ශ්‍රී ලංකාවේ සංහාරික යුද්ධය අවසානයේදි ශ්‍රී ලංකාවේ සංක්‍රාන්ති යුක්තිය හා ප්‍රතිසන්ධානය ගැන අවස්ථා කීපයකදීම එතුමා එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කොමිශම වෙත කරුණු ඉදිරිපත් කරනු ලැබුවේය.

 

ඩෙස්මන් එම්පිලෝ ටුටු අගරදගුරු තුමා අවුරුදු 90 ක් ඉක්මවූ තම දිවි මෙහෙවර නිම කළේය. 2022 ජනවාරි 01 වනදා එතුමාගේ අවමගුල් පිළිවෙත දකුණු අප්‍රිකාවේදි සිදුවන්නේය. ඊට සමගාමිව එතුමා අයත් වු ඇන්ග්ලිකානු සභාවේ කොළඹ දියෝකිසියේ ප්‍රධානත්වයෙන් හා අන්තර් ආගමික අන්තර් නිකායික ප්‍රගතිශීලින්ගේ එකමුතුවකින් සැමරුමක් කොළඹ දි පැවැත් වේ.

jesustoday.lk වෙබ් අඩවිය ටුටු රදගුරු තුමාගේ ජීවිතය අළලා ලිපි පෙළක් එතුමාගේ 90 වන ඡන්ම දිනය වෙනුවෙන් ඵල කළේ එතුමාගේ මෙහෙවර ඉතා වැදගත් එකක් වන නිසාය.

ඩෙස්මන් ටුටු රදගුරු තුමා ලෝකයම තම රට ලෙස සැලකු මිනිසෙකි. එතුමා ලොව කොතැනක හෝ සිදුවන අසාධාරණය වෙනුවෙන් හඬ නැගුවේය. වයස අවුරුදු 90 දීත් එතුමා තම භාවිතය ක්‍රියාවට නැංවූයේය. ටුටු චරිතයේ විශේෂත්වය වන්නේ එයයි. ඔහු සදාතන තරුණයෙකු විය.

එතුමා පීඩාවට පත්වන ජාතිය කුමක්වූවද එතුමා ඔවුන්ගේ පැත්තේ සිට ගත්තේය. ඉතා මෑතක එතුමා මියන්මාරයේදි රොහින්යා සරණාගතයි ගැන හඬ අවදි කළේ තමාද අයත් වු නොබෙල් සාම ත්‍යාගලාභින්ගේ කුලකයට අයත් වු අවුන්සාන් සුකිට ද අභියෝග කරමිනි.

ඩෙස්මන් ටුටු රදගුරුතුමා ඇදහූවේ ලෝකයේ කොතැනක හෝ සිදුවන අයුක්තිය ලෝකයේ හැම තැනම යුක්තියට බලපාන බවයි.

ශ්‍රී ලංකාවේ සංහාරික යුද්ධය අවසානයේදි ශ්‍රී ලංකාවේ සංක්‍රාන්ති යුක්තිය හා ප්‍රතිසන්ධානය ගැන අවස්ථා කීපයකදීම එතුමා එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කොමිශම වෙත කරුණු ඉදිරිපත් කරනු ලැබුවේය.

එතුමා 2010 දී ලක්දාර් බ්‍රාහිම්ස් සමඟත්, 2012 හිටපු අයර්ලන්ත අගමැති මේරි රොබින්සන් සමඟත්, 2014 රායප්පු ජෝශප් මන්නාරම රදගුරු තුමා හා තවත් ගෝලීය ක්‍රියාකාරින් සමඟත් එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සීලය වෙත එතුමා ලිපි ගණනාවක් යොමු කළේ “ලංකාව කෙරෙහි අපගේ යුතුකම් හා මානව හිමිකම්” අවධාරණය කරමිනි.

එතුමා උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිශමේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට ස්වාධීන යාන්ත්‍රණයක් සැකසීම හා ශ්‍රී ලංකාවේ යුධ අපරාධ පිළිබඳ ස්වාධීන පරීක්ෂණයක අවශ්‍යතාවය දිගින් දිගටම අවධාරණය කරන ලදී. ලංකාව පූර්ණව සුවපත් රටක් වීම සඳහා සත්‍ය සෙවීම, යුක්තිය ඉටු කිරීම හා සමාව දීම වැදගත් බව පෙන්වා දෙනු ලැබුවේ ඒ විෂය පිළිබඳ එතුමාගේ විසල් අත්දැකීම් ඇසුරිනි. 2012 දී එතුමා මෙසේ ලියයි.

“දිගුකාලීන සිවිල් යුද්ධය 2009 මැයි මාසයේදී අවසන් වුවද, ස්ථීර සාමයක් නොපෙනෙන අතර ශ්‍රී ලංකාවේ ජනතාවගේ අනාගතය පිළිබඳව අපි දැඩි අවධානයෙන් සිටිමු. සුළු ජාතීන් සහ දේශපාලන ක්‍රියාකාරීන් අතර පමණක් නොව, සාමාන්‍ය ජනතාව තුළ පවා, ඔවුන්ගේ ජීවිත යළි ගොඩනඟා ගැනීමට මංමුලා සහගත ලෙස උත්සාහ කරන අයුක්තිය පිළිබඳ බියක් සහ හැඟීමක් පවතී. පවතින මානව හිමිකම් කඩකිරීම්, මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ සහ යුද අපරාධ පිළිබඳ විශ්වසනීය චෝදනා සහ දිගුකාලීන දේශපාලන විසඳුම් සහ ප්‍රතිසන්ධානය කරා ප්‍රගතියක් නොලැබීම ඇතුළු නොවිසඳුණු ගැටලු ගණනාවක් ඉතිරිව තිබේ. අවධානය යොමු නොකළහොත්, මෙම ගැටළු නැවත ගැටුමකට තුඩු දිය හැකිය.”

ඩෙස්මන් ටුටු රදගුරු භූමිකාව ශ්‍රී ලංකාවේ ක්‍රිස්තියානි ප්‍රජාව ගැඹුරින් සැලකිල්ලට ගත්තේ නැති බව පෙනී යයි. කිතුසර කණ්ඩායම එතුමාගේ 90 වන ඡන්ම දිනය වෙනුවෙන් පසුගිය ඔක්තෝම්බරයේ පැවැත් වූ “යුක්තිය වෙනුවෙන් අභීනව පෙනී සිටි සනාතන තරුණයා ඩෙස්මන් ටුටු කියවීම’ වැඩසටහන එතුමා ජීවමානව සිටියදි ලංකාව තුළ ක්‍රියාවට නැංවීම එතුමාට කළ උපහාරයක් විය.

යුක්තිය වෙනුවෙන් කොන්දේසි විරහිතව හඬ නැගු මුලු ලොවම තව නිවස ලෙසත් සියලු මිනිසුන් හා ගැහැනුන් පමණක් නොව සොබාදහමද තම සහෝදර සහෝදරියන් ලෙස සැලකු මේ අප්‍රමාන මිනිසා නික්ම යන්නේ උස් ආදර්ශයක් අප අතර ඉතුරු කරමිනි.

Jesustoday.lk 5 වන වසර 43 වන සතිය 2021 ජනවාරි 02 වන ඉරිදා   

Comments powered by CComment