කිතු තුමන්ගේ පළමු පැමිණිමෙන් අපට පෙන්වා දුන් පාරිසරික පණිවුඩය අපි හඳුනා ගෙන තිබෙනවාද ?

 

වෘකයා බැටළුවා සමඟ වාසය කරන්නේය. දිවියා එළු පැටියා සමඟ ලගින්නේය. සිංහ පැටියාද වහු පැටියාද එකට කෑම කන්නෝය. කුඩා දරුවෙක් උන් ගෙනි යන්නේය. එළදෙන හා වළසා එක්ව තණ කන්නේය. උන්ගේ පැටව් එකට ලගින්නෝය. කිරි දරුවා නාගයාගේ තුඹස පිට සෙල්ලම් කරන්නේය” (යෙසායා 14/6-8)

ඉහතින් දැක්වෙන්නේ සාම කුමාරයාගේ ආගමනයෙන් අපේක්ෂා කරන සාම රාජ්‍යයේ ලක්ෂණයි. ‘නත්තල’ ලෙස නාමකරණය වී ඇති ක්‍රිස්තුස් උප්පත්ති මංගල්‍යය තුළින් මිනිසා සොබාදහම-දෙවිඳුන් අතර මහා සාංගික බව නැවත ප්‍රතිස්ථාපනය විය.

ගවලනේ සිදුවීම තුළින් ගැලවුම්කරු මිනිසා පමණක් නොව, සොබාදහමද පූර්ණත්වයට පත් කිරීමේ දූත කාර්්‍යය ඉටු කරන බව පෙන්වා දෙයි. නමුත් අපගේ නත්තල් සැමරුම් තුළ අප සොබාදහම කෙරෙහි වු අපේ දූත කාර්්‍යය සැලකිල්ලට ගන්නා බවක් පෙනෙනවාද ?

කිතු තුමන්ගේ පළමු පැමිණිමෙන් අපට පෙන්වා දුන් පාරිසරික පණිවුඩය අපි හඳුනා ගෙන තිබෙනවාද ?

කිතු තුමන්ගේ දෙවන ආගමනය හෙවත් දේව රාජ්‍යය උදාව ශුද්ධ වු බයිබලය දක්වන්නේ නව අහසක්, නව පොළවක් උදා වීමක් ලෙසයි. එකි නව අහස-නව පොළව යනු පරිසර දූෂණයෙන්, ගොඩබිම් දූෂණයෙන් වායු දූෂණයෙන් තොර අහසකි. පොළවකි.

කිතු තුමන්ගේ දෙවන ආගමනය හා පරිසරය පිළිබඳ අපට ඇත්තේ කෙබඳු සිතිමක්ද ? අද නත්තලට යනු ගවලෙන තුළින් ප්‍රකාශිත සරල චාම් ජීවිත වටිනාකම් අඩුයටි කුරු කරන උත්සවයකි.

අධි පරිභෝජනවාදි වෙළඳපොළ ධනවාදයේ මහ මංගල්‍ය්‍ය බවට පත් වී ඇති නත්තල් සැමරුම සොබා දහමට එරෙහි භාවිතාවක් බවට පත් ව ඇති බව පැහැදිලිව පෙනී යයි.
කිතුනුවන් ලෙස අපිත් මේ අධිපරිභෝජනවාදි පරිසර ද්‍රෝහී නත්තල සැමරුම් පංගුකරුවන් වී සිටිමුද ? ක්‍රිස්තු දැක්ම තුල සොබාදම රැකීම අපේ වගකීමක් බව අපි තේරුම් ගෙන කටයුතු කරනවාද ?

ශ්‍රී ලංකාව සංවර්ධනයේ නාමයෙන් සොබාදහම විනාශ කරමින් යන ගමන අපි අනුමත කරනවාද ? නත්තලේදි අපි මෙනෙහි කළ යුතු දැ අතරට මෙකි පාරිසරික මෙනෙහි කිරිමද එකතු කර ගනිමු.

පවුල තුල, මීසම තුළ, සංවිධාන තුළ අපි මේ ගැන කථා බහ කරමු. සොබා දහම සුරකින ක්‍රිස්තු උප්පත්ති සැමරුමක් සඳහා අපට කළ හැකි දේ මොනවාද ? අපිට වගේම සොබා දහමටත් මංගල්‍යයක් විය හැකි නත්තල් සැමරුමක් සඳහා අපි ක්‍රියා කරමු.

තරු පිපුණු අහස යට රැහැයි සංධිවනි මැද
මල් සුවඳ මුසුව එන මද පවන හමන සඳ
වසු පැටව් බැටළුවන් අතර මැද ගවහලක
ඉපදුනා දෙව්දු යුතු විශ්වයම මකත කර

කිතු දහම සොබාදහමේ මහා මංගල්‍යයයි.

එළදෙනද වළසාද එක්ව තණකොළ බුදින
සිගිත්තා නා තුඹ සේ කෙළි දෙළෙන් ගත කරන
මිනිස්වග සොබාදම එකම පවුලක් විලස
දිවි ගෙවන විශ්වසයක හැම තැනම දෙවිඳුන්ය

ගහකොළේ දෙවිඳුන්ය පිපෙන මලේ දෙවිදුන්ය
ඵල වැලේ දෙවිඳුන්ය වර්ෂාවේ දෙවිඳුන්ය
ගහලන ගහේ දෙවිඳුන්ය සුළං රැළේ දෙවිඳුන්ය
නත්තල් උපත ලද විශ්වයේ දෙවිඳුන්ය

පරිසරය සුරකිනා නත්තලක් නැති ලොවක
නත්තල් දෙව් අරුත බිඳ වැටෙනු ඇත නිබද
මිනිස් වග සොබාදම වනසනා හැම විටම
කිතු උපතේ සුප්‍රවතට පිටුපාති පාපිව

දූෂණය කරන්නේ ජලය නොව දෙවිඳුන්ය.
පොළව නොව දෙවිඳුන්ය සුළඟ නොව දෙවිඳුන්ය
සයුර නොව දෙවිඳුන්ය අහස නොව දෙවිඳුන්ය
නත්තල් උපත ලද විශ්වයේ දෙවිඳුන්ය

Jesustoday.lk 5 වන වසර 42 වන සතිය 2021 දෙසැම්බර් 25 වන ඉරිදා 

Comments powered by CComment