ඉන්දිරා ගාන්ධි වෘක්ෂ මිත්‍ර ත්‍යාගය ඇතුළු සම්මාන රැසක් දිනා ඇති ඇය සැබැ ලෙසම සොබාදහමේ දියණියකි.

 

හිස් දෙපතුළින් මිහිමවට පෙම් කරන "වනාන්තර විශ්ව කෝෂය"

තුල්සි ගවුඩා

“මට වඩාත් සතුට ගෙන දෙන්නේ මට ලැබෙන සම්මාන නොවේ. මගේ දරුවන් බදු ගස් මැ වේ”

එසේ පවසන්නී නොබෝදා ඉන්දියාවේ ඉහළම සම්මානය වන පද්ම ශ්‍රී සම්මානයෙන් පිදුම් ලද 72 හැවිරිදි ස්වදේශීය ගෝත්‍රික මාතාවක් වන තුල්සි ගවුඩාය.

ඈ උපත ලද්දේ 1944 දී කර්ණාටක ප්‍රාන්තයේ හන්නාලි ග්‍රාමයේ හලන්කි ගෝත්‍රික පවුලකය. ඇගේ පියා ‘තුල්සි’ යන නම ඇයට දුන්නේය. තුල්සි යනු ඉන්දීය ජනයා වන්දනාමාන කරන ශාකයක නමයි.

ඇයට ඒ නම දුන්නු තාත්තා ඇගේ උපතින් වසර දෙකක් යත්ම මිය ගියේය. අන් බොහෝ ගෝත්‍රික පවුල් මෙන් ඔවුන්ට ද උරුම වූයේ අතිශය දුක්ඛිත පීඩිත දිවි පෙවතකි. කිසි දිනක පාසල් නොගිය ඇය අකුරු නොදත්තාය.

කුඩා කළම ළමා මෙහෙකාර සේවයට එක් වු ඇය අවුරුදු 12 දී පමණ විවාහ දිවියට ඇතුළු වූවාය. ළමා විවාහ සාමාන්‍ය සම්ප්‍රදායන්ව පැවැතුනි. ඉතිං විවාහ කාන්තාවක ලෙස ජීවිත බර දරනු පිණිස ඇය දෛනික කුඩා වැටුපකට කර්ණාටක ප්‍රාන්ත රජයේ වන සංරක්ෂණ දෙපාර්තුමේන්තුවේ අස්ථීර ස්වේච්චා සේවයට බැදුණාය.

එතැන් සිට වසර හැටක් ඈ හිස් දෙපතුනිල් වනපෙත තුළ ඇවිද ගියාය. ඉමහත් ආදරයෙන් මිහි මව හා බැදි උන්නාය. වන පෙතේ ගහ කොළට පෙම් බැන්දාය. විවිධ වෘක්ෂයන්ගේ ව්‍යාප්තිය හැදි වැඩෙන හැටි ඈ ඇතැමුලක් සේ උගත්තාය. බීජ සංවර්ධනය හා සංරක්ෂනය උදෙසා ඈ කළ සේවයත්, ඇගේ දැනුමත් එකී විෂයෙහි ආචාර්ය මහාචාර්ය උගත්කමක වඩා උසස් විය. ඒ නිසාම ක්ෂේත්‍රයේ ප්‍රවිණයන් පවා ඈ ‘වනාන්තර විශ්ව කෝෂයේ ලෙස හැඳින්වූවාය.

ගස් 30 000 කට අධික සංඛායවක් ඈ මිහි මවට තිළිණ කළාය. ඇතැම් ගණන් බැලීම් අනුව එය 100 000 ඉක්මවයි. ඉන්දිරා ගාන්ධි වෘක්ෂ මිත්‍ර ත්‍යාගය ඇතුළු සම්මාන රැසක් දිනා ඇති ඇය සැබැ ලෙසම සොබාදහමේ දියණියකි. ඇගේ ගෝත්‍රික ජනයා ඈ හඳුන්වන්නේ ‘වෘක්ෂ දෙවඟන වශයෙනි.

මේ වෘක්ෂ දෙවගනයේ අගය වන නිලධාරි සෙල්ලප්පා රෙඩ්ඩි මෙසේ දක්වයි.

"ඇයගේ දායකත්වය මිල කළ නොහැකිය. ශාක විශේෂවලින් 90%කට වඩා පුනර්ජනන ගැටලු ඇති බව මට පෙනී ගියේය. ඒ සියල්ල මේ කාන්තාව ඉතා සරලව අත්දැකීමෙන් දැන සිටියාය. ඇය වනාන්තරයේ භාෂාව දැන සිටියාය. ඇය එක් එක් ගසේ භාෂාව දැන සිටියාය. ඇය ප්‍රරෝහණය භාෂාව දැන සිටියාය. ඇය වනාන්තරයේ පැවැත්ම පිළිබද තාක්ෂණය පිළිබද දැන සිටියාය. ඇයට එය ලිඛිතව ප්‍රකාශ කිරීමට නොහැකි වුවාට ඇය එය හොදින් දන්නීය. ඒ තමයි ඇගේ සුන්දර සුවිශේෂිත්වය"

Jesustoday.lk 5 වන වසර 38 වන සතිය 2021 නොවැම්බර් 28 වන ඉරිදා  

Comments powered by CComment