ගිවිසුම පාර්ලිමේන්තුවට, ජනතාවට ඉදිරිපත් කළ යුත්තේ අත්සන් තැබීමෙන් පසුනම් රටේ ඇති ප්‍රජාතන්ත්‍රවාදය යනු විහිළුවක් නොවේද ?

 

ත්‍රිකුණාමලයේ ඇති තෙල් ටැංකි සම්බන්ධයෙන් ඉන්දියන් ඔයිල් සමාගම හා රජය ගිවිසුම් අත්සන් කිරීමට පෙර වහාම එය රටට හෙළි කරන ලෙසත්, ගිවිසුම අත්සන් කිරිම වහාම නතර කරන ලෙසත්, පාර්ශව රැසක් ඉල්ලීම් කළ‍ෝය.

නමුත් ජනවාරි 06 වනදා මුදල් අමාත්‍යංශයේදි ගිවිසුම් ගත වීම සිදු විය.

බලශක්ති අමාත්‍යංශය පවසන්නේ ලංකාවට වඩාත් වාසිදායක ලෙස ගිවිසුම අත්සන් කළ බවත් ත්‍රීමලයේ පවතින තෙල් ටැංකි 99 න් 85 කම පාලනය මේ ගිවිසුම අනුව ලංකා තෙල් සංස්ථාව සතුවන බවත්ය. තව දුරටත් රජයේ පාර්ශවයෙන් කියවෙන්නේ ගිවිසුම ඉදිරියේදි කැබිනට් මණ්ඩලයට, පාර්ලිමේන්තුවට හා ජනතාවට ඉදිරිපත් කරන බවයි.

දේශය සුරැකීමේ ව්‍යාපාරයේ අල්ලේ ගුණවංශ ස්වාමින්වහන්සේ ඇතුළු පිරිසගේ ඉල්ලීම නොසලකා රජය ක්‍රියා කළේ ඇයි ? දේශය රැකගන්නන්ගේ හඬ රජයට අදාල නැද්ද ?

ගිවිසුම පාර්ලිමේන්තුවට, ජනතාවට ඉදිරිපත් කළ යුත්තේ අත්සන් තැබීමෙන් පසුනම් රටේ ඇති ප්‍රජාතන්ත්‍රවාදය යනු විහිළුවක් නොවේද ?

දිගු කලක් අකාර්යක්ෂම පාලනයක් තුළින් දේශයේ සම්පත් විනාශ වීම ඊනියා දේශප්‍රේමි නායකයින් බලයට පත් කිරිමෙන් කළ නොහැකි බව ජනයා තේරුම් ගත යුතුය. 

ත්‍රීමලය තෙල් ටැංකි සංකීර්ණය යනු ආර්ථීකමය ලෙස වැදගත් මහ ධන නිධානයක් පමණක් නොවේ. එය බ්‍රිතාන්‍යයන් ඉදි කලේ ඉන්දීය සාගර‍ කලාපයේ දේශපාලනය බලය තහවුරු කර ගැනීමේදී ත්‍රිකුණාමල වරාය සතු භු දේශපාලන වැදගත්කම සැලකිල්ලට ‍ගෙනය. ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍යයන්ගෙන් එය මිලදී ගත්තේ බ්‍රිතාන්‍ය පවුම් දෙලක්ෂ පනස් දහක් ගෙවෙමිනි. 

රටක ආර්ථීකය යනු ඒ රටේ ජනතාවගේ පැවැත්මේ මූලික කාරණාවය ශුද්ධ වු බයිබලය තුළ මිනිසුන්ගේ මූලික අවශ්‍යතා ඉටුකරන ආර්ථීක ක්‍රමයක් පිළිබද ගැඹුරින් කරුණු දක්වා ඇත. ශ්‍රී ලංකාවේ හා ලෝකයේ පවතින ආර්ථීක ක්‍රමයත්, බයිබලයේ පවසන ආර්ථීක ක්‍රමයත්, විශාල වෙනසක් සහිත ඒවාය.

බයිබලයේ සදහන් වන්නේ නිෂ්පාදන මාධ්‍යයේ පොදු අයිතිය තහවුරු කරන ආර්ථීක ක්‍රමයකි. එය ලාභය මත නොව ප්‍ර‍ේමය මත ආර්ථීක තීරණ ගන්නා ක්‍රමයකි.

ජනතාවගේ ගැළවීමට අදාලව මෙම ආර්ථීක කාරණාව සංවාදයට ලක් කිරීම මුලුමනින්ම අත්හැර දැමු තත්ත්වයක් කිතුනු සභාවන් තුළ දක්නට ලැබේ. එයට හේතුව බොහෝ සභාවන් පවතින ආර්ථීක ක්‍රමය තුළ සිය පැවැත්ම රදවා කටයුතු කිරීමයි. නමුත් එම කාරණය සංවාදයට ලක් කිරීම දැන්වත් ආරම්භ විය යුතුය. ශ්‍රී ලංකාවේ මේ දිනවල කතාවන රටේ සම්පත් විකිනීමේ ක්‍රියාවලින් තේරුම් ගත හැක්කේද, විසදුම් තේරුම් ගත හැක්කේ ද එවැනි ගැඹුරු කථාබහක් තුළිනි. 

Jesustoday.lk 5 වන වසර 44 වන සතිය 2021 ජනවාරි 09 වන ඉරිදා

 

Comments powered by CComment