අනාරක්ෂිත වළවල්’ වලට වැටි මිය යාම ලෙස මරණ පරීක්ෂණ වාර්තාවල, මාධ්‍ය වාර්තාවල ලිවීමෙන් ජනතාවගේ ජීවිත ආරක්ෂාව නොසැලසේ. රජයද ජනතාවද මැදිහත් වී පිළියම් යෙදිය යුතුය. පාලකයින්, තව තිදෙනෙකු මැරෙන තුරු බලා සිටිනවා ද ?

මිහි මව ඇගේ සියලු දරුවන්ට නිර්ලෝභීව ජීවිතය දෙයි. මිනිසුන්ට පමණක් නොව සතා සිව්පාවාට ගහ කොළට ඇළ දොළට.

මිනිසුන් ඒ ජීවිතය දෙන මිහි මවගේ සිරුර තුළ මරණය මවනු ලබති.

ගල් වළවල් හා මැටි වළවල් ලංකාව තුළ මිනිසුන්ට මරණය කැඳවන තැන් බවට පත්ව තිබේ. ඉවක් බවක් නැතිව මහ පොළවේ පපු කුහරය හාරා ගැනීමට අවසර දෙන පාලකයෝ මේ මරණය මවන ව්‍යසනයෙන් නිමා කිරිමට කිසිවක්ම සිදු නොකරයි.

ගෙවුනු සතියේ එක ම දිනක වාර්තා වු ඛේදනීය සිදුවීම් දෙකක් මේ භයානක මරණයේ යථාර්ථය අපට යළිත් පෙන්වා දී ඇත.

පළමු සිදුවීම වුයේ දුප්පත්කම නිසාම ජීවිතය ගැට ගසා ගැනීමට පළා නෙලා මිටි බැද විකුණන 42 හැවිරිදි මවක් හා ඇගේ වයස අවුරුදු 10 හා 09 දරුවන් දෙදෙනා මැටි හෑරු වලක වැටි ජීවිතක්ෂයට පත්වීමයි.

"උදෑසන පිට වී ගිය මවත් දරුවන් දෙදෙනාත් රෑ වනතුරු නිවසට නොපැමිණි නිසා කළ සොයා බැලීමකදි ඔවුන් මැටි වළේ ගිලී මිය ගොස් ඇති බව සොයාගෙන ඇත."

"දෙවැනි සිදුවීම ගල් වැඩ පැළක ඇති වු ගල් වළක දිය නෑමට ගිය 16 හැවිරිදි යව්වනයෙකු දියේ ගිලි මිය යාමයි."

ගම්පහ දිස්ත්‍රික්කයේ මෙසේ මිය ගිය අය විශාල පිරිසකි. ඒ පිළිබඳ උද්ඝෝෂණ විරෝධතා මීට පෙර සිදු වී ඇත. එහෙත් ලෝකයම ගැන කතා කරන දිස්ත්‍රික්කයේ ඊනියා දේශප්‍රේමි නායකයෝ මේවා තව තවත් වර්ධනයට තම හෙංචයියන්ට අනුබල දීම මිස වෙන දෙයක් නොකරයි.

‘අනාරක්ෂිත වළවල්’ වලට වැටි මිය යාම ලෙස මරණ පරීක්ෂණ වාර්තාවල, මාධ්‍ය වාර්තාවල ලිවීමෙන් ජනතාවගේ ජීවිත ආරක්ෂාව නොසැලසේ. රජයද ජනතාවද මැදිහත් වී පිළියම් යෙදිය යුතුය.

පාලකයින්, තව තිදෙනෙකු මැරෙන තුරු බලා සිටිනවා ද ?

අනතුරුදායක ගල් හා මැටි වළවල් පිළිබඳ ප්‍රශ්නයට වහා විසදුම් ලබා දෙනු.

Jesustoday.lk 5 වන වසර 10 වන සතිය 2021 මැයි 09 වන ඉරිදා 

 

Comments powered by CComment