ජේසු තම මිතූරන්වූ අනුගාමිකයන් සමග තම රටේ ලෝකයේ පීඩාවට හා කොන්වීමට පත් කරනු ලැබූ ජනයාට ගැලවීම, සැනසීම හා විමුක්තිය අත්දකිනු සඳහා නායකත්වයක්, මගපෙන්වීමක් ලබා දෙන්නට කැපවෙනවා. මුදල, බලය හා කීර්තිය පසුපස ගිය නායකත්වය (එඬේරිකත්වය) වෙනුවට ප්‍රේමය, මිනිස්කම, යුක්තිය, සාධාරණය හා සාමය මුල්කරගත් සේවක නායකත්වයකින් ජේසු කණ්ඩායම, සාමුහිකය හා සංඝය ක්‍රියා කරනවා.

අද පළමු කියැවීම තුළ,

ක්‍රි.පූ. 623 කාලයේ පලස්තීනයේ ජුදයාවේ පාලකයනුත් පාලනයත්, සමාජයත්, ජීවිතයත් පිරිහුනු පසුබිමක තරුණ දිවැසිවර ජෙරමියස් තම රටේ එඬේරුන් හෙවත් පාලකයන්, නායකයන් ගැන දේව කනින් අසා දේව ඇසින් හා සිතින් බලා කරන ප්‍රකාශයක් අපට හමුවෙයි.

ඔහු දෙවියන් තුළ රටේ නායකයින් හා පාලකයින් ගැන කියන්නේ කුමක්ද?

  • ඔවුන් (එඩේරුන්=නායකයින්, පාලකයින්) බැටළුවන්(ජනතාව) වනසා, විසුරුවාදමා ඇති බවයි.
  • ඔවුන් ජනතාව පෝෂණය කිරීම, රැකබලාගැනීම වෙනුවට විසුරුවා, පන්නා දමා ඇති බව.
  • ඒ නිසා නයකයින් හා පාලකයින් දේව දඬුවම ලැබිය යුතු බව.

ඔහු පවසන දේව බලාපොරොත්තුව කුමක්ද?

  • විසිරී ඈත්වී සිටින ජනතාව නැවත එකතුකිරීම, දේශයට ගෙන ඒම.
  • ඔවුන් බෝවී වැඩිවර්ධනය වීම.
  • ඔවුන් තවදුරටත් කැළඹීමට, බියවීමට පත් නොවීම.
  • ඔවුන්ගෙන් එකෙක්වත් නැතිවන්නට ඉඩ නොදීම.
  • අළුත් යුගයක, දේශයක උදාවක්.
  • දැහැමි පාලනයක බිහිවීම.
  • නැණනුවනින් කෙරෙන පාලනයක් හා ප්‍රඥාවන්ත පාලකයින් බිහිවීම.
  • දැහැමිකම, යුක්තිය රට මුළුල්ලේම ඉටුකිරීම.

ශු.සුවිශේෂය තුළ,

ජෙරමියස් දිවැසිවරයාගේ සිට අවුරුදු 600 පසු, ක්‍රි.ව. 30 දී පමණ ජුදයාවේ ගලීලයේ ජේසුස් නම් තරුණ දිවැසිවරයා තම රටේ පිරිහුනු පාලනය හා පාලකයන් (එඬේරුන්) ගැනත් ඒ නිසා පීඩාවට පත්වුනු ජනතාව (බැටළුවන්) ගැනත්  කියන්නේ කුමක්ද?

මේ ජනතාව හරියට එඬේරෙක් නැති බැටළුවන් වගේ කියාය.

ඇයි ජේසු එහෙම කිව්වේ?

  1. ජේසුගේ කාලයෙත් තමන්ගෙ රටේ සිටි ආගමීක හා දේශපාලණ නායකයෝ හා එහි තිබූ පාලන ව්‍යූහය විසින් රටේ සාමාන්‍ය ජනතාව ජුදා, සමාරි, ග්‍රීක හා විජාතී ලෙස එක පැත්තකින් ජාතිවාදීවත්, ආගම්වාදීවත් බෙදා, වෙන්කර කොන්කර තිබූ අතර අනෙක් පැත්තෙන් සමාජීයවත්, ආර්ථිකවත්, දේශපාලණමය ලෙසත් පීඩාවට පත්කර තිබුණා.
  1. රෝම අධිරාජ්‍යයට යටත්ව, එහි රජවූ සේසුරුගේ සිට ජුදයාවේ පූජක, පරිසි ඇතුළු ඉහළ තලයේ නායක හා පාලක කාරකාදීන්ගේ හා ධනවත් සුළු පිරිසකගේ නාස්තිකාරී, වියදම්කාරී, අධිසුඛෝපබෝගී දිවි පැවැත්ම නඩත්තුකරන්නට දිළිඳු ගොවි, ධීවර හා කම්කරු ජනතාවට දුක්පීඩා විඳින්න සිදුවුනා.

ජේසු තම මිතූරන්වූ අනුගාමිකයන් සමග තම රටේ ලෝකයේ පීඩාවට හා කොන්වීමට පත් කරනු ලැබූ ජනයාට ගැලවීම, සැනසීම හා විමුක්තිය අත්දකිනු සඳහා නායකත්වයක්, මගපෙන්වීමක් ලබා දෙන්නට කැපවෙනවා. මුදල, බලය හා කීර්තිය පසුපස ගිය නායකත්වය (එඬේරිකත්වය) වෙනුවට ප්‍රේමය, මිනිස්කම, යුක්තිය, සාධාරණය හා සාමය මුල්කරගත් සේවක නායකත්වයකින් ජේසු කණ්ඩායම, සාමුහිකය හා සංඝය ක්‍රියා කරනවා.

අද දවසේ, ජේසුගෙන් වසර 2021 කට පසුව, බෞතීස්මය තුළින් දිවැසිවර කාර්‍යයට කැඳවුම් ලබා ඇති අප දේව ඇසින් හා දේව සිතින් අපේ රට, එහි පාලනය හා පාලකයන් හා ජනතාව වන අප දිහා බැළුවොත් අපි දකින්නේ, අපිට සිතෙන්නේ කුමක්ද?

  • බ්‍රිතාන්‍ය පාලකයන්ගෙන් පටන්ගත් සිංහල, දෙමළ හා මුස්ලිම් ලෙස බෙදා වෙන්කර පාලනය කිරීමේ සිට, ඉන්පසු ස්වදේශීය පාලකයන් ඇතිකළ යුද්ධයක මහා විනාශයක් දක්වාත්, ඉන්පසුවත් ඛේදනීය ලෙස අදටත් බෙදී වෙන්වී ඈත්වුනු ජන කොටස් (ජාතික අසමගිය) සහිත රටක් නිර්මාණය කිරීම.
  • රටේ ජනතාවගේ පොදු සම්පත් නිර්ලජ්ජිතව කොල්ලකන නායකයින් හා පාලකයින් වැඩිවීම.
  • ජනතාවගේ පොදු අයිතියට ඇති ඉඩම් හා භූමි, විශාල ලෙස ලාබ ලබන දෙශීය හා විදේශීය පෞද්ගලික සමාගම් වලට හා ව්‍යාපාරිකයන්ට විකිනීම හරහා ජනතා, දේපල හා සම්පත් අහිමි කිරීම.
  • ජනතාව ආර්ථිකව දුප්පත්කර අසරණ පීඩිත තත්වයට ඇද දැමීම.
  • රටේ ජනතාවට රට එපාකර රට හැරයන්නට තත්වයන් ඇතිකිරීම.
  • රටේ පීඩාවට එරෙහිව හා අයිතීන් වෙනුවෙන් පාරට බහින පීඩාවට පත් මිනිසුන් ගැහනුන්ට විරුද්ධව මර්ධනය දියත් කිරීම.

ගොවිතැන, ධීවර රැකියාව, අධ්‍යාපනය, සෞඛ්‍ය, පවුලේ සුව පැවැත්ම ඇතුළු රටේ ජීවිතයේ සියළු සමස්ථය ඇදවැටීමට පාර කැපූ රටේ පාලනයක් හා නායකත්වයක් තිබීම.

ලෝකයේ බොහෝ රටවල තත්වයත් අඩු වැඩි වශයෙන් මෙසේය.

මේ පිරිහුනු තත්වයන් මින්සුන්ට පෙන්වා දෙන්නට ලෝකය පුරා විවිධ පුද්ගලයන්, කණ්ඩායම් හා ජනකොටස් දිවැසිවරුන්මෙන් පෙරට එමින් තිබේ. එය අපට ලොකු බලාපොරොත්තුවක් හා ධෛර්යයක් ගෙන එයි.

උදාහරණයක් ලෙස පසුගිය 5 වැනිදා අවුරුද්දක් පුරා ඉන්දියානු ආණ්ඩුවේ බොරු චෝදනා නිසා හිර අඩස්සියේ සිටියදී, ඔහුට වැළඳුනු කොරෝනා රෝගයට නිසි ප්‍රතිකාර ලබා නොදීමෙන් මියගිය ස්ටෑන් ස්වාමි නම් ජේසු නිකායික පියතුමා අපට මතක්වේ. ඔහු ජීවිතයේ පෙනීසිටියේ ඉන්දියාවේ පාලනය හා නායකයන් හා සමාජය විසින් කොන්කරනු ලැබූ හා පීඩාවට පත් කෙරූ ආදිවාසී හා දලිත්  මිනිසුන් වෙනුවෙන්...ඔවුන්ට අහිමිකරනු ලැබූ අයිතීන්, යුක්තීය හා සාධාරණය වෙනුවෙන්...ඔවුන්ට එරෙහිව සිදුකෙරුනු ලැබූ සියළු හිංසාවන් හා බල්හත්කාරයන්ට එරෙහිව. අවසානයේදී ඔහුට මිය යන්න සිදුවෙන්නෙත් මනුස්සකම, සත්‍යය, සාධාරණය වෙනුවෙන් ඔහුගේ පෙනීසිටීම දරා ගන්න බැරිවුනු ඉන්දියාවේ අමානුෂික හා අසාධාරණ පාලන ක්‍රමයේ ප්‍රතිඵලයක් ලෙස. ඔහු අපේ කාලයේ දිවැසිවරයෙකි. 

කිතුනුකම තුළ අද දවසේ අපටද දිවැසිවර මෙහෙවර සඳහා අභියෝගාත්මක කැඳවීමක් ඇත. ඒ සඳහා ව්‍යාජ, ප්‍රෝඩාකාර, රැවටිලිකාර නායකත්වය පිටුදකිමු. පීඩාවට පත් සියළු ජනකොටස් එකට එකතුවී දිවැසිවර මහා බලයක් ගොඩ නගමු. ඒ සඳහා පුද්ගලිකවත් සාමුහිකවත් අපේ ජීවිත කැපකරන්නට අපට අවශ්‍ය ප්‍රේමයේ හා සාධාරණත්වයේ දෙවිඳුන්ගේ ශක්තිය ධෛර්යය අප සතුව ඇති බව විශ්වාස කරමු.

7GradeWriterWorkshopගරු ඇන්ටන් ජයනන්ද පියතුමා

Jesustoday.lk 5 වන වසර 20 වන සතිය 2021 ජූලි 18 වන ඉරිදා

Comments powered by CComment