කොයි රටේත් පාලකයන්ගේ බලය සුරකින හමුදා පොලිස් බන්ධනාගාර නිළධාරී තුවක්කු පත්තුවන්නේ දුප්පතුන්ට එරෙහිවය. වෙඩි තැබු මිනිසා කැනිසියස් වැනි සාමාන්‍ය මිනිසකු වැන්නෙකු බවට සැක නැත. ඒ මිලිටරි යාන්ත්‍රණවල සිටින්නේ අපි වැනි අයය. ඒත් ඒවා අපි වෙනුවෙන් නොව බලවතුන් වෙනුවෙන්ම බව තේරුම් ගන්න මෙය අවස්ථාවකි.

 

කැනිසියස් ප්‍රනාන්දු

“ඔහු සතු වුයේ මානව ප්‍රේමයෙන් දැල්වුණු හදවතකි. මිනිසුන්ගේ දුක වේදනාව අභියස මහා සාගරය තරම් දයාවකින් ඔහුගේ හදවත තෙත් විය. කැනිසියස් යන්නෙහි අරුත සුවිශාල යන්නයි. ඉමහත්වු යන්නයි. නමට සරිලන සේම ඔහු සතුවූයේ අනෙකා තමාගේ කියා සළකන සුවිශාල හදවතකි. ඉමහත් වු ප්‍රේමයකි.”

අව්‍යාජ මිනිසෙකුගේ හදවත මුහුණුනින් ප්‍රකාශවන නිසාම දස දහස් ගණනක අතරින් කලාතුරකින් දැකිය හැකි සිනාමුසු මුහුණ සාන්තුවරයෙකුගේ ශාන්තිය කියා පෑවේය.

“කැනිසියස් අයියා” යනු ඒ සිනහවයි. ඒ හදවතයි.

තම මිතුරන් වෙනුවෙන් දිවි පිදීමට වඩා උතුම් ප්‍රේමයක් තවත් නැත.” එසේ පැවසු ජේසු සමිඳුන් ඔහුගේ ගුරුවරයා විය. ඒ මා හැගී වචන දහස් වර දේශනා කළෝ ඕනෑ තරම් විය. ඒ වචන නැවත නැවත ලියුවෝ ද බෝහෝය. එහෙත් ඒ වචන ජීවත් කළ අපේ කාලයේ සැබෑ ශ්‍රාවකයා ඔහු විය.

මුන්නක්කරයේ කුරුස පල්ලියේ කුරුසිය ඔහුට ප්‍රදීපාගාරයක් විය. ඔහු ඒ කුරුසිය පලන්දන්නෙක් පමණක් නොවීය. ඔහු කුරුසියේ ජීවිතය වැළඳ ගත්තෙකි.

ඔහු සල්ලි හම්බ කළ
මිනිසෙකු නොවීය
ඔහු ධීවරයෙකි. ඒත්
මසුන් ඇල්ලුවාට වඩා
ඔහු මිනිසුන් දිනුවෙකි.

“ඔබ මිනිසුන් දිනනන්නෙකු විය යුතු යැයි” සමිඳුන් ඔහුට පවසා තිබුණි.

ඔහු ඊට අවනත විය. ඔහු මිනිසුන් දිනුවේ නිල බලයෙන් නොවේ. ඔහු මිනිසුන් දිනුවේ ලෞකික බලයෙන් නොවේ.

මිනිසුන්ගේ ප්‍රශ්න, විශේෂයෙන් ධීවරයන්ගේ ප්‍රශ්න තමාගේ ප්‍රශ්න බවට පත් කරගනිමිනි.

වෙඩි තබා මරා දමන්නට ඔහු කළ පාප කර්මය කුමක් ද ?

දෙරටේම විවිධ රාජ්‍ය නොවන සංවිධානවල ඇතැමුන් හා බලධාරින් කාලාන්තරයක් තිස්සේ දෙරටේදීම අත් අඩංගුවට පත්වන ධීවරයන් නිදහස් කිරීම උදෙසා ලක්ෂ ගණනක් ගනිමින් ගෙන ගිය ජාවාරම නවතා දමා තම ධීවර සහෝදරයන් පගාවෙන් තොරව ගසා කෑමෙන් තොරව නිදහස් කර ගැනීම සඳහා අභීතව, අදීතව අවංකව අව්‍යාජව ඉදිරිපත් වීම නිසාය.

සම්මත අයුරින් තම බිරිඳ දරුවන් පමණක් රැක බලාගෙන හොඳ තෘප්තිමත් පවුලක් ගත කිරීමට ඔහුට ඉඩ තිබුණි. නමුත් මගේ පවුල සේම අනිත් පවුල්වල දරුවන්ගේ ජීවිතවල ද යහපතට වැය වීමේ සැබෑ ක්‍රිස්තියානියට ඔහු පණ පෙවීය.

මුහුදු සීමා ඉක්මවා මත්ස්‍ය සම්පත් මංකොල්ලකන විශාල සමාගම්වල නැව් කිසිදින අත් අඩංගුවට පත්වන්නේ නැත. පත්වූවත් ඒවා ලොකු ලොක්කන් විසින් විසඳාගනී. කැනිසියස් අයියාට ඉන්දියාවට යෑම සිදුවූයේ පොඩි පොඩි මිනිසුන් වෙනුවෙන් මැදිහත් වන සැබෑ යාන්ත්‍රනයක්, වගකිව යුත්තන් ක්‍රියාත්මක නොකළ නිසාය. බලය ධනය ඇති, ධීවරයන්ගේ ඡන්ද සොයන පාලකයන්ද ධීවරයන්ගේ කානික්ක වලින් ගොඩනැගෙන සභාවටද එවැනි ක්‍රිමවේදයක් අවංකව ක්‍රියාත්මක කළා නම් කැනිසියස් අයියා යා යුතුව තිබුණේ නැත. මේ නිසා මේ දෙයාකාර බලවතුන්ට කැනිසියස් අයියාගේ මරණයට ශෝක ප්‍රකාශ නිකුත් කර අත් සෝදාගත නොහැකි බව අපි පවසමු.

කොයි රටේත් පාලකයන්ගේ බලය සුරකින හමුදා පොලිස් බන්ධනාගාර නිළධාරී තුවක්කු පත්තුවන්නේ දුප්පතුන්ට එරෙහිවය. වෙඩි තැබු මිනිසා කැනිසියස් වැනි සාමාන්‍ය මිනිසකු වැන්නෙකු බවට සැක නැත.

ඒ මිලිටරි යාන්ත්‍රණවල සිටින්නේ අපි වැනි අයය. ඒත් ඒවා අපි වෙනුවෙන් නොව බලවතුන් වෙනුවෙන්ම බව තේරුම් ගන්න මෙය අවස්ථාවකි.

කැනිසියස් සොයුරාගේ සීල් තැබු දෙන ළඟ සැබෑ අවංක මිනිසුන් සපත කළ යුත්තේ ඔහු මෙන් වු අනෙකා ඔහුමෙන් කොන්දේසි විරහිතව ඉදිරිපත් වන ක්‍රිස්තියානි ප්‍රේමය ඉදිරියට ගෙනයාමටය.

ඔහු කැපවූයේ පොදු ධීවර ව්‍යාපාරය ඉදිරියට ගෙන යාමටය.

වචනය දේශනාකරන හා කථා කරන ක්‍රිස්තියානිය වෙනුවට වචනය අසා දිවි හිමියෙන් එය පිළිපදින කිතුනුකම, මිනිස්කම ජීවත් කිරිමටය.

යුක්තිය සාධාරණය පිළිබඳ ඔහුගේ සටන් කිරීම ඔහුට රැකියාවක් නොවීය. මෝස්තරයක් නොවීය. ධීවර ඒකාබද්ධය සමඟ ඒකාබද්ධ වු මේ කුඩා මිනිසාගේ පරාර්ථකාමී හදවත සුවිහාලය.

ඔහු,

යුක්තිය, සාධාරණය පිළිබඳ සටන අධ්‍යාත්මික පෝෂණය සමග එකට ගෙනයාමට ඔහු නිරතුරු වෙහෙසුනේය.

ධීවර නායකන්ට ඔවුන්ගේ පවුල්වල අයට අධ්‍යාත්මික පෝෂනය සඳහා වැඩ සටහන් සකසා ක්‍රියාත්මක කළේ පූජක පක්ෂයටත් වඩා ඉදිරියට යමිනි.

කැනිසියස් අයියා අපේ කාලයේ වීරයෙක් වන්නේ ඉහත පසුබිම තුළය.

ඔහු පැවත ආවේ, සියල්ල ත්‍යාජ කොට සමිඳුන් අනුව ගිය පේදුරුගේ පරපුරෙනි. අන්ද්‍රේගේ පරපුරෙනි. ඔහු සතුවූයේ ඒ පන්නරයයි.

රැල්ල එන අතට නොව උඩු අතට ඔරු පැද සැඩ පහර කපාගෙන බෝට්ටුය මෙහෙය වූ උඩුගං බලා පිහිනු මිනිසාණනී ඔබට අපේ ආචාරය.

ඔබව මරා දැමුවෝද ? ඒ මරණය තුළින් මතුවන හිස්තැනින් නැවත අත්අඩංගුවට පත්වන ධීවරයන්ගෙන් ගසා කෑමට මාවත විවර වන නිසා සතුටු වන්නෝ ද අප දිනුම් යැයි සිතිය හැක.

එහෙත්,

“අන්ධකාරයට ආලෝකය පරාජය කළ නොහැක.

මරණය ජීවිතයේ දොරටවු බව ඇදහු මිනිසා පරාජය වන්නෙකු නොවේ”.

මරා දැමු ඔහුගේ මුහුණවත් නොදැකීම වේදනාවක් විය හැකිය. එහෙත් දෙවියන් ආදරය කරන්නේ සැබැ ජීවිතය ජීවත් කළ ජීවමාන මුහුණටය.

කැනිසියස් අයියා යනු ඒ ජීවමාන මුහුණය. ඒ සුවිශාල හදවතය. මන්ද උන්වහන්සේ මරණයේ නොව ජීවිතයේ දෙවිඳුන් වන නිසා.

(කැනිසියස් ප්‍රනාන්දුගේ ඝාතනයේ 14 වන අනුස්මරනය වෙනුවෙනි)

Jesustoday.lk 5 වන වසර 32 වන සතිය 2021 ඔක්තෝම්බර් 10 වන ඉරිදා 

 

Comments powered by CComment