සිංහාසනයත් ඔටුන්නත් එසේම තිබිය දී ඊට විටින් විට යම් අයකු පත් කිරිම ක්‍රිස්තියානි දර්ශනය නොවේ. ඔටුන්නත්, සිංහාසනයත් සංඛේතවත් කරන රාජ්‍යයත්වය අහෝසි කිරිම ක්‍රිස්තියානි දැක්ම වේ.

 

අද සභා සම්ප්‍රදාය අනුව ක්‍රිස්තු රජාණාන්ගේ මංගල්‍යයි.

ක්‍රිස්තු තුමන්ගේ පණිවුඩය පැවැති රාජකීයයත්වයට සපුරා පටහැනි වු අතර ක්‍රිස්තු භාවිතයද පැවැති නායකත්වයට සපුරා පටහැනිවු වටිනාකම් සහිත නායකත්වයක් විය.

බ්‍රිතාන්‍යයන්ගේ පැමිණීම සමඟ වැඩවසම් රාජකීයත්වය අහිමි වී ගිය නමුදු වැඩසම් මනස අහිමි නොවු මෙරට ජනයා තුන්වන සහශ්‍රකයේදීත් මහ රජුන් පතනවා. එසේ ම කිතුනුවෝ මේ ලෝකයේ රාජ්‍යත්වය, ඔටුනු, සිංහාසන ප්‍රතික්ෂේප කළ ජේසුව එම සංඛේත සමඟ රූ ගන්වා ක්‍රිස්තු රාජණන්ගේ මංගල්‍ය සමරති.

එහෙත් ක්‍රිස්තුස්ගේ රජකම මේලොව රජකමින් කිසිසේත් සංඛේතවත් කළ නොහැක.

ක්‍රිස්තියානියේ රාජ සංකල්පය සාරාංශ කරන වදනක් අද පිළිතුරු ගීතයේ සඳහන් වේ. ඒ වනාහි පාරාවාගේ අධිරාජ්‍යවාදි වහල් ක්‍රමයෙන් ඊට සපුරා වෙනස්වූ වටිනාකම් සහිත ක්‍රමයකට එතෙරවු මෝසස්ලාගේ ජය ගීතයේ කොටසකි. එනම්,

“සමිදාණෝ සදහටම රජකම් කරන සේක”

සමිදුන් සදහටම රජකම් කරන ඒ නව සමාජ ආර්ථික ක්‍රමය තුළ තව දුරටත් රජුන් නැත. මුදල, ධනය, බලය අධිපතිවාදය සංඛේතවත් කරන සිහංසන නැත. ඔටුනු නැත. දේව පාලනයක් හෙවත් ප්‍රේමයේ පැවැත්මක් ඇත.

ක්‍රිස්තියානියේ දේශපාලන දර්ශනය එයයි.

සිංහාසනයත් ඔටුන්නත් එසේම තිබිය දී ඊට විටින් විට යම් අයකු පත් කිරිම ක්‍රිස්තියානි දර්ශනය නොවේ. ඔටුන්නත්, සිංහාසනයත් සංඛේතවත් කරන රාජ්‍යයත්වය අහෝසි කිරිම ක්‍රිස්තියානි දැක්ම වේ.

“මාගේ රාජ්‍යය මේ ලෝකයට අයිති නැ” යනුවෙන් පිලාත් ඉදිරියේ ජේසු තුමා පවසන්නේ ඒ සත්‍යයි. එනම් මාගේ රාජ්‍යය මේ පවතින ක්‍රමයට අයත් නොවේ යන්නයි. එසේ නැත්නම් එය නව යුගයකට නව අදහසක් නව පොළවකට අයිතිය යන්නයි.

අද මෙරට සමස්ථ ජනයාම සිටින්නේ පවතින ක්‍රමය හෙවත් සිංහාසනය ඔටුන්න, එසේම තිබියදී විටින් විට ඊට වෙනස් වෙනස් පුද්ගලයින් පත් කර ගැනීමේ මුග්ධකම දශක ගණනාවක් සිදු කිරීමේ පාපයේ ප්‍රතිඵල භුක්ති විඳිවිති.

සුදු අධිරාජ්‍යවාදින් මේ රටේ රජු පන්නා දමා බ්‍රිතාන්‍ය කිරිටයට රට යටත් කළ පසු අරාජිත රට ගැන කුංකුණාවේ හාමුදුරුවෝ මෙසේ ලීයුවෝය.

අනේ කූඹින්නේ

තොපටත් රජෙක් ඉන්නේ

අපට නැත ඉන්නේ

ඒ නිසාවෙනි අප තැවෙන්නේ

අපට රජෙක් ලැබුනෝතින් 

කැවුම් කිරිබත් කඤ්ඤං

පෙරහැර කරඤ්ඤං

සාදුකාරෙන් ගිගුම් දෙඤ්ඤං

නමුත් කිරිබත් කා පත් කර ගත් බොහෝ රජවරු සිදු කළේ ජනතාව රැවටීමය. ඔවුන්ගේ පත්වීම මංගල්‍යය කාරණයක් වූයේ පීඩිත ජනයාට නොව, රජුන්ට රජුන්ගේ පවුල්වලට නැති ඇමැත්තන්ට හා ඔවුන්ගේ හෙන්චයියලාට පමණය. 

අද මෙරට ක්‍රිස්තියානි ජනයාද සිටින්නේ ජාතියේ නාමයෙන් ක්‍රිස්තියානි වටිනාකම් වලට පිටුපෑ රජුන් තන්නනට කතිරය භාවිතා කොට ඒ රජුන්ගෙන්ම සාධාරණය යුක්ති පතනා වේදනාකාරී අත්දැකීමකය.

“ඔබ අතර නායකයා වෙන්නට කැමැත්තේ සේවකයා විය යුතු යැයි”

කීමෙන් ජේසුස් වහන්සේ අදහස් කරන්නේ පවතින ක්‍රමය කනපිට හරවන සමාජ ආර්ථීක දේශපාලන ක්‍රමයක් හෙවත් දේව රාජ්‍යයේ උදාව තුළ පවතීමයි.

ධනයේ බලයේ රජුන් කරන්නේ තවත් ධනය, තව තවත් ධනය සඳහා රටත් ජනතාවත් විකිණීමයි. සූරා කෑමයි එවන් රජුන් තනන්නට උපකාර කිරීම ක්‍රිස්තියානියට පටහැනිය.

නැවත නැවතත් ක්‍රිස්තු රජාණන්ද සිංහාසන සමඟ ඔටුනු සමඟ පරිකල්පනය නොකොට පාද සෝදන තැනම දකිමින් දේව රාජ්‍ය උදෙසා කැපවෙමු. මේ ලෝකයට රජුන් තැනීම ක්‍රිස්තියානියේ රාජකීය මෙහෙවර නොවන බව අදහමු.

Jesustoday.lk 5 වන වසර 37 වන සතිය 2021 නොවැම්බර් 21 වන ඉරිදා 

 

Comments powered by CComment