මුස්ලිම් අන්තවාදයට කත් අදින්නෙකු ලෙස ලේබල් වීම නොසලකා ඔවුන් ගැන හඬ නැගීම කිතුනුකම වේ. මිනිස්කම වේ.

 

ඒක යුගයක ලංකාවේ මානව හිමිකම් මුරකරුවන් හා දේශපාලන ක්‍රියාධරයින් ස්වයං සිරගත වීමට ලක් වු කරුණක් වූයේ දෙමළ දේශපාලන සිරකරුවන් පිළිබඳ කතා කිරීමයි.

සියලුම දෙමළ ජනයා රාජ්‍ය විසින්ම ‘ත්‍රස්තවාදින්’ ගේ තත්ත්වයට මතවාදිව පත්කර තිබු අතර සියලු දෙමළ ජනයා බෙදුම්වාදින් බවට බහුතර වාම දේශපාලකයින්ද නාමකරණය තිබුණි.

එවැනි පසුබිමක දෙමළ සිරකරුවන් ගැන කතා කිරිම ත්‍රස්තවාදි ක්‍රියාවක් වු අතර බොහෝ දෙනා ඒ ත්‍රස්තවාදි ලේබලයට බයේ ඔවුන් ගැන කතා කිරීම අතහරිනු ලැබුවෝය.

වර්ථමාන ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ක්‍රියාධරයින් දේශපාලන ක්‍රියාධරයින් හිරවි ඇති විලංගුව වන්නේ අප්‍රියල් 21 ප්‍රහාරයට පසුව හා ඊට පෙර අත්අඩංගුවට පත්ව චෝදනා ගොනු නොකර රඳවාගෙන සිටින හා අභූත චෝදනා මත රඳවාගෙන සිටින මුස්ලිම් සිරකරුවන් ගැන කතා කිරීමයි.

රැඩිකල් වාමාංශිකයින් නගන ප්‍රශ්නය වන්නේ ඔව්හූ දේශපාලන සිරකරුවන්ද ? යන්නයි. දේශපාලන සිරකරුවන් යනු කිසියම් විමුක්ති දේශපාලනයක නිරතවීම මත හෝ ඒ විමුක්ති දේශපාලනය විනාශ කරනු පිණිස අත්අඩංගුවට ගෙන සිරගත කරනු ලැබුවන් බැවින් මේ මුස්ලිම් සිරකරුවන්ට ඊට අයත් නොවේය යන පදනමින් තවමත් රැඩිකල් වාම දේශපාලනය ද මේ මුස්ලිම් සිරකරුවන් ගැන නිහඬය.

දේශපාලන සිරකරුවන් ඝනයට නොවැටුනද අසාධාරණ ලෙස රඳවාගෙන සිටින කවර සිරකරුවෙකු ගැන වූවද හඬ අවදි කිරීම ‘මම සිරගතව සිටිමි’ ඔබ මා බලන්නට ආවාහුදැයි අසන කිතු තුමන්ව අදහන කිතුනුවන්ගේ යුතුකමකි.

පාස්කු ඉරුදින ප්‍රහාරයට පෙර ගත්තොත් අලුත්ගමදි, දිගනදි අත්අඩංගුවට ගත් සිංහලයින්ට හා මුස්ලිම්වරුන්ට ලැබුණේ එක සමාන සැලකීමක් නොවේ. වෛද්‍ය ෂාපි වැන්නන්ට පවා අත්වූයේ සාධාරණ ඉරණමක් නොවන බව පැහැදිලි වූවේය.

දැන් අන්නාෆ් නම් කවියා සම්බන්ධයෙන් සිදුවන්නේද නීතියට පිටින් ගිය ක්‍රියාමාර්ගයක් බව නිතිවේදිහු පෙන්වා දෙති. ශාපි, අන්නාෆ් වැනි ජනප්‍රිය හා යම් සිවිල් තත්ත්වයක් ඇති අය නොවන සාමාන්‍ය මුස්ලිම් මිනිසුන් රැසක්ද තවම නිසි හා සාධාරණ චෝදනා ඉදිරිපත් කිරිම් වලින් තොරව රඳවාගෙන සිටි.

මුස්ලිම් අන්තවාදයට කත් අදින්නෙකු ලෙස ලේබල් වීම නොසලකා ඔවුන් ගැන හඬ නැගීම කිතුනුකම වේ. මිනිස්කම වේ. මෙහිදි මුස්ලිම් සමාජයට වඩා පෙරට ආ යුත්තේ මුස්ලිම් සමාජයෙන් පිට සිටින මානව හිමිකම් ක්‍රියාධරයින් සමාජ දේශපාලන ක්‍රියාධරයින්ය.

Jesustoday.lk 5 වන වසර 37 වන සතිය 2021 නොවැම්බර් 21 වන ඉරිදා  

 

Comments powered by CComment