අද සුවිශේෂය පවසන්නේ දිවැසි පණිවුඩය ගෙනයාමට ජේසු තුමා ශ්‍රාවකයින්ව කැඳවීමයි. සැර යටියක් හැර කිසින් නොගෙන දූත කාර්යයේ යෙදීමට එතුමා ශ්‍රාවකයින් යවනු ලබයි. අද සැබැ දූත කාර්ය අපට මඟ හැරි ඇත්තේ නොගත යුතු යැයි ජේසු තුමා කී සියල්ල රැගත් ධර්ම දූතයින් බවට බොහෝ දෙනා පත්ව සිටීම නිසා නොවේද ?

ක්‍රිස්තියානි විශ්වාසය වන්නේ, සෑම කිතුනුවෙකුම එඩේරික, පූජක, දිවැසිවර ත්‍රිවිධ කාර්යභාරයකට කැඳවීමක් ලබා ඇති බවයි.

පූජකවරය හා දිවැසිවරය එකිනෙකට තදින් බැදි තිබෙන අතර පූජකවරය හා දිවැසිවරය එකම කාසියක දෙපැත්ත වේ.

එසේ නම්, පූජකවරයා හා දිවැසිවරයා අතර ගැටුමක් ඇති වන්නේ ඇයි ?

අදට නියමිත පළමු දේව ප්‍රකාශනය තුළ ඇත්තේ ඊශ්‍රායල්වරුන්ගේ ජාතික සිද්ධස්ථානය වන බෙතෙල් හී පූජක අමාසිය හා දිවැසිවර ආමොස් අතර ඇතිවන ප්‍රශ්නයකි. ඇත්තටම සිදුවන්නේ පූජකයා විසින් දිවැසිවරයාව වළක්වා ලීමයි.

“දිවැස් කියන්නා මෙතනින් යන්න. ජුදා රටට ගොස් ඔබේ ජීවිකාව කරගන්න. එහි ඔබේ දිවැසි දෙසුම් කරන්න. මින්පසු දිවැසි දෙසුම් බෙතෙල් හී නොකරන්න. මෙය රජ තුමා නමස්කාර කරන ස්ථානය ය. මෙය ජාතික සිද්ධස්ථානය ය.”

හේතුව ඉතා පැහැදිලිය. පූජක තුමා දෙවියන්ගේ අපේක්ෂාව කැමැත්ත නොව රජුගේ කැමැත්ත වෙනුවෙන් පෙනී සිටීමයි. ඇයි ඔහු එසේ පෙනී සිටින්නේ. ජාතික සිද්ධස්ථානයට රජුගේ අනුග්‍රහය ලැබෙන බැවිනි.

පූජකවරයා තව දුරටත් දිවැසිවරයාට පවසන්නේ “ඔබේ රැකියාව-ජීවිකාව වෙන තැනකට ගොස් කරගන්න” කියායි. ඇයි පූජකයාට දිවැසිවරය රැකියාවක් ලෙස පේන්නේ. පූජකවරය ඔහුට ඉමහත් ආනිසංස දෙන රැකියාවක්, තනතුරක් වී තිබෙන නිසාය.

දිවැසිවරයා පූජකයාට පිළිතුරු දෙයි.

“දිවැසිවරය මගේ රැකියාව නොවේ. මට රැකියාවක් ඇත. මෙය මගේ ජීවිත කැඳවීමයි."

මේ මොහොතේ ලංකාවේ යථාර්ථයට අවදි වුනොත්, ලංකාවේ පාලකයින් පාලක මතය නියෝජනය කරන නායක පූජකයින් වීදියේ අරගල කරන ශිෂ්‍යයින්ට කියන්නේ කුමක් ද ? ඕගොල්ලෝ තමන්ගේ පාඩුවේ තමන්ගේ ඉගෙනීමේ වැඩය කරගන්න. ගුරුවරුන්ට කියන්නේ “ඕගොල්ලෝ ඕගොල්ලන්ගේ රස්සාව කරගෙන ඉන්න” ගොවියන්ට කියන්නේ “ගොවිතැන කරගෙන ඉන්න” පාරට බහින්න එපා. දිවැසි හඬ නඟන්න එපා. නමුත් ගොවියාට ගොවි තැන කිරීම ධීවරයාට ධීවර රැකියාව කිරීම ප්‍රශ්නයක් වී තිබේ. ශිෂ්‍යයාට තම අනාගත නංගිලා මල්ලිලාගේ අධ්‍යාපනය අහිමි වීම ප්‍රශ්නයක් වී තිබේ.

රාජ්‍ය බලයේ, ධනයේ අනුග්‍රහය ලබන පූජකයාට ඒ ප්‍රශ්නය නැත. එහෙත් ජනතාව අතර සිටින  පූජකයාට මේ ප්‍රශ්නයත් දැනේ.

එසේම, එදා මෙන්ම අදත් තමන්ට අනුග්‍රහය දක්වන රාජ්‍යයට බලපෑමක් වන දිවැසි වැකි කියන්නන්ට අද නායක පූජකයෝද, පාලකයෝද ඩොලර්වලට කෑසගන්නන් බඩගොස්තර විප්ලවාදීන් ලෙස හඳුන්වා අපහාස කරති.

වරක් ක්‍රිස්තියානි සහයෝගීතා ව්‍යාපාරය 18 වන සංශෝධනයට එරෙහිව කොළඹ සාන්ත පිලිප්නේරි දෙව් මැදුර ඉදිරිපිට සාමකාමී සත්‍යග්‍රහයක් පැවැත්විය. ඉන්පසු රාජ්‍යයේ හා නායක පූජකයින්ගේ බලපෑම මත සිද්ධස්ථාන පාලක තුමා ප්‍රකාශ කර තිබුණේ ඒ සත්‍යග්‍රහයට නිල සම්බන්ධයක් නැති බවයි. මෙවැනි නිදසුන් අද ද කොතෙකුත් ඇත.

අද සුවිශේෂය පවසන්නේ දිවැසි පණිවුඩය ගෙනයාමට ජේසු තුමා ශ්‍රාවකයින්ව කැඳවීමයි. සැර යටියක් හැර කිසින් නොගෙන දූත කාර්යයේ යෙදීමට එතුමා ශ්‍රාවකයින් යවනු ලබයි. අද සැබැ දූත කාර්ය අපට මඟ හැරි ඇත්තේ නොගත යුතු යැයි ජේසු තුමා කී සියල්ල රැගත් ධර්ම දූතයින් බවට බොහෝ දෙනා පත්ව සිටීම නිසා නොවේද ?

කිතුනුවාව යවනු ලබන්නේ පවතින රාජ්‍යයේ දූතයෙකු ලෙස නොවේ. ඊට ප්‍රතිපක්ෂ ප්‍රේමයේ රාජ්‍යයක් ගොඩනගන දූතයෙකු ලෙසයි. අප ආත්ම සෝදිසියකින් බැලිය යුත්තේ ඒ කැඳවීම තුළ අප සිටිනවාද යන්නයි.

Jesustoday.lk 5 වන වසර 19 වන සතිය 2021 ජූලි 11 වන ඉරිදා

 

Comments powered by CComment