බටහිර හා කලාපීය බලවතුන් විවිධ සංවිධාන, ව්‍යාපෘති හරහා ඊළග බල ව්‍යාපෘතියට අපව දක්කාගෙන යාමේ සැලසුම්වලට හසු වීමට අපි ඉඩ නොදෙනු මැනව.

 

යුක්තිය උදෙසා සා පිපාසාවන්නෝ භාග්‍යවන්තයෝ යැයි කී ජේසු සමිදුනි.

අපගේ යුක්තිය උදෙසා වන අරගලය දෙස අවංක ආත්ම සෝදිසියක යෙදීමට අපව බැගැපත් කළ මැනව.

අපගේ දෙමළ අසල්වැසියාට අපගේ මුස්ලිම් අසල්වැසියාට පහර පිට පහර වැදෙන විට අපි නිහඬව සිටීම මගින්ද, ඔවුන්ගේ යුක්තියේ සා පිපාසාව දේශද්‍රෝහිකමක් කියන ජාතිවාදි මතවාදයට ආ වැඩීම මගින්ද, ඇතැම් විට ජාතිවාදි පාලකයින්ගේ වුවමනාවට බොරුකීම මගින්ද අප කළ පාපයන්ට අපි මනස්තාපය වෙමු.

එදා යාපනයේ නවාලි දෙව් මැදුරට බෝම්බ හෙලන විට අප නෑසුකන්ව සිටියෙමු. අද මෙන් සියලු රදගුරුවරු එක්කොට ඓතිහාසික යාච්ඥා මෙහෙයන් නොපැවැත්වීමු. ඒ වෙනුවට උතුරේ රදගුරුවරුන්ව තනි කළ‍ෙමු. ඔවුන් බොරු කියන බවද ඇතැම් විට ප්‍රකාශ කළ‍ෙමු. එය අපගේ අපරාධයයි. අපගේ අපරාධයයි. අපගේ මහත් අපරාධයයි.

සත්‍යයතාවයේ ආත්මයාණනී

උතුරේ යුද්ධයෙන් පසු මුස්ලිම් හතුරෙකු නිර්මාණය කරන ඉස්ලාම් ෆෝබියා දේශපාලන ව්‍යාපෘතියේද අපි කොටස්කාරයන් වුනෙමු. කතෝලික ප්‍රදේශවල ඉස්ලාම් අයට ඉඩ නොදිය යුතු බව වෛරි දේශනාද රහස් උපක්‍රමද අපි යෙදුවෙමු. එමගින් අප කළේ පාස්කු ඉරුදින ප්‍රහාරයට පාර කැපු, එකවිට සිංහල අන්තවාදයද, මුස්ලිම් අන්තවාදයද පෝෂණය කරන මිනිමරු දේශපාලන සැලසුමේ කොටස්කරුවන් වීම බව අපි දැන් පසක් කර ගනිමු.

යුක්තිය උදෙසා පීඩා විඳින්නන් භාග්‍යවන්ත යැයි කී ජේසුනි.

අපි අයුක්තිය රජ කරවන ඊනියා දේශප්‍රේමි ගැලවුම්කරුවන් බලයට ගෙන ඒම සඳහා උපකාර කළ‍ෙමු. ඔවුන්ගේ වරදාන ලබාගනිමින් ඔවුන්ට ආ වැඩුවෙමු. ඒ සියල්ලේ ප්‍රතිඵලය ලෙස පාස්කු ඉරුදින ප්‍රහාරය සිදු වු බැවින් අපිදු එහි වක්‍රාකාර වැරදිකරුවන් වෙමු. ඒ පාපය ගැන මනස්තාපය වන අපි අලුත් කිතුනු ජනතාවත් ලෙස යලි උපදින්නෙමු.

කිතුනු අපිට සිදුවන හිංසා පීඩාවලදි පමණක් නොව, රටේ සියලු පීඩිතයින්ට සිදුවන හිංසා පීඩාවලට එරෙහිව යුක්තිය පතා අරගල කරන ජනතාවක් වෙමු. දැන හෝ නොදැනෙ බලය ලබා ගැනීම උදෙසා යුක්තිය ඉල්ලීම් අරගලය අතීතයේදි භාවිතා වු සේම වර්ථමානයදිත් අනාගතයේදිත් භාවිතා වීමේ උපක්‍රමයට හසුවීමට අපි ඉඩ නොදුන මැනව.

බටහිර හා කලාපීය බලවතුන් විවිධ සංවිධාන, ව්‍යාපෘති හරහා ඊළග බල ව්‍යාපෘතියට අපව දක්කාගෙන යාමේ සැලසුම්වලට හසු වීමට අපි ඉඩ නොදෙනු මැනව.

නූතන හෙරොද්ලාගේ පිලාත්ලාගේ මුහුණ්වල නොරැවටි ඔවුන් ලබාදෙන ආධාර උපකාර, මුදල් ප්‍රදාන, වැරදාන, වලට ගැති නොවි, ඔබගේ ජනතාව මත යැපෙන ඔබ තුළ යැපෙන දිළිඳුන්ගේ සභාවක් වීමට අපිට දිරිය දුන මැනව.

Jesustoday.lk 5 වන වසර 45 වන සතිය 2021 ජනවාරි 16 වන ඉරිදා

Comments powered by CComment