අදට නියමිත පළමු කියවීම විමුක්ති ඇසින් අලංකාරවත් බව ගැන කතා කරයි. අලංකාර දෙපා හිමිවන්නේ වටිනා මිරිවැඩි පළදින මිනිසාට ගැහැනියට නොවේ.

යෙසායා 52/7-16
ක්‍රියා     20/17-18,28,32,36
ශු. ලූක්  16/15-20

අලංකාරවත් මිනිසුන්, ගැහැණුන් වන්නේ කව්ද ? සුන්දර මිනිසුන් ගැහැනුන් වන්නේ කව්ද ?

අප ජීවත්වන්නේ රූ සපුව, ලස්සන, සුන්දරත්වය උත්කර්ෂයට නැංවු සමාජ ක්‍රමයක් තුළය.

ඉහේ සිට දෙපා දක්වා සකල ශරීරය ලස්සන කිරීමට මිනිසුන් දිනකට වැය කරන මුදල ලෝකයේ ප්‍රාථමික අධ්‍යාපනයට වැය කරන මුදල මෙන් විසි ගුණයකට වඩා වැඩි යැයි වසර 10 කට පෙර කරන ලද එක් සමීක්ෂණයකින් හෙළිදරව් කර තිබුණි. අද ඒ තත්ත්වය ඊටත් වඩා වර්ධනය වී ඇතිවාට සැක නැත.

තරුණ රූ රැජින විවාහක රූ රැජින කඩවසම් තරුණයා ආදි බොහෝ තරගද ලොව පුරා පැවැත්වේ. ගිහියන් පමණක් නොව, සරල අල්පේච්ඡ චාම් ජීවිත ගත කිරීමට ප්‍රතඥා දෙන පූජක, පූජ්‍ය. පැවිදි, පිරිමි හා ගැහැනුන් බොහෝ දෙනෙකු ද නිරූපකයින් නිරූපිකාවන් බවට පත්ව සිටිනු දැකිය හැකිය.

අදට නියමිත පළමු කියවීම විමුක්ති ඇසින් අලංකාරවත් බව ගැන කතා කරයි. අලංකාර දෙපා හිමිවන්නේ වටිනා මිරිවැඩි පළදින මිනිසාට ගැහැනියට නොවේ.

සුබ ආරංචි ගෙන එන
සාමය ප්‍රකාශ කරන
යහපත ගැන සුබසුන් පළ කරන
ගැළවීම ගැන ලොවට දන්වන
“නුඹේ දෙවි තුමාණෝ
රජකම් කරන සේකැයි
සියොනට කියන
කඳු මුදුන්හි පෙනෙන
දූතයාගේ පාද කොපමණ
අලංකාර වන්නේද ?

මේ ගීතය අප තේරුම්ගත යුත්තේ නිදහස ළගා වීම පිළිබඳ ගීතයක් ලෙසිනි. බැබලෝනියාවේ විප්‍රවාස ගත වු ඊශ්‍රායල් සෙනඟට නැවත සිය ගැළවීම, නිදහස අයිතිවන බව පවසන දූතයා තරම් අලංකාර කෙනෙක් සිටිද ?

අලංකාරවත් මිනිසුන් ගැහැනුන් යනු බහුජන හිත සුව පිණිස වන පණිවුඩය රැගෙන පාද චාරිකාවේ යෙදෙන්නෝය. ගමනේ යෙදෙන්නෝය. ව්‍යාජ ගැළවීමක් නොව සැබෑ ගැළවීම ගැන සුපුවත ගෙනේන්නෝය.

ගැළවීම ලැබීම යනු ‘සමිදුන් රජ කරන’ ක්‍රමය නැවත ස්ථාපිත කිරීමයි. එනම් අසාධාරණයේ අයුක්තියේ සූරා කෑමේ සමාජ ආර්ථීක දේශපාලන ක්‍රමය වෙනුවට ප්‍රේමය මත පදනම් ක්‍රමය ස්ථාපිත වීමයි.

ඊශ්‍රායල් ජනතාව විනාශ වන්නේ, වහල්බවට පත්වන්නේ ඔවුන් ‘ඔවුන්ගේ දෙවියන්ට පිටුපෑම’ නිසාය.

දෙවියන්ට පිටුපෑම යනු වෙන පල්ලියකට, පන්සලකට යාම හෝ වෙන සභාවකට යාම හෝ පල්ලි නොයාම හෝ නොවේ. දෙවියන්ට පිටු පෑම යනු දෙවියන්ගේ අභිමතය වන ජීවිත ක්‍රමය වෙනුවට මුදල ධනය මුල් කරගත ජිවිත ක්‍රමයට සමාජ ක්‍රමයට නතුවීමය.

ජේසුස් වහන්සේ ලෝව පුරා සකල ජනයාට පවසන්නැයි ඉල්ලා සිටින්නේ ඉහත කී සුපුවතයි. සුබ අස්න යනු එයයි.

ලොව අලංකාරවත්ම මිනිසුන් හා ගැැහනුන් යනු ජනතා විමුක්තිය උදෙසා කැපවු අව්‍යාජ මිනිසුන්ගේ හා ගැහැනුන්ය.

ඔබ එවැන්නෙක්ද ?

ඔබ එවැනි මිනිසුන් ගැහැනුන් අලංකාරවත් අය ලෙසම දකිනවාද ?

Jesustoday.lk 5 වන වසර 45 වන සතිය 2021 ජනවාරි 16 වන ඉරිදා

 

 

Comments powered by CComment