ගැලවීම ලැබෙන්නේ ඒ කාර්යය ඉටුකිරිමෙන් විනා සභාවක බව්තිස්ම සහතිකයක් ලබාගැනීමෙන් නොවේ.

 

යොසාය   40/-5, 9-11
තීනස්      2/11-14, 3/4-7
ශු. ලූක්    3/15-16, 21-22


සනසන්න. මාගේ සෙනඟ සනසන්නැයි
ඔබේ දෙවිදාණෝ වදාරණ සේක.
හඬ නගා ඔවුන්ට මෙසේ කියන්න
ඔවුන්ගේ වහල්කමේ කාලය
දැන් ඉවර වී ඇත
පව් කමාව ඔවුන්ට ලැබී ඇත.

මෙසේ කියන හඬට සවන් දෙන්න
වනාන්තරයේ සමිදුන් හට
මාවතක් එළි කරන්න
පාළුකරයේ අපේ දෙවිඳුන් හට
මහ පාරක් සාදන්න
සියලු මිටියාවන් පුරවනු ලබන්නේය
සියලු කඳු හෙල් කපා පහත් කරනු ලබන්නේය.
රථ තැන් සුමුදු කරනු ලබන්නේය.

සමිඳුන් වන දෙවිදාණෝ
බල පරාක්‍රමයෙන් වඩින සේක
වික්‍රමයෙන් පාලනය කරන්නට වඩින සේක
එඩේරෙකු සේ එතුමාණෝ
තම රැළ පෝෂණය කරන සේක
දෑතින් බැටළු පැටවුන් වඩාගෙන
ළයෙහි උන් හොවාගෙන යන සේක

අදට නියමිත පළමු කියවීමෙහි එන ‘බලාපොරොත්තුවේ වදන්’ වලින් කොටසකි ඉහත දැක්වෙන්නේ.

එය එක් පසෙකින් දේව පාලනයක් සහිත යුගයක ලක්ෂණ අපට ගෙනහැර දක්වයි. එය ‘වහල්කම් අහොසි වන යුගයකි.

අනිත් අතින් ඒ යුගයට මාවත හෙළි කිරීමේ අවශ්‍යතාවය ගෙන හැර දක්වයි

ඒ අතීතයේදි රජවරුන්ට පාළුකරය මැදින් වනාන්තර මැදින් මාවත් ඉදි කරනු ලැබුවේය.

වහල්කමේ යුගය නිමා කරමින් ගැලවීම උදෙසා මිනිසුන් එක්සිත් වන යුගයක් උදෙසාද මාවත පිළියෙල කළ යුතුය. එය අද අපේ වගකීමයි.

සියලු මිනිසුන් දේව පුත්‍රයන් දේව දියණියන් ලෙස සලකන, හැගෙන දැනෙන රටක් ලෝකයක් උදා කිරීම ක්‍රිස්තියානි කැඳවීමයි.

ජේසු තුමන් ජෝර්දාන් නදියේ බව්තිස්යේදි අත්දකින්නේ ‘අබ්බා’ අත්දැකීමයි.

“ඔබ මාගේ ප්‍රියාදර පුත්‍රයාණෝය. ඔබ කෙරහි ඉතා ප්‍රසන්නව සිටිමි”

තාත්තාගේ හදවතේ නාදය එයයි. පුත්‍රයාගේ හදවතේ නාදය මෙයයි.

“ඔබ මාගේ ප්‍රියාදර පියාණෝය. ඔබ කෙරෙහි ඉතා ප්‍රසන්නව සිටිමි”

ජේසු තුමන් අත්දකින්නේ අද බොහෝ දෙනා ලියන කියන අහස පොළව මැවු සර්වබලධාරි දෙවි පියාණන් කෙනෙකු පිළිබඳ නොවේ. විශ්වය නිදහස් කරන ලෝකය ගළවන ප්‍රේමණීය පියාණන කෙනෙකු පිළිබඳවය.

ඕනෑම මිනිසෙකුට තම පවුල තුළ රට තුළ ලෝකය තුළ තමා පුත්‍රයෙකු ලෙස දියණියක ලෙස දැනෙන්නට හැගෙන්නට අවැසිය. තමා ජීවත්වන්නේ එවිටය.

එහෙත් අද ලොව තුළ ජීවත් වන කෝටි සංඛ්‍යාත ජනතාවකට මේ ලෝකය තුළ තවත් පුතෙකු දුවෙකු ලෙස නොහැගේ නොදැනේ. ඔවුන්ට දැනෙන්නේ තමන් වහලුන් ලෙසය. කුණු කසළ ලෙස නොසලකා හරින ලද්දක් ලෙසය.

අපට රට තුළ ද ප්‍රමාණාත්මක සුළුතර ජාතින්ට, දෙමළ ජනයාට, දැනෙන්නේ තමන් මේ රටේ දරුවන්ය යන හැඟීම නොවේ. තුන්වෙනි පංතියේ මිනිසුන් ලෙසය. ඉතිං ඔවුන්ට මේ රට තම පීතෘ භූමිය ලෙස නොදැනේ. නොහැගේ.

ප්‍රසාද ස්නාපතිය කැඳවීම ඇත්තෝ කළ යුත්තේ ලෝකයේ සියලු මිනිසුන්ට, රටේ සියලු මිනිසුන්ට තමන් උරුමකරුවන්, පුත්‍රයින් දියණියන් බව දැනෙන ලොවකට රටකට පාර කැපීමය.

ගැලවීම ලැබෙන්නේ ඒ කාර්යය ඉටුකිරිමෙන් විනා සභාවක බව්තිස්ම සහතිකයක් ලබාගැනීමෙන් නොවේ.

Jesustoday.lk 5 වන වසර 44 වන සතිය 2021 ජනවාරි 09 වන ඉරිදා 

 

Comments powered by CComment