පිතා, පුත්‍රයා, ශුද්ධාත්මයාණන් ලෙස අපට අනාවරණය වන්නේ දේවත්වයේ පවුල්භාවයයි. සාංඝිකභාවයයි. සහයෝගීතාවයයි. දේව රාජ්‍යයේ දේව ස්වරූපයයි. ප්‍රේම රාජ්‍යයේ දේව රාජ්‍යයේ ස්වරූපයයි. අප පවුල් තුළ, සංඝ තුළ, රට තුළ, ලෝකය තුළ ඒ සහෝදරත්වයේ පැවැත්ම ගොඩනැගීම ශුද්ධ වූ ත්‍රිත්තවයට සාක්ෂි දැරීමයි. ඡේසුගේ ගෝලත්වයට සාක්ෂි දැරීමයි.

දෙවි මැදුරක ප්‍රධාන දායක පවුලක් විය. සහොදර සහෝදරියන් හය දෙනෙකු සිටි මේ පවුලේ බාල පිරිමි දරුවා විවාහ වූයේ අන්‍යාගිමක කාන්තාවක සමගයි. පියා හදිසියේ මිය ගිය අතර අක්කර දෙකක පමණ මහ ගෙදර ඉඩම කිසිවෙකුට ලියා නොතිබුණි.

මහ ගෙදර සිටි බාල පුතු හා ලේලිය මව හොඳින් බලාගත් අතර අනිත් සහෝදරයෝ ඔවුන් හා උරන වූයේ දේපල පිළිබඳවය. මව මහ ගෙදර හා ඉඩම බාල පුතු නමට ලියන්නට ගිය නමුදු ලේලිය මැදිහත්ව ඉඩම සමානව කොටස් හයකට බෙදා සහෝදරියන් හය දෙනා අතරට ලියා දීමට කටයුතු කළාය.

වැඩවර්ජනයක් නිසා රැකියාව අහිමිවූ කුලී නිවසක විසු තුන්වෙනි සහෝදරයාට මහ ගෙදර කොටස දීමටද කටයුතු සම්පාදනය කළ ඇය තමාට උරුම වු තම නිවසට නැන්දම්මාවද කැටිව පදිංචියට ගියාය. මේ පවුල එක් තැන් කළේ, පවුල් බවට, සාංගික බවට කැදවූයේ ප්‍රධාන ස්නාපනය ලබා නොතිබුණු ලේලියයි.

අද ශුද්ධ වූ ත්‍රිත්වයේ මංගල්‍ය දිනයි. අද දින සුවිශේෂයේ ඡේසු තුමා පැවසු වදනක් වන "සකල ජාතින් ගෝලයන් කරන්න" යන වදන බොහෝ කිතුනුවන් තේරුම් ගන්නේ මුළු ලොවම ක්‍රිස්තියානි සභාවේ සාමාජිකයින් කිරීමක් වශයෙනි.

එහෙත් ඉහත සත්‍ය සිදුවීම තුළ අප දකින්නේ ඡේසු පැවසු ප්‍රේමයේ ශ්‍රාවකත්වය පෑවේ අන්‍යාගාමික කාන්තාව විසින් බවයි.

‘අපි දරුවෝ නම් උරුමකාරයෝ ද වම්හ’ ඒ පල්ලියේ ප්‍රධාන දායක පවුලේ දරුවෝ දේපලට උරුම කම් කීවා මිස දේව පුත්‍රභාවයට උරුම කම් කීවේ නැත. දේව පුත්‍රභාවයේ කැඳවීමට උරුමකම් කීවේ අන්‍යාගමික කාන්තාවයි.

පිතා, පුත්‍රයා, ශුද්ධාත්මයාණන් ලෙස අපට අනාවරණය වන්නේ දේවත්වයේ පවුල්භාවයයි. සාංඝිකභාවයයි. සහයෝගීතාවයයි. දේව රාජ්‍යයේ දේව ස්වරූපයයි. ප්‍රේම රාජ්‍යයේ දේව රාජ්‍යයේ ස්වරූපයයි.

අප පවුල් තුළ, සංඝ තුළ, රට තුළ, ලෝකය තුළ ඒ සහෝදරත්වයේ පැවැත්ම ගොඩනැගීම ශුද්ධ වූ ත්‍රිත්තවයට සාක්ෂි දැරීමයි. ඡේසුගේ ගෝලත්වයට සාක්ෂි දැරීමයි.

සකල ජාතින් ගෝලයන් කිරීම යනු මුළු ලොව තුළ ප්‍රේමය රජ කරන ප්‍රේම පාලනයක් සහිත ක්‍රමයක් ස්ථාපිත කිරීමයි.

පවතින කෝවිඩ් තත්වය තුළ ගත්තද රෝගීභාවයට පත්ව, සුලභව සිදුවන මරණය ඉදිරියේ බියට පත්වූ ලෝකයට එන්නත් ලබා දීමට ගෝලීය සහයෝගීතාවයක් ගොඩනගා ගැනීමට ලෝකයට හැකි වී නැත. අධිරාජ්‍යවාදය සමග ලොක්ය බව්තිස්ම කළ ක්‍රිස්තියානි බටහිර රටවල් වෙතින් එවැනි ආදර්ශයක් මතු වන්නේම නැත. ශුද්ධ වු ත්‍රිත්තවයට සාක්ෂි දැරීම යනු ලෝකය තුළ සාංඝිකත්වය ගොඩනැගීම මිස සභාවන්ගේ ඔළුගෙඩි ගණන වර්ධනය කිරීම නොවේ.

Jesustoday.lk 5 වන වසර 13 වන සතිය 2021 මැයි 30 වන ඉරිදා

 

Comments powered by CComment