මම ඈත  සිතිජයෙහි හිරු බැස යන්නට ආසන්න දසුන දෙස බලා සිටියෙමි. මහ සයුරත් සිතිජ ඉමත් පූජාසනයක් සේ මට දිස් විය. සයුරේ ගිලි යන්නට ආසන්නයෙහි හිරු වටකුරුව සිතිජ ඉම මත පිහිටියේය. ඒ හිරු පූජාසනය මතුයෙහී දිව්‍ය සත්ප්‍රසාදය සේ පෙනුනි

භූ විද්‍යා සහ පාෂාණීය ධාතු දර්ශනවාදියෙකු කිවිඳෙකු සහ දිවැසිවරයෙකු ලෙස දස්කම් සමූහයක් දැක්වූ ජේසු නිකායික පියතුමෙකු වන මෙතුමා උපත ලැබුවේ 1881 මැයි 01 දින දකුණු ප්‍රංශයේදීය.

සමකාලීනයන් විසින් උසස් විද්‍යාඥයෙකු ලෙස සලකන ලද නමුත් කිතුනු සභාව මෙතුමාගේ මත ගැන සැක පහල කල බැවින් එතුමාගේ දර්ශනවාදී සහ දේව ධාර්මික මත විමර්ශන එතුමාගේ ජිවිත කාලය තුලදී මුද්‍රණය කර ප්‍රකාශ කිරිමට ඉඩක් නොලැබුණි.

විශ්වයේ හා විශේෂයෙන් මානවයාගේ පරිනාමය පිළිබඳව එතුමා ඉදිරිපත් කළ චින්තනය තුල විවිධ මතබේදකාරි අදහස් පැවැතියද එතුමාගේ එම අදහස් දැක්වීම් තුල පරිසරය, සොබාදහම පිලිබඳ සම්ප්‍රදායික කිතුනු චින්තනයෙන් ඉදිරියට ගිය අදහස් සමුදායක් අපට හමු වේ.

එතුමා මිනිසා පරිනාමයේ මුදුන් කොත ලෙස සැලකු නමුත් එය මානව කේන්ද්‍රවාදයට සීමා වූ දැක්මක් නොවීය.

ස්නායු පද්ධතියේ සැකසුම පදනම් කොට පරිනාම ක්‍රියාවලිය මනින කල ස්වභාව ධර්මයේ ගිනිය නොහැකි ශුනයන් සහ වර්ගයන් ඉබේටම වාගේ ඒවාට හිමි ස්ථානවලට වැටෙන බවද ඒවායේ විවිධ අංගෝපාංගයන් එකිනෙකට සම්බන්ධ අලංකාර මල් කළඹක ස්වරූපයක් ගන්නා බවද ප්‍රත්‍යක්ෂ වේ. මෙලෙස ස්වභාව ධර්මයේ නොයෙකුත් අංගයන් ගැලපෙන පිළිවෙලට සංයෝජනය වීම ඉබේටම සිදුවිය නොහැකි දෙයක් බව පැහැදිලි වේ.

එසේ පැවසීමෙන් ෂාර්ඩෑන් පියතුමා පරිනාම ක්‍රියාවලිය තුල දේව ක්‍රියාකාරිත්වයක් ඇති බව දක්වන්නට උත්සහ ගත් බවක් පෙනී යයි. එතුමා සියලුම වස්තුන් පිළිබඳ වටිනාකම හා ඒවාට අයිතිවන සාපෙක්ෂ මට්ටම තේරුම් ගැනීමට සංකීර්ණත්වයේ සංගුණතය යොදා ගත යුතු බව අදහස් කළේය.

සියළු වස්තුවල නෛසර්ගික අගයක් ඇති බවට අදහස් පළ කල පළමු වින්තකයා ලෙස එතුමා සැලකිය හැක.

එතුමාගේ ප්‍රධාන අදහසක් ලෙස සැලකිය හැක්කේ ජීවයේ පැවැත්මේ රහස හෙවත් පොදු ස්වභාවය එකමුතු වීම නොහොත් බන්ධනයන් ඇති කිරිම හෙවත් ප්‍රේමය බව දැක්වීමයි.

ප්‍රේමය හෙවත් ආදරය අප එකිනෙකා කෙරෙහිද අවසාන අවස්ථාව වන ඔමේගා (එතුමා පරිනාමයේ අවසාන තත්ත්වය හැඳින්වූයේ ඔමේගා මුදුන ලෙසයි.) කෙරෙහිද ලං කරවන හෝ යොමු කරවන අහිසාර බලවේගයකි. මිනිසාට පහත් තලයන් හිදී ද ප්‍රාණින් අතර වේවා ආදරයට සමාන බන්ධනයක් ඇති බව එතුමා පැවසීය.

ෂාර්ඩෑන් පියතුමා දුටුවේ මුළු මැවිල්ලම කිතු තුමන් තුල පූර්ණත්වයට පත්වන බවකි.

එකමුතුකමට හා අති උදාර බවට පත් කිරිමේ නිරන්තර ක්‍රියාවක් මගින් පෘතුවිය පූර්ණ චෛතසිකභාවය උන්වහන්සේ වෙත රැස් කර ගන්නා සේක. මෙසේ සියලු දේ එකට රැස්කර සියළු දේ පූර්ණකර උන්වහන්සේ සිය ජයග්‍රහනය තමන් වහන්සේව අයිතිකරගන්නා සේක.

සමස්ථ මැවිල්ලම එහි සියලු විවිත්‍රතා තුල දෙවිඳුන්ගේ අභිරහස්මයභාවය හා විශ්මය ජනක බව ප්‍රකාශ කරන බව හගින එතුමා දිව්‍ය සත්ප්‍රසාදය පමණක් නොව සකල මැවිල්ලම ක්‍රිස්තු ශරීරය ලෙස දකී.

කවියෙකු ලෙස හා චින්තකයෙකු ලෙස එතුමා සොබාදහම තුලින් දෙවිඳුන් දුටු ආකාරය පැහැදිලි කරන එක් නිදසුනක් මේ.....

“මම ඈත  සිතිජයෙහි හිරු බැස යන්නට ආසන්න දසුන දෙස බලා සිටියෙමි. මහ සයුරත් සිතිජ ඉමත් පූජාසනයක් සේ මට දිස් විය. සයුරේ ගිලි යන්නට ආසන්නයෙහි හිරු වටකුරුව සිතිජ ඉම මත පිහිටියේය. ඒ හිරු පූජාසනය මතුයෙහී දිව්‍ය සත්ප්‍රසාදය සේ පෙනුනි”

සැබැවින්ම විශ්වයම පූජාසනයකි. එය අපවිත්‍ර කරන්නට කිසිවෙකුට හිමි කමක් නැති බව එතුමාගේ එම සංකල්පනාව අපට පවසයි.

Jesustoday.lk 5 වන වසර 19 වන සතිය 2021 ජූලි 11 වන ඉරිදා

Comments powered by CComment