කුසේ ඇති කලලය ස්ත්‍රී රූපයක් දැයි ස්කෑන් කොට සොයාගෙන, එය රහසේම විනාශ කර දැමීම බහුතරයක් ඉන්දියානුවන්ගේ ජනප්‍රිය චාරිත්‍රයකි. ඊට හේතුව, තරුණියක් දීග දීමේදි පුරුෂ පාර්ශවයේ ඥාතීන් ඉල්ලා සිටින විශාල දෑවැද්ද පිරිනැමීමට ඇති නොහැකියාවයි.

ඉන්දියාවේ අන්ද්‍රා ප්‍රදේහී පිහිටි ශ්‍රීකාකුලම් නම් ග්‍රාමයේදී 1939 සැප්තැම්බර් 21 දින උපත ලැබු අග්නිවේෂ්ගේ කුඩා කල නාමය “වේෂා ශ්‍යාම් රාඕ ය” අග්නිවේෂ්හට වයස අවුරුදු හතර සපිරෙද්දී ඔහුගේ පියා මිය ගියේය. ඉනික්බිති ඔහුගේ මෑණියන්ගේ පියා හෙවත් සීයා විසින් ඔහුව හදා වඩා ගනු ලැබීය. එකල චාතිස්ගාර් ප්‍රාන්තයේ ප්‍රධාන ඇමති ධූරය හෙබවූයේ අග්නිවේෂ්ගේ සීයාය. උසස් පෙළ ඉහළින්ම සමත් වූ අග්නිවේෂ්, කල්කටා විශ්ව විද්‍යාලයට ඇතුළත් වී වාණිජ්‍යය හා නීතිය එහිදි හැදැරිය. එම විෂයයන්ට අදාළ ආචාර්ය උපාධීන් දිනාගත් පසුව හෙතෙම බටහිර බෙංගාලයේ ශාන්ත සේවියර් සරසවියේ ව්‍යාපාර අධ්‍යයනය පිළිබඳ මහාචාර්යවරයා ලෙස කටයුතු කළේය. මහැදුරු තනතුර හොබවන අතරතුරදීම ඔහු, සුප්‍රකට නීතිවේදී සබියසාචි මුකර්ජිගේ කනිෂ්ට නීතිඥයා ලෙස විටින් විට උසාවියේ පෙණී සිටියේය. සිය පරම්පරාවෙන් ලද ධනස්කන්ධය සහ උසස් රැකියාවලින් ඉපැයු වස්තුව තම ආධ්‍යාත්මික සතුටට බාධාවව් යැයි අග්නිවේෂ්ට වැටහුණේ වයස අවුරුදු 29 දීය. තමා සතු සියලු වත්කම් විවිධ පුණ්‍ය සංවිධානවලට පැවරූ හෙතෙම කහවතින් සැරසී ස්වාමි අග්නිවේෂ් බවට පරිවර්තනය වූයේ අවුරුදු තිහ ලැබු මොහොතේය.

සන්‍යාස දිවිය

නවදිල්ලි නුවර ආසන්නයේ පිහිටි සිය ආරණ්‍යයට වී වේද ග්‍රන්ථ හදාරමින් සහ යෝගී ව්‍යායාම මෙන්ම භාවනාවන්හිද නියැළෙමින් සිටි ඔහුට දිල්ලිය අවට කුලී වැඩ කරමින් අති දුෂ්කර දිවි පෙවෙතක් ගත කරන කුඩා ළමුන් නිරතුරුව නෙත ගැටිණි. වහල් සේවයේ යෙදෙන දරුවන් පිළිබඳව සොයා බැලීමට හෙතෙම තීරණය කළේ, ඔවුන් වෙනුවෙන් යමක් කළ යුතුය යන අභිලාෂයෙනි.

“දාලිත්” නමින් හැඳින්වෙන කුලහීන ජන කොටසට සමස්ත ඉන්දීය සමාජයෙන් එල්ල වන්නේ ඇනුම් බැනුම් හා ගැරහුම්ය. ඉන්දියාවේ ග්‍රාමීය පෙදෙස්වල වෙසෙන මොවුහු විරැකියාවෙන් හා අන්ත දුගී බවින් දැඩිව පීඩා විඳිති. දෛනිකව රුපියල් 400/- ක් ඉපැයීය හැකි නගරයේ රැකියාවකට දරුවා යොමු කළ හැකි වග ජාවාරම්කරුවන් විසින් දාලිත් පවුලකට දැනුම් දුන් විට, දෙමව්පියෝ තම පුතා හෝ දුව ඔවුන්ට භාර දෙති. දරුවන්, ගඩොල් පෝරණුවල, මස්කඩවල විවිධ කම්හල්වල හා ධනවත් ගෘහයන්හි වහල් ශ්‍රමිකයන් ලෙස අවසානයේ නතර වන බව මෙකී නූගත් මව්පියෝ නොදනිති. කුඩා ගැහැණු ළමුන් මෙහිදි ලිංගික බලහත්කාරම්වලට ලක්වීම නොවැළැක්විය හැකිය. සමහරු මෙම දරුවන් යාචක වෘත්තීයේද යොදවති. ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ දත්තවලට අනුව වයස අවුරුදු 05-17 සීමාවේ පසුවන ළමයින් මිලියන 06 ක් පමණ ඉන්දියාව තුළ වහල් සේවයේ නියැළෙති. බුමුතුරුණු නිෂ්පාදනය කරන කම්හලක සිටි ළමා ශ්‍රමිකයන් ඒවායේ මැෂින්වලට දම්වැල් දමා බැඳ තිබු අයුරු දුටු ස්වාමි අග්නිවේෂ් වරෙක මහත් කම්පාවට පත් විය.

ඉනික්බිති, මොවනු වහල් සේවයට යොමුවු හේතුව විපරම් කර බැලීමට හෙතෙම ක්‍රියා කළේය. විවිධ අවශ්‍යතා සඳහා උසස් කුලවතුන්ගෙන් 40% පොලියට මේ ළමුන්ගේ දෙමව්පියන් ණය මුදල් ලබාගෙන තිබුණි. ඒ සඳහා ඇපයට තබන ලද්දේ මේ දරුවන්ය. ණය මුදල ආපසු ගෙවීමට අපොහොසත් වූ හෙයින් ඇපකාරයන් වු ළමයින්ව කුලතා සිය ග්‍රහණයට ගෙන වහල් සේවයේ යොදවනු ලැබිය.

වහල් සේවා විමුක්ති පෙරමුණ

බන්ඩුවා මුක්ති මෝඩා (IMM) නමින් ශ්‍රමිකයන් වහල් බවින් මුදවා ගැනීමේ පෙරමුණ, ස්වාමි අග්නිවේෂ් විසින් 1981 දී ස්ථාපිත කරනු ලැබුවේ සංවිධානාත්මක ලෙස එම අභියෝගයට මුහුණදීම සඳහාය. වහල් ශ්‍රමයේ යෙදෙන ඉන්දියානු දරුවන්ගේ සංඛ්‍යාව මිලියන 06 ක් යැයි ආණ්ඩුව හා ජාත්‍යන්තර කම්කරු සංවිධානය කීවත්, සැබැවින්ම එය මිලියන 65 ක් ලෙස නිවැරදි විය යුතු වග (IMM) සංවිධානය සාක්සි සහිතව පෙන්වා දුන්නේය.

ගඩොල් පෝරණුක වැඩ කරන දරුවෙකු අකාර්යක්ෂමැයි වැඩමූලිකට හැගුණොත්, එම සිඟිත්තාගේ හිසට ගඩොලකින් පහරදීම ඔහුගේ සිරිත විය. දෛනිකව පැය 14 ක් වැඩ කිරීමට මැලි වු ළමුන්ට ගස් බැඳ පහරදීම සිදු කෙරිණි. රසායනික කම්හල්වල වැඩ කළ ළමුන් අත් පා අන්තරායකර රසායනික දියරයන්ගෙන් පිළිස්සී තිබීම සුලබ දසුනක් විය. හිද දවස පුරාම නමාගෙන බීඩි ඔතන දරුවන් ගෙලේ රෝගවලින් පෙළුණද, ඔවුන්ට වෛද්‍ය ප්‍රතිකාර ලබාදීමේ අවශ්‍යතාවක් හාම්පුතුන්ට නොතිබිණි. වාතාශ්‍රයක් නැති අධික ශබ්ද දූෂණයෙන් යුතු බුමුතුරුණු කම්හල්වල සේවයේ නියැලුණු ළමා ශ්‍රමිකයන්, ශ්වසන හා ශ්‍රවණාබාධාවලින් නිරතුරුවම පෙළුණි.
ස්වාමි අග්නිවේෂ් ප්‍රථමයෙන් ම කළේ, සිය සංවිධානය ඔස්සේ අරමුදල් රැස් කොට, එම ධනය යොදවා හාම්පුතුන්ගේ ණය මුදල් ගෙවා දැමීමයි. ඇපකර ලෙස තබා ගත් දරුවන් ඔවුන්ගේ ග්‍රහණයෙන් මුදාගෙන ඒ අයව තෝරා ගත් පාසල් කිහිපයක් වෙත යැවීමට හෙතෙම ක්‍රියා කළේය. ඊට අමතරව, ගඩොල් පෝරණු සේවකයන්ගේ සංගමය, ගල් කොරි සේවක සංගමය, ඉදිකිරිම් ශ්‍රමිකයන්ගේ සංගමය හා බුමුතුරුණු සේවක සංගමය යනාදී වෘත්තීය සමිති ස්තෘපිත කොට එම ක්ෂේත්‍රයන්හී ශ්‍රමිකයන්ගේ අයිතිවාසිකම් හා සේවා කොන්දේසි සාමුහික කේවල් කිරිමේ ක්‍රියාදාමය යටතේ ඉහළ නැංවීමට ස්වාමි අග්නිවේෂ් සමත් විය.

1981 සිට 2020 දක්වා ගෙවුණු කාලය තුළ වහල් ශ්‍රමිකයන් 172,000 ක් ඔවුන් සිටි අන්ත දුක්ඛිත තත්ත්වයෙන් මුදවාගෙන ඒ අයට ගෞරවනීය රැකියා අවස්ථා හා අධ්‍යාපනික පහසුකම් පිරිනැමීමට (IMM) කටයුතු යෙදීය. අවවරප්‍රසාදිත මිනිසුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් සිවුරු පොරවාගත් නීතිඥයෙකු ලෙස ස්වාමි අග්නිවේෂ් උසාවියේ පෙනී සිටීම කුලවතුන්ගේ සතුටට හේතු වූයේ නැත. සැමියා මිය ගිය පසුව ඔහුගේ ගිනි දැල්වුණ චිත්‍රකයට කණවැන්දුම් බිරිඳ බලෙන්ම තල්ලු කර මරා දැමීම, ග්‍රාමීය ඉන්දීය ගෝත්‍රික සමාජවල සුලබව දැකි හැකි අවාසනාවන්ත සිදුවීමකි. මෙය ‘සති පූජාව’ ලෙස හැඳින්වේ.

සති පූජාවට එරෙහිව පාද යාත්‍රා සංවිධානය කිරීම, මාධ්‍ය සාකච්ඡා කැඳවීම හා පුවත්පත්වලට ලිපි ලිවීම යනාදිය ස්වාමි අග්නිවේෂ් අතින් සිදුවීම ඉන්දියානු ජාතිවාදි කුලීනයන්හට දරාගත නොහැකි තැන 2018 ජූලි 18 දින භාරතීය ජනතා පක්ෂයේ අන්තවාදීහු පාකුර්හිදි ඔහුට බිම දාගෙන පහර දුන්හ. මෝදිගේ රජය එම ප්‍රහාරයට එරෙහිව පරීක්ෂණයක් ඇරඹුවද එය අතරමගදී දියාරු වී ගියේය. මන්ද, ඉන්දීය සමාජයේ මුල් බැසගත් කුලවාදයට හා ගෝත්‍රවාදයට විරුද්ධ වීම අධිකාරි බලයක් ඇති (පොලිසිය, හමුදාව, දේශපාලන බලාධිකාරය) සියල්ල දැඩිව පිළිකෙව් කරන හෙයිනි.

අයුක්තියට එරෙහිවීම

කුසේ ඇති කලලය ස්ත්‍රී රූපයක් දැයි ස්කෑන් කොට සොයාගෙන, එය රහසේම විනාශ කර දැමීම බහුතරයක් ඉන්දියානුවන්ගේ ජනප්‍රිය චාරිත්‍රයකි. ඊට හේතුව, තරුණියක් දීග දීමේදි පුරුෂ පාර්ශවයේ ඥාතීන් ඉල්ලා සිටින විශාල දෑවැද්ද පිරිනැමීමට ඇති නොහැකියාවයි.

ස්ත්‍රී කළල විනාශ කිරිමට එරෙහිවද ස්වාමි අග්නිවේෂ් දැවැන්ත හඬක් නැගුවේය. ඔහුගේ අප්‍රතිහත ධෛර්යේ අවසාන ප්‍රතිඵලය වූයේ, සති පූජා වැළැක්වීමේ පනත සහ ස්ත්‍රී කළල ගබ්සා කිරීම වැළැක්වීමේ පනත ඉන්දියානු පාර්ලිමේන්තුව විසින් සම්මත කිරිමයි. හුදකලා කුටියකට වී යෝග භාවනාවන්හි නියැලීම පමණක් ප්‍රමාණවත් නොන බව සිතු හෙතෙම සිය දර්ශනය හැඳින්වූයේ ‘වේදයික සමාජවාදය’ ලෙසය. අවශ්‍ය වූ විටක වේද ග්‍රන්ථවලින් උපුටා ගත් කියමන් තම දේශනාවලට චතුර ලෙස එක් කිරීමට ඔහු විශිෂ්ඨ නිපුණතාවක් දැක් විය.

නීතිපොත ද අතැඹුලක් සේ දත් ඔහු අබියස, තර්ක විතර්ක කොට ජය ගැනීම ලෙහෙසි පහසු දෙයක් නොවන වග ඔහුගේ එදිරිවාදිහු දැන සිටිය. නූගත් ගෝත්‍රික ජනයාගේ ඉඩම් අයිතින් වෙනුවෙන් පෙනී සිටීමටද ගොවින්ගේ අස්වැන්න සඳහා සාධාරණ මිලක් ඉල්ලා සටන් කිරීමටද, ස්වාමි අග්නිවේෂ් කිසිවිටෙකත් පැකිළුණේ නැත. අවිහිංසාව පෙරදැරි කරගත් ඔහුගේ පොදු ජන අරගල, ලෝකය පුරාම ප්‍රචලිත විය. 1994 සිට 2004 දක්වා නූතන වහල් විධික්‍රම හා අදාළ එක්සත් ජාතින්ගේ ස්වේච්ඡා භාරකාර අරමුදලේ ගරු සභාපතිවරයා ලෙස ඔහුව තෝරාපත් කරනු ලැබුවේ එබැවිනි. ඉන්දියානු මධ්‍යම රජයට එරෙහිව සන්නද්ධ අරගලයක නියැළෙන මාඕවාදින් පිළිබඳව ස්වාමි අග්නිවේෂ් දැරුවේ වෙනම මතයකි. ඔවුන් අවි ගැනීම තමා අනුමත නොකරන නමුත් මාඕවාදීන් එතැනට තල්ලු වූයේ රටේ බලධාරින් ඒ අයගේ සාධාරණ දුක්ගැනවිලි ගණනකට නොගත් නිසා යැයි හෙතෙම පුන පුනා කීවේය. මාඕ ගරිල්ලන් විසින් පැහැරගෙන යනු ලැබු ඉන්දියන් පොලිස් භටයන් පස්දෙනෙකු සටන්කාමින් සමග සාකච්ඡා කොට නිදහස් කර ගැනීමට ඔහු ක්‍රියා කළේ 2021 වසරේදීය. උග්‍ර ජාතිවාදයට හා ආගම්වාදයට එරෙහිව ඔහු ගෙන ගිය සටනට ඉන්දියාවේ වමෙන් හා ලිබරල්වාදීන්ගෙන් කිසිදු සහයෝගයක් නොලැබිණි. ඔහු වටා හැම විටම එක් රොක් වූයේ අවවරප්‍රසාදිත දුගී ජනතාවයි.

ගරු බුහුමන්

අන්තර්-ආගමික සහජීවනය ගෝලීය මට්ටමින් නගා සිටුවීම පිණිස යුනෙස්කෝ සංවිධානය විසින් පිහිටුවන ලද එලිජා ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙසද කලක් ස්වාමි අග්නිවේෂ් කටයුතු කළේය. සෞදි රජු අබ්දුල්ලා අතින් ස්ථාපිත වූ කයිසිඩ් සංවාද මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ මණ්ඩලයට ඔහුව තේරු පත්වූයේ ඔස්ටි්‍රලියානු හා ස්පාඤ්ඤ රජයන්ගෙන් මැදිහත්වීමෙනි. සිවීඩන් රජය, වර්ෂ 2004 දී ඔවුන්ගේ ‘නිවැරදි ජීවිකාව පිළිබඳ සම්මානය’ ස්වාමි අගින්වේෂ් වෙත පිරිනැමීය. අවුරුදු 80 ක් ආයු වලඳා 2020 සැප්තැම්බර් 11 දින ඔහු මිය ගියද ඉන්දියාවේ පීඩිත ජනයා වෙනුවෙන් ස්වාමි අග්නිවේෂ් ඉෂ්ට සිද්ධ කළ අනුපමේය සේවය සදා අමරණීය බව කිව යුතුය.

ස්වාමිජිගේ උදාර ජීවිතය ගැන සිතන විට ටී. එම්. ජයරත්න ගයන ගීයක් මගේ සිහියට නැගේ.
“පොළව කොටන තැන - පාර තනන තැන, ගිනියම් අව්වේ, මහ වරුසාවේ දෙවියෝ වැඩ ඉන්නේ”

උපුටා ගැනීම ප්‍රභාෂ්වරගේ පන්නරය තීරු ලිපියෙනි.

Jesustoday.lk 5 වන වසර 8 වන සතිය 2021 අප්‍ර‍ේල් 25 වන ඉරිදා 

Comments powered by CComment