකි ඔහුට ඉන් මිදීමට උපකාර කිරීම අත්‍යාවශ්‍ය වේ.

04. දරුවන් දෙමාපියන් දැනුවත් කිරීම සඳහා අදාල සමාජ මට්ටම් වලට හා වයස් කණ්ඩායම්වලට ගැලපෙන වැඩ සටහන් අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම.

05. සාධන මට්ටම අඩු හා ආර්ථීක දුෂ්කරතා ඇති මාර්ග ගත අධ්‍යාපනයෙන් හැලී සිටින, පවුල් ප්‍රශ්නවලින් මිරිකී සිටින දරුවන් සඳහා නොපමාව  ප්‍රතිකාර අධ්‍යාපන වැඩපිළිවෙලක් සකස් කර වහාම එය ක්‍රියාවට නැංවීම.

06. ළමා නිවාස, විශේෂ අවශ්‍යතා ඇති දරුවන් සඳහා වන නිවාස නිවෙනස්වල සිටින විශේෂ අවශ්‍යතා ඇති දරුවන් ආදී විශේෂ අවධානයක් අවශ්‍ය දරුවන්ට මේ තත්ත්වය තුළ ඇති වී ඇති බලපෑම නිසි පරිදි තක්සේරු කර ඔවුන් සඳහා විශේෂ මැදිහත්වීම් සිදු කළ යුතුය.

ආර්ථික අර්බුදය ගැන දේශපාලන අර්බුද ගැන කරන කතා වලින් 5% වත් දරුවන් ගැන ලංකාවේ කතා නොවේ. එයම අපගේ ප්‍රමුඛතා ගැන ප්‍රකාශ කරයි.

පෙනෙන ශාරීරික ලිංගික අපචාරවලට වඩා දිගුකල් පවතින බලපෑමක් හැඟීම්මය හා මානසිකමය වශයෙන් සිදුවන අපචාර මගින් සිදු වේ. අපි එය දකිමු. වළකමු.

Jesustoday.lk 5 වන වසර 19 වන සතිය 2021 ජූලි 11 වන ඉරිදා

Comments powered by CComment