ජේසු තුළ සිටිම යනු කුමක් ද ? ජේසුට සම්බන්ධව සිටිම යනු කුමක් ද ? ප්‍රේමය තුළ සිටිමයි. ප්‍රේමය තුළ පවතින්නා ප්‍රේම කරන්නා දෙවියන් තුළ පවති. මන්ද දෙවියන් යනු ප්‍රේමයයි. ප්‍රේමය තුළ පැවැතීම යනු ප්‍රේමයේ සමාජ ආර්ථීක ක්‍රමයක් ගොඩනැගීම සඳහා කැපවීම ද වේ.

 

ක්‍රියා         9/26-31          ජොහාන්     3/18-24       ශු. ජුවාම්    5/1-8

අදට නියමිත පළමු කියවීම ‘සාවුල්’ ශ්‍රාවකයෙකු ලෙස භාර ගැනීම ගැනයි. කිතුනුවන් මරමින්, කිතුනුවන්ට පීඩා කරමින් සිටි සාවුල් ක්‍රිස්තුස් වහන්සේව මුණ ගැසීමෙන්, ප්‍රේමය මූණගැසීමෙන් වෙනස් මිනිසෙකු බවට පත් වේ. පරිවර්තනය ඔහුව ප්‍රේමයාණන්ගේ ශ්‍රාවකයෙකු වීමට සුදුස්සෙකු කරයි.

කිතුනුවෙකු වීම යනු සභාවක බව්තිස්ම වීම නොවේ. ප්‍රේමයේ පැවැතීම බව අදට නියමිත දෙවන කියවීම මෙසේ පැහැදිලිව පෙන්වා දෙයි.

“ප්‍රිය දරුවනී, අපගේ ප්‍රේමය වචනයෙන් වත් කතාවෙන්වත් නොව, ක්‍රියාවෙන් ප්‍රකාශ වන සත්‍ය ප්‍රේමයක් විය යුතුය”

මේ මොහොතේ පසුගිය සතිය තුළ ඉන්දියාව පුරා සිදුවන දැවැන්ත කෝවිඩ් මරණ ඉදිරියේ ක්‍රියාවෙන් ප්‍රේමය ප්‍රකාශ කළ තරුණයන් දෙදෙනෙකු අපගේ මතකයට නැගේ.

  • එක් තරුණයෙකු ඔහුගේ වාහන විකුණා රෝගීන්ට ඔක්සිජන් ටැංකි මිලදි ගෙන දුන්නේය.
  • තවත් ක්‍රිකට් ක්‍රීඩකයෙකු දහස් ගණන් මැරෙන මොහොතක අයි, පී, එල් වලට ක්‍රීඩා කිරිමට හිත හදාගත නොහැකි යැයි කියා ඉන් ඉවත් විය.

ඔවුන් දෙදෙනා බව්තිස්ම ලැබු කිතුනුවන් නොවිය හැක. එහෙත් ප්‍රේමයේ ක්‍රියාවෙන් ප්‍රකාශ කළේය.

අදට නියමිත සුවිශේෂය මෙසේ පවසයි.

“මා තුළ සිටින්න. මම ද ඔබ තුළ සිටිමි. අත්ත මිදි වැලට යැවි නැත්නම් වෙන්ව පල දරන්නට ඊට නොහැකිය. යමෙක් මා තුළ සිටින්නේද මම ඔහු තුළ සිටිමි.”

ජේසු තුළ සිටිම යනු කුමක් ද ? ජේසුට සම්බන්ධව සිටිම යනු කුමක් ද ? ප්‍රේමය තුළ සිටිමයි.

“ඔවුන් වහන්සෙගේ ආඥාව පිළිපදින්නා ඔවුන් වහන්සේ තුළ වෙසෙයි. ඔවුන් වහන්සේ ද ඇය තුළ, ඔහු තුළ වැඩ වසන සේක”

ඔවුන් වහන්සෙගේ ආඥාව ඉතා පැහැදිලිය.

”මා ඔබට ප්‍රේමා කළාක් මෙන් ඔබත් එකිනෙකාට ප්‍රේම කරන්න”

ප්‍රේමය තුළ පවතින්නා ප්‍රේම කරන්නා දෙවියන් තුළ පවති. මන්ද දෙවියන් යනු ප්‍රේමයයි.

ප්‍රේමය නැති සමාජ ආර්ථීක ක්‍රමයක ප්‍රතිඵලයක් ලෙස අද ලොව පුරා දහස් ගණන් දුප්පතුන් සෞඛ්‍ය පහසුකම් නොමැති කමින් මිය යති. සෞඛ්‍ය සේවා පෞද්ගලිකරණය වු නිසාම නිදහස් සෞඛ්‍ය පද්ධති බිඳ වට්ටවා ඇති නිසාම "ප්‍රේමය" නොව ‘ලාභය’ මුල් වු නිසාම මරණය සුලභ වී ඇත.

ප්‍රේමය තුළ පැවැතීම යනු ප්‍රේමයේ සමාජ ආර්ථීක ක්‍රමයක් ගොඩනැගීම සඳහා කැපවීම ද වේ.

Jesustoday.lk 5 වන වසර 9 වන සතිය 2021 මැයි 02 වන ඉරිදා 

 

Comments powered by CComment