මැයි 11-13 දක්වා දින තුන තුළ පේරාදෙණිය සමරසවියේ ඇති වූ සිද්ධීන් පිළිබඳ ව ආචාර්ය ප්‍රේමසිරි විසින් ඉදිරි පත් කරන ලද වාර්තාවට නිසි ප්‍රසිද්ධියක් එම අවස්ථා වීම ලැබුණි නම් 1983 ජූලි මස සිදු වූ විනාශය ඒ අයුරින් සිදු නොවන්නට බොහෝ දුරට ඉඩ තිබූ බවයි.

මින් වසර 29 කට පෙර පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ දී සිදු වු එක්තරා මිලේච්ඡ ක්‍රියාවක් කෙරෙහි මෙරට පාඨකයාගේ අවධානය යොමු කිරීම මෙම ලිපියේ අරමුණ වේ. එය එකල පැවති රජයේ ද අනුග්‍රහයෙන් 1983 ජූලි මස සිදු කරන ලද ද්‍රවිඩ ජනසංහාරයේ පෙරහුරුවක් ද විය. එමෙන්ම ඒ වන විට උතුරේ ආරම්භ වී තිබු සන්නද්ධ සටනට මෙරට බුද්ධිමතුන් හා තරුණයින් ආකර්ෂණය වීමට මං සෑදු සාධකයක් ද විය. පසුව මෙම සිද්ධිය පිළිබඳ සොයා බැලූ ලැනරෝල් කමිටුව පෙන්වා දුන් අන්දමට මෙම ක්‍රියාවේ යෙදුනවුන් ද්‍රවිඩ ජාතික ශිෂ්‍යයන්ට, ආචාර්යවරුනට හා අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ පිරිස් අමතා ර්‍ණතොපිට මින් පස්සේ මෙහෙ ඉන්ඩ බෑ. අමිර්තලිංගම්ට කියල යාපනේ විශ්ව විද්‍යාලයක් හදාගනිව්” යයි කියමින් සරසවි භූමියෙන් ඔවුන් එලවා දසමා ඇත.

මෙම තිරස්චීන හෙහෙයුම සිදු වූ අවධියේ අද පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් අතුරින් කිසිවකුත් ඉප දී නොසිටි බවට සැකයක් නැත. සමහරවිට ඔවුන් අතුරින් සමහර දෙනෙකුගේ මව හෝ පියා නැතිනම් දෙදෙනාම මේ සිද්ධිමාලාව කිසියම් ආකාරයකින් ඇසූ හෝ දුටු වු අය වන්නට පුළුවන. එබැවින් තම සරසවියේ කිර්තිමත් ඉතිහාසට පමණක් දැන සිටින ඔවුනට එහි අපකිර්තිමත් ඉතිහාසයෙන් බිඳක් පිළිබඳව දැනුවත් වීමට ද මෙම ලේඛනය උපකාරී වනු ඇත.

සංහාරයේ ආරම්භය

දිනය 1983 වර්ෂයේ මැයි මස 11 වන දාය. වේලාව රාත්‍රී 8.30 ට පමණය. ස්ථානය පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ විද්‍යා පීඨයේ ර්‍ණකැන්ටිමය”. පිරිසක් එහි තිබු රූපවාහිණි යන්ත්‍රය ඉදිරිපස වාඩි වී දෙමළ බසින් වු චිත්‍රපටයක් නරඹමින් සිටියහ. හදිසියේ එහි කඩා වැදුණු පොලු මුගුරු රැගත් පිරිසක් එම ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට පහර දීමට පටන් ගත්හ. ර්‍ණකවුද යකෝ ගලග හන්දියේ විශ්ව විද්‍යාල බෝඩ් එකේ සිංහල අකුරු මැකුවේ? වරෙව් එළියට ගනියව් මේ කලු තීන්ත බාල්දිය, මකපියව් කැම්පස් එකේ බෝඩ්වල තියන ඔක්කොම දෙමළ අකුරු.” ද්‍රවිඩ සිසු සිසුවියන් අතට කලු තීන්ත බාල්දි දුන් මැර පිරිස ඔවුන් කැන්ටිමෙන් එළියට ඇද ගෙනවුත් ඔවුන් ලවා විශ්ව විද්‍යාලයේ නාම පුවරුවල දෙමළ අකුරු මැක වුහ. දාමරික කණ්ඩායමේ සිටි ශිෂ්‍යයින් අතර විද්‍යා පීඨයේම තමන් සමග උගෙනුම ලබන සිංහල සිසුන් ද සිටින බව දූවිඩ ශිෂ්‍යයින්ට හඳුනා ගත හැකි විය. පසුව විශ්වවිද්‍යාල පාලක සභාව විසින් පත් කරන ලද කොමිසම ඉදිරියේ පහර කෑ ද්‍රවිඩ ශිෂ්‍යයන් විසින් තමන්හට පහර දුන් ඔවුන් හඳුනන අයගේ නම් හා වෙනත් තෙකාරතුරු හෙළි කරනු ලැබිණි.

ආකමණිකයෙයෝ සරසවිය මධ්‍යයේ සරච්චන්ද්‍ර එළිමහන් රඟහල අසබඩ හිල්ඩා ඔබේසේකර ශාලාවට පහර දෙති.

එදිනම එනම් මැයි 11 දින රාත්‍රි 9.45 ට පමණ තවත් සිංහල ශිෂ්‍යයන් පිරිසක් පිරිමි නේවාසිකාගරයක් වු හිල්ඩා ඔබේසේකර ශාලාවේ නේවාසිකව සිටි ද්‍රවිඩ ශිෂ්‍යයෙකුට අඩත්තේට්ටම් කිරීමට පටන් ගත්හ. 300 ක පමණ සිංහල ශිෂ්‍යයන් පිරිසක් එම සිසුවා වටකොටගෙන තර්ජන ගර්ජන කළහ. ඔහු ර්‍ණකොටියෙකැයි” ඔවුහු කීහ. තරමක් ප්‍රමාද වී සිද්ධිය දැනගත් ශාලාධිපතිවරයා එහි පැමිණ පහර දුන් අපරාධකරුයන් නෙව බපර කෑමට ලක් වූ අහිංසක දෙමළ සිසුවා “කොටියෙකැයි“ සිතා පොලිසියට භාර දුන්නේය. (ඔහු පොලිස් අඩස්සියට ගනු ලැබු අතර සි.අයි.ඩී. පරීක්‍ෂණයකින් පසු ඔහුට කොටි සම්බන්ධතාවයක් නොමැති බව හෙළිවිය)

පසුව මෙම සිද්ධිමාලාව පිළිබඳව පරීක්‍ෂණ කිරීමට විශ්ව විද්‍යාල කවුන්සලය විසින් පත් කරන ලද කොමසමේ වාර්තාව මෙම සිද්ධිය පිළිබඳව ලියා ඇත්තේ ර්‍ණවිශ්වවිද්‍යාලයේ තීරණ ගැනීමට නොහැකි භාවය නමැති මිනී පෙට්ටියට ගසන ලද තවත් ඇණයක්” ලෙසය. එසේම විශ්වවිද්‍යාලයේ නිලධාරින්ගේ පැත්තෙන් මෙවැනි කලබල තීරණයක් නොගෙත්තේ නම්, කොටියෙකැයි බළල් පැටියකු අල්ලා ගැනීිමේ අපකීර්තිය ඔවුන් මත නොපැටවෙනු ඇතැයි උපහාසමාතක්මක ව ලියා ඇත .

මාර්ස් ශාලාව කුමන්ත්‍රණකරුවන්ගේ මූලස්ථානය ලෙස

සිද්ධිය පිළිබඳ පරීක්‍ෂා කළ කොමිසමේ වාර්තාවට අනුව මෙම විශ්වවිද්‍යාලයෙන් දෙමළුන් පහර දී එළවා දැමීමේ ක්‍රියාවලියේ ඉතා බරපතළ සිද්ධීන් සිදු වී ඇත්තේ සරසවියේ උතුරු කෙළවරේ කන්දක් මත පිහිටි මෙම ශාලවේදීය. මෙම ශාලාවෙහි අනවසරයෙන් නැවතී සිටි. ර්‍ණසමවාදී” ශිෂ්‍ය සංගමයේ පැරණි සාමාජිකයින් වු උපාධිධාරින් පිරිසක් මෙම පහරදීම් මෙහෙයවීමේ කාර්යයය සිදුකර ඇති බව සැක කළ පරීක්‍ෂණ කමිටුව මාස්ශාලාවේ පුර්ණකාලීන උපශාලාධිපතිවරයාගේ වැඩ තහනම් කරන ලෙස ද යෝජනාකොට තිබිණි. මෙම පිරිසෙන් ඩැඩි දෙනෙකු යාපනයේ පුස්තකාලය ගිණි තකැබීම වැනි ක්‍රියාවන් මෙහෙය වූවකු ලෙෂ ප්‍රකට ව සිටි ඇමතිවරකෙු යටතේ වූ ව්‍යාපෘවල සේවය කළවුන් විය. මෙම විස්තරවලින් පැහැදිලි වන්නේ එවක පැවති රජයේ නියෝජිත පිරිසක් මාස්ශාලවේ අනවසරයෙන් නේවාසිකව සිටිමින් ර්‍ණදෙමළුන් එළවීමේ” සටන මෙහෙය වු බවය.

ද්‍රවිඩ කථිකාචාර්යවරු ද පහරදීමට ලක් වෙති

මැයි 12 දින රාත්‍රියේ ද්‍රවිඩ ආචාර්යවරු තිදෙනෙක් ද මෙම දාමරිකයින්ගේ ප්‍රහාරයට ලක් වූහ.. විදුලි ඉංජිනේරු අංශයේ උපදේශකයකුව සිටි කේ. සෙල්වරාජා භූගෝල විද්‍යා අංශයෙන් කේ. ජයනාත් කුමාරන් යන ආචාර්යවරු මෙසේ පහරදීමට ලක් වු අයයි. මේ පහරදීම ඊට පෙර දින සිදුවු සමහර සිද්ධින් අතර සම්බන්ධයක් ඇති බව කමිටුව නිරීක්‍ෂණය කළේය.

අරුණාචලම් ශාලාවේ අංක 01 කාමරයේ නැවතී සිටි රෝද පුටවකින් ගමන් බිමන් කළ ආර්ථික විද්‍යා අංශයේ ආචාර්යවරයකු වු ඇමි. සිවසංගරම් මහතා සිය රෝද පුටුව ශාලාවේ පඩිපෙළින් ගෙනයාමට යොදාගත් ලෑලි කීපය ප්‍රහාරක සිංහල ශිෂ්‍යයින් විසින් අසල වු අල්විස් පොකුණට විසිකොට දමා තිබිණි. මෙම අමානුෂික ක්‍රියාව පිළිබඳව ආරක්‍ෂක අංශයට දැනුම් දීමේ වරදට දඬුවමක් ලෙස සෙල්වරාජා හා නවරත්නම් මහත්වරු පහර කෑමට ලක් වු බව පසුව හෙළිවිය.

ආබාධිත සෙල්වරාජා ආචාර්වරයා තවදුරටත් ශාලවේ නැවතී සිටීම අනතුරුදායක බැවින් දුම්රියෙන් නිවස බලා ගිය අතර මැයි 12 රාත්‍රියේ විශාල පිරිසක් පැමිණ සෙල්වරාජා මහතාගේ කාමරයේ තිබු ඔහුට හා පුස්තකාලයට අයත් පොත්පත් ඇතුළු භාණ්ඩ විනාශ කොට දැමු අතර එහි සිටි ආචාර්යවරුන් තමන් ආචාර්යවරුන් බව කියද්දීත් පහර දී යාර සියයක් පමණ ඇතින් පිහිටි අල්විස් පොකුණ වෙත ඇදගෙන ගොස් පහර දුන්හ.

මෙම පහරදීම්වලට ලක්වු ජයන්ත කුමාරන් මහතා පසුව රෝහලට ඇතුළු කරනු ලැබු අතර ඔහුගේ නාසය බිඳී ඇති බව එක්ස්රේ ඡායාරූපයෙන් පැහැදිලි විය.

ජෙම්ස් පීරිස් ශලාවට පහරදීම; දෙමළ ශිෂ්‍යයෝ පණ බියෙන් ඇඳන් යට සැඟවෙති.

මැයි 11 දිනට රාත්‍රි 10.30 ට වර්ගලවයාදී දාමරිකයෝ පිරිමි නේවාසිකාගාරයක් වු ජෙම්ස් පිරිස් ශාලාව ආක්‍රමණය කළහ. එකල ශිෂ්‍ය සුභසාධක අධ්‍යක්‍ෂවරයා සිටි ආචාර්ය පී. ඩී. ප්‍රේමසිරි මහතාගේ උපදෙස් පරිදි මෙම ලේඛකයා ද (එකල ඔහු නේවාසිකව සිටියේ නුවර කොළඹ පාර අසල නිවසකය.) ජේම්ස් පීරිස් ශාලාවේ තත්ත්වය සංසිදුවීම සඳහා එහි ගිය අතර ද්‍රවිඩ ශිෂ්‍යයින් නැවතී සිටි කාමරවලට ගොස් ශිෂ්‍යයන් හමු විය. තවමත් ළමා මුහුණු ඇති ගැටවර දෙමළ ශිෂ්‍යයන් ඇඳන් යටට වී ගැහෙමින් සිටියහ. එය මෙම ලේඛකයා සිය ජීවිතයේ ලත් කිසි දිනක අමතක නොවන අත්දැකීමකි. ඇඳ යටින් එළියට ආ එක් තරුණයකු ඔහුගේ අතින් අල්ලාගෙන කඳුළු සලන්නට විය.

මෙසේ මැයි මාසයේ ද්‍රවිඩ ආචාර්ය ශිෂ්‍ය සංහාරය 13 වන දින දක්වා පැවතිනි. ප්‍රහාරයෙන් 13 වන දින පේරාදෙණිය රෝහල ද ආක්‍රමණය කළහ. එහි විශ්වවද්‍යාලයේ ද්‍රවිඩ සිසුන් සැඟවී ඇතැයි ඔවුනට ආරංචි තිබිණි. මැයි 13 දිනට ඔවුහු ශිෂ්‍යාවන්ගේ නේවාසිකගාරයක් වු සංඝමිත්තශාලාවේ භෝජනශාලාවට කඩා වැදුණහ.

මැයි මාසයේ සිදුවීම පිළිබඳ පරීක්‍ෂා කළ කමිටුව මෙම පරදීම්වල ස්වරූපය ගැන නිරීක්‍ෂණ කීපයක් කරයි. ඒ අනුවඃ

  1. 1983 මැයි 11-13 පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඇති වු සිදුවීම් හදිසියේ ඇති වු ඒවා නෙවන බවටත් ක්‍රමානකූලව කල්යල් බලා සංවිධානය කරන ලද්දක් බවට පැහැදිලි ලකුණු ඇත. සිද්ධීන් හි කාලසටහන, ප්‍රහාරකයින් යෙදවීම, ඔවුන් විසින් ප්‍රසිද්ධීයේ කරන ලද ප්‍රකාශන පරිස්සමින් සැලසුම් කළ ඒවා විය.
  2. මෙම අරමුණු සහගත සිද්ධිවල දී පහර දුන් අය ද්‍රවිඩ භාෂාව කතා නොකරන පිරිසක් වු අතර පහර දීමට ලක්වුවෝ ද්‍රවිඩ වුහ. ප්‍රහාරයක් මිස ආපසු පහරදීමක් නොවීය. එය වර්ගවාදී පහර දීමක් ලෙස හැඳින්විය හැකිය.
  3. සමහරවිට මෙය සැලසුම් කළ අය එසේ අපේක්‍ෂා නොකළේදැයි අප නොදන්නේ වුවත් ප්‍රහාරය භීෂණාත්මක විය. ප්‍රහාරකයෝ පොලු, ලෑලි, යකඩපොලු, බයිසිකල් දම්වැල්, ඉනෙහි බඳින පටි, පිහියා විශ්වවිද්‍යාලයේ මේස පුටුවල කකුල් පමණක් නොව මිනිස් ඇටකටුවලින් පවා සන්නද්ධව සිටියහ.
  4. පහත සඳහන් සාපරාධි ක්‍රියා ඔවුන් විසින් සිදුකරන ලදිඃ බිය වැද්දීම්, අවිනීත හැසිරීම් නීති විරෝධි රැස්වීම්, ශාරීරික හා මානසික පහරදීම්.
  5. ප්‍රහාරයේ අරමුණ වූයේ දෙමළ ජාතිකයින් සරසවි භූමියෙන් එලවා දැමීමය. කිසිදු අධිකරණයකට, පාලකයකුට අවනත නොවෙමින් භීෂණය ක්‍රියාත්මක කරමින් ප්‍රහාරකයෝ සිය අරමුණු ඉටුකර ගත්හ.
  6. සමහර අවස්ථාවල දී පුද්ගලික පළිගැනීම් සඳහා ද මෙම ප්‍රහාරය යොදා ගත් බව පෙනේ.
  7. ප්‍රහාරයේ නායකත්වය විද්‍යාපීඨයේ ශිෂ්‍යයින් විසින් දරන ලද බවට පෙනේ. ප්‍රථම පහරදීම සිදුවූයේ විද්‍යාපීඨ කැන්ටීමේදීය. මෙම කලබලකාරී තත්ත්වයෙන් පසු විද්‍යා පීඨයේ ශිෂ්‍යයින් දෙදෙනකුගේ පංති තහනම් කරන ලද අතර, විද්‍යාපීඨ ශිෂ්‍ය සංගමය එයට විරුද්ධව පංති වර්ජනයන් සංවිධානය කළේය.
  8. මැයි 11 දින රාත්‍රිය පුරා ශිෂ්‍ය පිරිස් විශ්වවිද්‍යාලයේ ශාලා, ආක්‍රමණය කරමින් සැරි සැරූහ. එහෙත් ආරක්‍ෂක සේවය මේ කිසිවක් දැක නැත. මේ අන්ධ මිනිසුන් මෙම ආයතනය විසින් වැටුප් ගෙවා තබාගෙන සිටින්නේ කුමකට දැයි තේරුම් ගත නොහැකිය.
  9. මෙම තීරණාත්මක සීමාව තුළ විශ්වවිද්‍යාලයේ පාලකයින්ගේ අධිකාරය රාහුමුඛයට ගොස් නිබුණ සේ පෙනේ. ආරක්‍ෂක සේවය පමණක් නොව ශාලාධිපතිවරු සහ උපශාලාධිපතිවරු ද තම වගකීම් අත්හැර දැමූ සේ පෙනේ. මෙබඳු අවස්ථාවක් පාලනය කරගැනීම විශ්වවිද්‍යාලයක් වැනි ආයතනයකට නොහැකි වීම පුදුමයක් නොවේ. එහෙත් මෙහිදි පොලිසියේ ආධාරය නොපැතුවේ ඇයිද යන්න ගැටළුවකි.
  10. පැහැදිලිවම ඉතා අකාර්යක්‍ෂම ආරක්‍ෂක සේවය හැරුණ විට වගකිව යුත්තන් වූයේ ශිෂ්‍ය සුබසාධක අධ්‍යක්‍ෂ ආචාර්ය ප්‍රේමසිරිය. එහෙත් එක් පුද්ගලයෙකුට තනිව මෙබඳු විශාල අර්බුදයකට මුහුණ දිය හැකි ද?
  11. එක් සතුටු විය හැකි කරුණක් නම් සමහර සිංහල ශිෂ්‍ය කණ්ඩායම් මෙහිදි හැසිරුණු ආකාරයයි. උදාහරණයක් ලෙස නවරත්නම් කථි්කාචර්යවරයාට ආරක්‍ෂාව සැලසු සිංහල ශිෂ්‍යයා දැක්විය හැකිය.

1983 මැයි 11 දින ආරම්භ වූ පහරදීම 13 වන දා වන විට උච්ඡ ස්ථානයකට පැමිණියේය. ඉන්පසු ජුනි 13 දක්වා වරින්වර තවත් පහරදීම් සිදුවිය.

මෙරට උසස් අධ්‍යාපන ආයතන අතුරින් කලක් විශාල කීර්තියක් දැරූ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිදුවූ මෙම අමානුෂික ප්‍රහාරය එම විශ්වවිද්‍යාලයට පමණක් නොව සමස්ත ලංකාද්වීපයේම අනාගතය කෙනහෙි තීරණාත්මක බලපෑමක් ඇති කළේය.

1983 ජූලි මාසයේ සිදුකරන ලද දීපව්‍යාප්ත සංහාරය හමුවේ මෙම සිද්ධියේ බිහිසුණු බව හරිහැටි මෙරට ජනයාගේ අවධානයට ලක්වී නොමැත. මෙම සිද්ධිය උගත යුතු පාඩමක් ලෙස නැවත අධ්‍යයනය කළ යුතුව ඇත.

කෙසේ වුව ද මෙම සිද්ධිය විෂයෙන් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පාලකයින් මෙන්ම එකල පැවති රජය ද දැක්වූ ආකල්පය දෙස බලන විට එය එම දෙපක්‍ෂයේම අනුග්‍රහය ලත් කටයුත්තක් සේ පෙනීම නොවැළැක්විය හැකිය.

මෙම සිද්ධියේ දී එකළ පැවති රජයේ සමහර ඇමතිවරුන් තම වුවමනාවන් ඉටුකරගැනීම සඳහා විශ්වවිද්‍යාලය තුළ ස්ථාන ගත කොට සිටි පිරිසක් මෙම අමානුෂික සිද්ධිය මෙහෙය වූ බව ද පැහැදිලිය.

එමෙන්ම මෙම ලේඛකයාගේ පුද්ගලික අත්දැකීම වන්නේ ද මෙය විශ්වවිද්‍යාලයේ පාලකයින්ගේ හා රජයේ අනුග්‍රාහයෙන් සිදුවූවක් බව නි්සැක ව කිව යුතුය.

මෙම සිද්ධිය ඇතිවීමට ආසන්න අවධියේ එවැන්නක පැමිණිම පිළිබඳව ආරංචි පැතිරුණු අතර එවක පැවති ශිෂ්‍ය සංගමයේ පිරිසක් විශ්වව්ද්‍යාලයේ ප්‍රධාන නිලධාරියකු හමුවී දෙමළ ශිෂ්‍යයින්ට හා ආචාර්යවරුන්ට පහරදීමේ තැතක් ඇති බව දන්වන ලදැයි ද ඒ අසා මහ හඩින් සිනාසුණූ ඔහු "ඉතින් තමුසෙලාට තියන අමාරුව මොකක් ද? තමුසෙලත් ගිහිල්ල ඔය යක්කුංව ගහල එළවල දමනවා” යයි කී බව ද දැනගන්නට ලැබිණී.

මෙම සිද්ධිය ඇති වු වහාම එවකට විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය සුබසාධක අධ්‍යක්‍ෂවරයා මෙම සිද්ධියේ වර්ගවාදී ස්වරූපය විශ්වවිද්‍යාලයට වාර්තා කළ බවත් පාලකයින් එය නොපිළිගැනීම නිසා වෙනම අර්බුදයක් ඇති වූ බවද මෙම ලේඛකයාගේ අත්දැකීමයි.

මෙම සිද්ධිය පිළිබඳ පරීක්‍ෂා කොට වාර්තා කිරීමට විශ්වවිද්‍යාල පාලක සභාව විසින් කෙනත් එම්. ද ලැනරෝල්, දොරෙයි කාල්නයිදු හා ටිකිරි කේ. ඒකනායක යන අයගෙන් යුත් කමිටුව පත් කළ අතර ඒකනායක මහත්මිය පසුව එම කමිටුවෙන් ඉල්ලා අස්වූ යෙන්, ඒ වෙනුවට රණරාජා මහත්මිය පත් කරනු ලැබිණි. මෙම කමිටුව දීර්ඝ පරීක්‍ෂණයකින් පසුව මෙම අර්බුදයේ ඉතිහාසය ස්වරූපය මෙන්ම එහි ප්‍රධාන වරදකරුවන් වූ විශ්වවිද්‍යාල ශිෂ්‍යයින්ගේ නාම ලේඛනයක් ද සහිත වාර්තාවක 1984 පෙබරවාරි මස පැවති විශ්වවිද්‍යාල පාලක සභාවට ඉදිරිපත් කළේය. එහි දී විශ්වවිද්‍යාල පාලක සභාව විසින් ගන්නා ලද තීරණය වූයේ මෙම කමිටුවේ පරීක්‍ෂණය පිළිබඳ සියළු ලිපි ලේඛනත්, පාලක සභාවේ සභිකයින් අතර බෙදා දී තිබුණු වාර්තාවත් ආපසු ලබාගෙන ඒ සියල්ල විනාශ කොට දැමීමය. එසේ වුව ද මෙම කමිටුවේ සභාපති වු කෙනත් එම්. ලැනරෝල් මහතා වෙත අවසාන වාර්තාවේ පිටපතක් තිබූ අතර, එය අධ්‍යයනය කිරීමේ අවස්ථාව මෙම ලේඛකයාට ද ලැබිණි. කෙසේ වුව ද විශ්වවිද්‍යාල පාලක සභාවේ එම තීරණයෙන් හෙලි වුයේ මෙම බිහිසුණු සිද්ධියට එකළ පැවති රජයෙන් හා විශ්වවිද්‍යාල පාලකයින් අනුග්‍රහය දැක් වූ ආකාරයයි.

එම සිද්ධිය සිදුවන අවස්ථාවේ ආචාර්ය මණ්ඩලයේ වැඩිදෙනෙක මෙන්ම බොහෝ ශිෂ්‍යයින් හා අනධ්‍යයන සේවකයෝ ද මෙ භීෂණයට එරෙහිව නැගී සිටියෝය.

ද්‍රවිඩ ආචාර්යවරුනට හා ශිෂයින්ට ආපසු විශ්වවිද්‍යාලයට පැමිණීමට අවස්ථාව ලැබෙන තුරු තමන් දේශන පැවැත්වීමෙන් වැළකි සිටින බවට පේරාදෙණිය විශ්වවිද්‍යාල ආචාර්ය සංගමය විසින් ගන්නා ලදි. ප්‍රහාරකයන්ගේ අරමුණ ව්‍යර්ථ වීමට ප්‍රධාන හේතුව වූයේ ද එම තිරණයයි.

කෙසේ වුවද මෙම අර්බුදය අවස්ථාවේ ජාතිවාදීන්ට එරෙහිව කටයුතු කළ ආචාර්ය වරුන්ගෙන් මෙන්ම ශිෂ්‍යයන්ගෙන් ද "පලිගැනීම” විශ්වවිද්‍යාල පාලකයෝ වග බලා ගත්හ. එපමණක් නොව ලැනරෝල් කමිටුව (පාලක සභාව විසින් පත්කළ කමිටුවයි.) විසින් සම්පාදනය කරන ලද වාර්තාව අනුව විශ්වවිද්‍යාලය ද්‍රවිඩ ප්‍රජාවට පහරදීමේ වරදට දඬුවම් ලැබිය යුත්තන්ගේ ලේකනයක් ද සකස් කොට පාලක සභා වෙත ඉදිරි පත් කොට තිබිණි; නම්කරන ලද ශිෂ්‍යයින් අතුරින් සමහරුන් ඔවුන්ගේ පාඨමාලා අවසන් කළ පසු ආචාර්යවරුන් ලෙස බඳවා ගැනීමෙන් ඔවුන්ට  කෘතගුණ” සැලකූ බවද දක්නට ලැබිණි.

එම අවධියේ රට තුළ පැවති තත්ත්වය නිසා මෙරට ජනයාගේ අවධානය යොමු නොවූ එහෙත් දැන් උගත යුතු පාඩම් සොයන අවධියේදී වැදගත් වන මෙම සමස්ත සිද්ධිය පිළිබඳ නැවත අධ්‍යයනය කිරීම අත්‍යවශ්‍යය යනු මෙම ලේඛකයාගේ අදහයි.

එම සිද්ධියේ දී තමන් විසින් කරන ලද අපරාධ පිළිබඳව අවබෝධ කොට ගැනීමේ හැකියාවක් ඇති, එම ප්‍රහාරයට නායකත්වය දුන් එකළ ශිෂ්‍යයින් හෝ උප ශාලාධිපතිවරුන් ලෙස සිටි පිරිසට ද මෙම අධ්‍යයනයට සහභාගී වන මෙන් ඉල්ලා සිටිය යුතුය යන්න මෙම ලේඛකයාගේ අදහසයි.

මෙම ලේඛකයාගේ නි්ගමනය නම් මැයි 11-13 දක්වා දින තුන තුළ පේරාදෙණිය සමරසවියේ ඇති වූ සිද්ධීන් පිළිබඳ ව ආචාර්ය ප්‍රේමසිරි විසින් ඉදිරි පත් කරන ලද වාර්තාවට නිසි ප්‍රසිද්ධියක් එම අවස්ථා වීම ලැබුණි නම් 1983 ජූලි මස සිදු වූ විනාශය ඒ අයුරින් සිදු නොවන්නට බොහෝ දුරට ඉඩ තිබූ බවයි. අනෙක් අතට 83 ජූලි සිද්ධිය ද හදිසි සිදුවීමකින් පැන නැගුනක් නොව හිතාමතාම සැලසුම් කරන ලද වූ අපරාධයක් බවයි.

මයිකල් ප්‍රනාන්දු
2012 මැයි 08

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

Jesustoday.lk 5 වන වසර 21 වන සතිය 2021 ජූලි 24 වන ඉරිදා

Comments powered by CComment