ජුවාම් තුමා ප්‍රකාශ කරන්නේ කිතුනුවන් සිටින තැන දෙව් මැදුරු තියෙන තැන දෙවියන් සිටින බව නොව, ප්‍රේමය කොතැනද එතැන දෙවියන් සිටින බවයි. යහපත් සමරිතානුවන්ගේ උපමාව බලන්න. ඔහු ‘යහපත්’ සමරිතානුව‍ෙක් වූයේ ඔහුගේ ආගමික බව නොව තමාගේ සතුරෙකු පවා වු තැනැත්තාට දැක්වු දයානුකම්පාව හා ආදරය නිසයි.

උත්ථාන සමය හයවන ඉරුදින

ක්‍රියා        10:25-26, 34-35, 44-48 

1 ජොහාන්  4:7-10,

ජොහාන්    15:9-17

“මා ඔබට ප්‍රේම කලාක් මෙන් ඔබත් එකිනෙකාට ප්‍රේම කරන්න”

ජේසුගේ මුළු ජීවිතය, දහම කෙටිකර දක්වන්නේ මෙම වදන් වලයි.

අද අපි බලන දකින ටෙලි නාට්‍ය, චිත්‍රපටි වේවා අසන ගීත වේවා බොහෝ විට ඒවායේ තේමාව වනුයේ ‘ආදරයයි’

දෙම් මැදුරු තුලින් ද නිතර ඇසෙන්නේ ‘ආදරයයි ප්‍රේමයයි’

ආදරය ප්‍රේමය කුමක් ද ? ඇත්තේ කොහේද ?

අද දෙවන දේව ප්‍රකාශනය සඳහන් කරන්නේ ජීවිතයේ කේන්ද්‍රස්ථානය ‘ප්‍රේමය’ බවයි. එනම් ආදරය ‘ප්‍රේමය’ නොමැති තැන ඇත්තේ මරණයයි.

ජේසු ඉපදුනේ, වැඩුනේ, මැරුනේ, යුදෙව්වකු ලෙසයි.

එතුමාගේ පැමිණීම ජීවිතය ජුදෙව්වරුන්ට පමණක් නොවන බව තම ජීවිත පැවැත්මෙන් ම ප්‍රකාශ කෙරුනි. නීතියට, වත්පිළිවෙතට මූලිකත්වය දුන් පරිසිවරුන් හා සමග නිරන්තරයෙන් වාද විවාද කරමින් පෙන්නුම් කර දුන්නේ ජීවිතයේ සියළු කාරනාවලදි මානුෂිය විය යුතු බවයි. ‘නීතිය මිනිසා උදෙසා මිස මිනිසා නීතිය උදෙසා නොවේ‘ ජුදෙව්වරුන් විසින් පිළිකුල් කොට, පහත්කොට, පිටස්තරයන් ලෙස සලකන ලද සමරිතානුවන් බදු අය කරන්නන් පාපිෂ්ඨයන් එතුමාගේ සමීප මිතුරන් විය.

ජුදා නොවන්නන් කෙරෙහිද එතුමාගේ ආදරයේ සැලකිල්ලේ වෙනසක් නොවිය. ඒ වෙනුවෙන් පැවති දැඩි සම්ප්‍රදායන්ට එරෙහි වන්නට එතුමා බිය නොවූහ.

නීතිය රෙගුලාසි සම්ප්‍රදායන් වත්පිළිවෙත් නොව ජනතාව උතුම් බව නිරන්තරයෙන් පෙන්නුම් කරන ලදී. මේ සියල්ලේ පදනම වූයේ ‘ප්‍රේමයයි’ ‘ආදරයයි’

ප්‍රේමය කොතැනද එතැන දෙවියෝ වැඩ සිටිති.

ජුවාම් තුමා ප්‍රකාශ කරන්නේ කිතුනුවන් සිටින තැන දෙව් මැදුරු තියෙන තැන දෙවියන් සිටින බව නොව, ප්‍රේමය කොතැනද එතැන දෙවියන් සිටින බවයි. යහපත් සමරිතානුවන්ගේ උපමාව බලන්න. ඔහු ‘යහපත්’ සමරිතානුව‍ෙක් වූයේ ඔහුගේ ආගමික බව නොව තමාගේ සතුරෙකු පවා වු තැනැත්තාට දැක්වු දයානුකම්පාව හා ආදරය නිසයි.

මගේ ජීවිතයට වටිනාකමක් දෙන්නේ කුමක් ද ?

මම ප්‍රසාද ස්නාපනය ලැබුවකු විය හැක. පරම්පරාවෙන් කතෝලික පවුලකට අයත් වූවකු විය හැක. දස පනත උනන්දුවෙන් පිළිපදින දේවස්තානයට ගෙවිය යුතු මුදල් අතපසු නොකර ගෙවන කල යුතු යුතුකම් ඉටුකරන කෙනෙකු ද විය හැක.

එහෙත් ජාතිය, ආගම, කුලය, භාෂාව, වර්ණය, උගත්, නූගත් යනාදි කිසිවක් නොසලකා තම සොයුරාට සොයුරියට ප්‍රේමයේ ස්නේහයේ දෑත දිගු නොකරන්නේ නම් දෙවියන් මා තුලද මා දෙවියන්තුලද නැත. ජේසුගේ ප්‍රේමය කොන්දේසි විරහිතය මාගේ ප්‍රේමය එසේ නොවන්නේ නම් මම ද කිතුනුවෙකු නොවන්නේය.

අද අපි පෙර කිසිදාකට වඩා බෙදුනු බෙදන විරසක වුනු එකිනෙකා නොරුස්සන වෛරය ක්‍රෝධය දහම කරගත් සමාජයක, රටක, ලෝකයක ජීවත් වන්නෙමු.

දහමට වඩා නීතිය සම්ප්‍රදාය වත්පිළිවෙත දහම සේ පිලිපදින්නන් වෙමු.

ජේසු සොයා ගිය, ඇසුරු කල ආදරය තුල දුබලතා, පීඩිතයා, අසරණයා, පව්කරුවා අතහැර දමා ඇත්තෙමු. සහෝදරත්වයේ මනුෂ්‍යත්වයේ බැමි ලිහා දමමින් සිටින්නෙමු. ඉතිං නවතිමු. හැරෙමු ආපසු. බැදෙමු එකිනෙකා හා කොන්දේසි විරහිත ප්‍රේමයෙන්.

7GradeWriterWorkshopගරු ටෙරන්ස් ප්‍රනාන්දු පියතුමා

Jesustoday.lk 5 වන වසර 10 වන සතිය 2021 මැයි 09 වන ඉරිදා 

 

Comments powered by CComment