පොදු ජන විරු දිනය විමුක්තිය උදාකර ගැනීමේදි පීඩිත පොදු ජනතාවගේ වැදගත්කම අවධාරණය කරන, ජනතාව පීඩනයට එරෙහිව කරන අනවරත අරගලය තුළ අප නිරුතුරු සිටිය යුතු බව අපටම සිහිගන්වන දිනයක් වනු ඇති.

 

බොහෝ විට ඉතිහාසය ලියැවෙන්නේ, රජවරු ඇසුරින් පමණක් නොවේ. විකල්ප දේශපාලන ව්‍යාපාර, පක්ෂ, සංවිධාන වල පවා ඉතිහාසය ලියවෙන්නේ නායකයින්, ප්‍රමුඛයින් ඇසුරිනි.

සංවිධානයකට, පක්ෂයට, ව්‍යාපාරයකට අයිති නොවන සාමාන්‍ය මිනිසාව හෙවත් පොදු ජනයාව ඉතිහාසයෙන් සඟවා තැබීමයි බොහෝ දුරට සිදුවන්නේ.

ක්‍රිස්තියානිය ඉතිහාසයේ නිර්මාතෘන් වන්නේ පීඩිත පොදු ජනයා බව පෙන්වා දෙයි. එකී ධාර්මික පදනම තුළ පිහිටා පක්ෂයක. සංවිධානයක, ව්‍යාපාරයක සාමාජීකයෙකු නොවුනද ජන අරගල බිම් මත දිවි පිදු, මහ සම්ප්‍රදායන් විසින් මඟ හැරි ගිය මිනිසුන් හා ගැහැනුන් පිළිම නෙලා නැති-පොදු ජන විරු දිනය තුළ අපි ස්මරණය කරමු.

මෙහිදි අපගේ අවධානයට යොමුවන්නේ සංවිධාන, ව්‍යාපාර පක්ෂ විසින් ස්මරණය කරනු නොලබන ක්‍රි.ව 1900 න් පසු ජනතා අරගල බිම් මත මරා දැමු මිනිසුන් හා ගැහැනුන් ගැනය.

ශ්‍රී ලංකාව අද පවතින අසමත් රාජ්‍යය බවට පත් වීමට මූල හේතුවක් වූ අධිරාජ්‍යවාදය මෙරට පැමිණි දා සිට දකුණේ මෙන්ම උතුරේත් එකී අධිරාජ්‍යවාදින්ට එරෙහිව සිදු කළ අරගල තුළ මිය ගිය දහස් ගණනක් නම් ගම් නොකිය වෙන මිනිසුන් හා ගැහැනුන් අප සඳහන් කරන මේ ප්‍රවර්ගයට අයත් වෙති.

අප මෙහිදි සැලකිල්ලට ගන්නා කාලය තුළ විවිධ ජන අරගල තුළ ඝාතනයට ලක් වූ මෙම වර්ගයේ ගැහැනුන් හා මිනිසුන් සිංහල සමාජය තුළ මෙන්ම දෙමළ සමාජය තුළද සිටිති. උතුරු නැගෙනහිර දෙමළ සමාජය තුළ මෙන්ම කඳුකර, වතුකර දෙමළ සමාජය තුළද සිටිති. මුස්ලිම් සමාජයේද සිටිය යුතුය.

වැටුප් අරගලයක් වේවා, පරිසර අරගලයක් වේවා, වෙනත් අසාධාරණයකට එරෙහි අරගලයක් වේවා ඒ වෙත මෙකී පොදු ජනයා ඇදි එන්නේ හුදු පක්ෂයක, සංවිධානයක සාමාජිකයෙකු, සාමාජීකාවක නිසා නොවේ.

එම ප්‍රශ්නය ඔවුන්ට පීඩාවක් වන නිසාය. ඒ පීඩාවෙන් නිදහස් වීම ඔවුන් ප්‍රාර්ථනා කරන නිසාය. අතපය හකුලාගෙන පැත්තකට වී සිටීම මිනිස්කම නොවන බව දැනෙන නිසාය. නැඟී සිටින තම සහෝදර ජනයා සමඟ තමනුත් සිටිය යුතු බව දැනෙන හැගෙන නිසාය.

ජනතා විමුක්තිය ගැන, සමාජ පරිවර්තනය ගැන මහ ලොකු බරසාර දැක්මක් දර්ශනයක් ඔවුන් සතු නොවුවද අරගල බිම වෙත පැමිණීම ම සුවිසල් මානව ගුණයකි. ඔවුන්ට අප හිස නමන්නේ ඒ උස් මිනිසත්භාවය නිසාය.

මහ වංශය, මහ සම්ප්‍රදාය විසින් නොසලකාහරින චූල යැයි සලකන එවන් මිනිසුන් හා ගැහැනුන් ගැන සාමුහික මතකය වළලා නොදමා ඉදිරියට ගෙනයාම යෝග්‍යය යුතුය. සාධාරණය, ගැළවීම දායකය.

පීඩිත ජනයාට අරගල සටන් ආදියෙන් තොරව ජයග්‍රහණයක් ලබා ගැනීමට නොහැකි බව ඉතිහාසය ඔප්පු කර තිබේ. මිනිසුන් ගැහැනුන් අරගල කරන්නේ ඒ නිසාය. ජනයා පීඩාවට පත් නොවන සමාජ ආර්ථීක ක්‍රමයක් පවතී නම්, ජනතාවට ඉහළ ගුණාත්මක ජීවිතයක්, පරිසරයක් සහතික කොට තිබේ නම් අරගල සටන් අවැසි නොවනු ඇත.

පොදු ජන විරු දිනය ජනවාරි 15 ට ආසන්න සති අන්තයේ සැමරීමට අප යොදාගනු ලැබුවේ කඳුකර ජනතාවගේ අයිතිය වෙනුවෙන් වු අරගලයක් තුළ 1940 ජනවාරි 15 වනදා පොලිස් වෙඩි පහරින් මුල්ලෝයා ගෝවින්දන් ඝාතනය වු දිනය එය වන නිසාය.

පොදු ජන විරු දිනය විමුක්තිය උදාකර ගැනීමේදි පීඩිත පොදු ජනතාවගේ වැදගත්කම අවධාරණය කරන, ජනතාව පීඩනයට එරෙහිව කරන අනවරත අරගලය තුළ අප නිරුතුරු සිටිය යුතු බව අපටම සිහිගන්වන දිනයක් වනු ඇති.

මහ ලොකු දර්ශන නැතිවාට
හදවතේ මිනිසත්කම් පිරුණ
පොඩි නැති මිනිසුන් හැමදාම
අරගල බිම දිවි පිදුවෝය.

පිළිම නෙලා නැතිවාට
විරුවන් වේ ඔබ සැවෝම

යුක්තිය උදෙසා නැගී නැගී
එක රෑනක එක්වෙලා බැඳී
පෙරමුණ ගත්තෝ ඔබයි සදා
ජීවිත පරදුව තබා නොබා

පිළිම නෙලා නැතිවාට
විරුවන් වේ ඔබ සැවෝම

ධනය බලය එක අතට වෙලා
මර්ධන බල ඇණි ලවා ලවා
තළා පෙළා ඔබ මරු දමා
දිනුවේ නැත පැරදුනා විනා.

පිළිම නෙලා නැතිවාට
විරුවන් වේ ඔබ සැවෝම

 

කිතුසර කණ්ඩායම

Jesustoday.lk 5 වන වසර 45 වන සතිය 2021 ජනවාරි 16 වන ඉරිදා

 

Comments powered by CComment