මැවීමේ පළමු කතාව, මැවීමේ දෙවැනි කතාව කියන්නේ ධාර්මික සත්‍යතාවයක් කියන්නට ගොඩනැගු කතා බව අද අපි දන්නවා. ඒ කතා දෙකම හරි විශිෂ්ඨයි. පළමු මැවීමේ කතාවේ ආකෘතිය නොවෙයි. දෙවැනි මැවීමේ කතාවේ තියෙන්නේ. සම්ප්‍රදායන් දෙකකින් ගොඩනැගු ආකෘති. කෙටි කතාමය ගුණය අතින් මැවීමේ දෙවන කතාව විශිෂ්ඨ ලක්ෂණ ඵළ කරනවා.

ඉතා කෙටි විමසුමක්.

මෙය අතිශයින්ම නැවුම් මාතෘකාවක්, මේ මැයෙන් ලංකාව තුළ කෙරෙන පළමු සංකථනය මෙය වනු ඇති.

කෙටි කතාව නම් වු, කවිය තරම්ම සියුම් සාහිත්‍යාංගය ගැන හැඳින්වීමක් ශ්‍රී ලංකාව තුළ සිටින ප්‍රමුඛම කෙටි කථාකරුවෙකුගෙන් අසා දැනගත් ඔබට කිතුනු ලකුණු ඇති කෙටි කතාව ගැන ඉතාම කෙටි අදහස් ස්වල්පයක් ඉදිරිපත් කිරීමයි මගේ උත්සහය.

මේ වන විටත් ඔබ දන්නවා අප ‘කිතුනු ලකුණ’ කියලා කියන්නේ මොකටද කියලා. එය මා නැවත නැවත කිව යුතු නෑ.

ශුද්ධ වු බයිබලය කියන්නේ කෙටි කතා රැසක් තිබෙන පොතක්. එහි ප්‍රාග් ඉතිහාසයට අයත්වන උප්පත්ති පොතේ පළමු පරිච්ජේද දොළහේ කෙටි කතා රැසක් තිබෙනවා. ඒවා තමයි කිතුනු ලකුණ ඇති මුල්ම කෙටි කතා.

මැවීමේ පළමු කතාව, මැවීමේ දෙවැනි කතාව කියන්නේ ධාර්මික සත්‍යතාවයක් කියන්නට ගොඩනැගු කතා බව අද අපි දන්නවා. ඒ කතා දෙකම හරි විශිෂ්ඨයි. පළමු මැවීමේ කතාවේ ආකෘතිය නොවෙයි. දෙවැනි මැවීමේ කතාවේ තියෙන්නේ. සම්ප්‍රදායන් දෙකකින් ගොඩනැගු ආකෘති. කෙටි කතාමය ගුණය අතින් මැවීමේ දෙවන කතාව විශිෂ්ඨ ලක්ෂණ ඵළ කරනවා. මේ ඒ ගැන විවරණය කරන්න වෙලාවක් නොවෙයි. නමුත් කිතුනු ලකුණ ඇති කෙටි කතාව ගැන ආදර්ශයක් එතැන තියෙනවා. කායින් හා ආබෙල්ගේ කතාව ගන්න. බාබෙල් කොත කතාව ගන්න. ඒවායේ කෙටිකතාමකත්වය හඳුනාගන්න. ඒ ගැන කතාව එතනින් තවත්වල මම ලෝක සාහිත්‍යය දෙසට හැරෙන්නමි.

කෙටි කතාව නම් සාහිත්‍යාංගය විශ්ව සාහිත්‍යය තුළ සැලකිය යුතු තරමින් ක්‍රිස්තියානි පසුබිමෙන් පෝෂණය වෙලා තිබෙනවා. විශ්ව සාහිත්‍ය තුළ ඒ ලකුණ සෙවීම පර්යේෂණ ග්‍රන්ථ රාශියකින්වත් නිම කළ නොහැකියි.

සිංහල බසින් විතරක් ලියන කියවන අයට මේ විශ්ව සාහිත්‍ය කියවන්නේ ලැබෙන්නේ අඩුවෙන්. සිංහලයට පරිවර්තනය වූ අල්පයක් කෙටි කතා වලින් පමණයි ඔවුන්ට මෙය රස විඳීය හැක්කේ. එහිදි අපිට මුලින්ම හමුවන්නේ රුසියානු සාහිත්‍යය. රුසියානු සාහිත්‍යයේ ඉන්නවා දැවැන්ත කෙටි කතාකරුවන්. ඒ අතරින් ඉදිරියෙන්ම ඉන්නවා නිකොලෝව් ගොගොල්. ඇන්ටන් චෙකොෆ් ඉන් පස්සේ ලියෝ තෝල්ස්තෝයි. ඔහු ක්‍රිස්තියානි සම්භවයක් සහිත ලේඛකයෙක්.

ඔහු ගැන මහාචාර්ය සුචරිත ගම්ලත් මෙහෙම කියනවා.

“තෝල්ස්තෝයි රුසියාවේ රදළ පන්තියේ උපන්න පුද්ගලයෙක්. ඔහු වාසය කරපු මන්දිරය තමා යස්නායා පොල්යානා, ඇස් දිස්ටි මානයේ පැතිර තිබෙන්නාවු වතුපිටි කුඹුරු ගව මහීෂාදි සම්පත්වලින් ආඪ්‍ය වූ නානා ප්‍රකාර මන්දිර තට්ටු මාල යනාදියෙන් සමන්විත වු මෙම මන්දිරයේ වාසය කරපු කෙනෙක් විතරක් නොවෙයි. ඔහු තෝල්ස්තෝයිගේ මුතුන් මිත්තෝ පරම්පරා දහයක්, දස මුතු පරම්පරාවක සිට ශ්‍රමය ස්පර්ශ කරලා නැහැ. ඒ තෝල්ස්තෝයිට තමයි පෙනුනේ.

රුසියාවේ කෙරීගෙන යන ජුගුප්සාජනක ගණුදෙනුවේ, සූරාකෑමේ නිරුවත.. ඔව්, තෝල්ස්තෝයිට සාර් රාජ තන්ත්‍රයේ තිබෙන්නාවු ජුගුප්සාජනකභාවය පෙනිල, තමාගේ කෘති තුළින් ඒක නිර්දයව හෙළිදරව් කළා....

තෝල්ස්තෝයි විප්ලවවාදියෙක්ද ? නෑ.

තෝල්ස්තෝයි සමාජවාදියෙක්ද ? නෑ.

තෝල්ස්තෝයි ක්‍රිස්තියානිකාරයෙක්ද ?

තෝල්ස්තෝලයි හිතුවේ මේ ඇති වෙලා තියෙන දුෂ්ටකම්වලට මේ කැත වැඩවලට එකම විසඳුම නම් විවේචනය නමැති අවියෙන් සන්නද්ධව සකලවිධ ප්‍රේමයේ උල්පත වූ දෙවියන්වහන්සේ අබියස නැගී සිටිමයි කියලා... දෙවියන්වහන්සේ ඉදිරියේ විවේචනයෙන් සන්නද්ධව නැගි සිටි ඔහු ජනතාවට කිව්වා දෙවියන්වහන්සේ කෙරෙහි භක්තිය ඇති කරගන්නාවු සුවිශේෂ අල්පේවිඡ දෘෂ්ටියෙන් යුතු අපිස් ගුණයෙන් යුතු දහමක් සාදාගෙන ඒක ඇදහූවොත් මේ දෝෂ නැති කරගන්න පුළුවන් කියලා”.

ඒ උපුටා ගැනීම තෝල්ස්තෝස්ගේ සාහිතයේ එන කිතුනු ලකුණ හඳුනා ගැනීමට උපකාර ලෙයසි. මා මෙහිදි ඔහුගේ කතා කියවන්න අදහස් කරන්නේ නැහැ. කැළණිය විශ්ව විද්‍යාලයේ ක්‍රිස්තියානි අංශයේ ක්‍රිස්තියානි සාහිත්‍ය යටතේ තෝල්ස්තෝයිගේ මිනිසෙකුට කොතරම් ඉඩම් ප්‍රමාණයක් අවශ්‍ය ද කියන කෙටි කතාව ඉගැන්වෙනවා. මේ කෙටි කතාව තුළ බුදු දහමේ සාරයද කැටිව තිබෙන බව කිව හැකියි.

තෝල්ස්තෝයිගේ කෙටි කතා කියවන්න ආරාධනා කරමින් මම කැමැතියි ඔබව පශ්චාත් නූතන විශ්ව සාහිත්‍යයේ කෙටි කතා වෙත රැගෙන යන්න. ලතින් ඇමරිකානු, අප්‍රිකානු, ආසියනු ශ්‍රී ලාංකේය කිතුනු ලකුණු ඇති කෙටි කතා වෙත.

ක්‍රිස්තියානියේ විමුක්ති හරය සමඟ මුසුවුනු විශිෂ්ඨ කෙටි කතා අපිට හමුවෙනවා. ලතින් ඇමරිකානු සාහිත්‍යය තුළ. ගාර්ෂියා මාර්කෝස්ගේ කෙටි කතාවක් පමණක් මම නිදසුන් කරගන්නවා. ගිර්ෂියා කොලොම්බියාවේ උපත ලද්දෙක්. ‘ලතින්’ ඇමරිකාව කියන නම ම එන්නේ ලතින් භාෂාව කතා කරන රටවල් වීමෙන්. එහෙම වුණේ යුරෝපීය යටත් විජිතවාදින් ඒ රටවල් යටත්කරගෙන මිනිසුන් ක්‍රිස්යාතිනියට හැරවු නිසා. එහි තිබෙන අකිතුනු බව අපි වෙනම සලකා බැලිය යුතුයි.

ටෙනිසන් පෙරේරා විසින් පරිවර්තික ‘ගර්ෂියා මාර්කෝස්ගේ කෙටි කතා’ නම් පොතේ එන ‘අති විශාල පියාපත් ඇති ජරපත් මහල්ලා’ කෙටි කතාව ඉතා ගැඹුරු ක්‍රිස්තියානි අවලෝකනයකට මග පාදනවා. ගාර්ෂියාගේ ඉන්ද්‍රජාලික යථාර්ථවාදි රීතිය සමඟ බයිබලීය එළිදරව් සාහිත්‍යයේ ලක්ෂණ බැදි තිබෙනවා.

කතාවේ තියෙන්නේ නිවසක් අසල මඩ ගොහොරුවේ වැටි සිටින විශාල අත්තටු තිබෙන ජරාපත් මහල්ලෙක් නිවැසියන්ට හමුවීම හා ඉන්පසු ඇති වන සිද්ධීන්. මේ මහල්ලාව ගෙවැසියන් දමන්නේ කුකුළු කූඩුවේ. දැන් ගමපුරා ලැව් ගින්නක් පැතිරෙනවා. මේ විශ්මිත සත්වයා ගැන. අසල්වැසි කාන්තාවක් කියනවා සුර දූතයෙක් කියලා. එතැන් සිට ප්‍රාතිහාර්ය සොයන මිථ්‍යාවට ලැදි මිනිසුන්ගේ හැසිරීම ගර්ෂියා ක්‍රිස්තියානි පසුබිමක් මත නිර්මාණය කරනවා. සියල්ලේ අවසාන අර්ථ කථන දෙන්නා මීසමේ පියතුමා එනවා. එය ගර්ෂියා ප්‍රතිනිර්මාණය කරන අපුරුව බලන්න.

“ගොන්සාගා පියතුමා හතට පෙර සම්ප්‍රාප්ත වූයේ සැක සහිත වු අරුම ප්‍රවෘත්තියෙනි. ඒ වේලාව වන විට බලාහුන් අය හිමිදිරියේ දීමෙන් කතා අඩුකර මේ අඩස්සිගත ප්‍රාණියාගේ අනාගතය ගැන විවිධාකාරයේ අනුමත ගොඩනඟමින් සිටියහ. ඒ අතර හුන් සාමාන්‍ය අයෙක් මොහු ලෝකයේ ලොක්කා ලෙස නම් කිරීම යෝග්‍ය යයි සිතුවේය. සියලු යුද්ධ දිනු තරු පහේ පටිගැසු ජනරාල්වරයෙකු බවට ඔහු පත් කළ යුතු යයි සමහරු සිතූහ. සමහර මනෝරාජිකයින් බලාපොරෙත්තු වූයේ ලොව වෙනස් කිරීම සඳහා පෘථිවයට තටු සහිත ඥානවන්ත ජාතියක් බෝ කිරීම පිණිස සතුන් ප්‍රජනනය කරන පට්ටියක තැබිය හැකි බවයි. නමුත් ගොන්සාගා පියතුමා පූජකයෙකු වී ලෝගුව ඇඳීමට පෙර ගස් කපන්නෙකු වී සිටියේය. කූඩු අසල සිට නැගු ප්‍රශ්න විචාරිමකින් ඉක්බිති පියතුමා එහි දොර අරින ලෙස එවේලේ ම දැනුම් දුන් විට දයාර්ද්‍ර මිනිසා සමීපව දුටුවේ අලංකාර කුකුළන් අතර සිටි විශාල මහළු කිකිළියක ලෙසයි. ඔහු මුල්ලක වැතිරි හිරු එළියෙන් අත්තටු වේලාගනිමින්, පලතුරු ලෙලි අතර හා අලුයම විසි කරන ලද උදේ කෑම බීම අතර සිට්යේ ය. ගොන්සාගා පියතුමා උදෑසන කුකුළු කූඩුවට ගොස් ඔහුට ‘සුබ උදෑසනක් වේවායි’ ලතින් භාෂාවෙන් සුබ පැතු පසු හේ තමාගේ පුරාවිදු ඇස විහිදුවා ස්වකීය භාෂාවෙන් මේ ලෝකයට පරසක්වලින් ආවෙකු බව කොඳුරා කීවේය. දෙවියන් වහන්සෙගේ භාෂාව හඳුනන්නේ නැති නිසා හෝ දෙවියන් වහන්සෙගේ අනුගාමිකයින්ට සුබ පතන ආකාරය නොදන්නා නිසා මීසමේ පියතුමාට ප්‍රථම වතාවට වට්ටාඩියා ගැන සැකයක් මතු විය.”

ඔබට මුළු කතාවම කියවන්න ආරාධනා කරලා මම අප්‍රිකාවට පනිනවා. අප්‍රිකානු සාහිත්‍යයේ පුරෝගාමියෙක් තමයි දැඩි ක්‍රිස්තු භක්තික පවුලකින් පැවැත එන නයිජිරියානු ලේඛක චිනුවා අචිබේ.

අපි දන්නවා අප්‍රිකාව ක්‍රිස්තියානි වන්නේ යටත් විජිතවාදයේ තුන්වෙනි රැල්ල එක්ක මුළු අප්‍රිකාවම අධිරාජ්‍යවාදින් බෙදාගන්නවා මිෂනාරින් ගිහින් ගෝත්‍රික ආගම් මිථ්‍යා දෘෂ්ටින් සේ පරිභවයට පත් කරලා ක්‍රිස්තියානිය පතුරනවා. අප්‍රිකානු සමාජය තුළ පැරණි අගාම් හා නව ආගම අතර ගැටුම තිබෙනවා. එය ඉතා ප්‍රබල ලෙස තම සාහිතය කෘති තුල මතු කරන්නක් තමයි අචිබේ. ඔහුගේ නවකතා වල කිතුනු ලකුණ ගැන කිතුසර සාහිත්‍ය අතිරේඛයේ අප ලියා තිබෙනවා.

කාලය ගැන හිතලා ඔහු ලියු කෙටි කෙටි කතාවක් අප මෙහිදි සාකච්ඡා කරන්නේ කුසුම් දිසානායක පරිවර්තනය කළ ‘නිල් පැහැ බරණීය’ කෙටි කතා සංග්‍රහයෙන්. ඒ කතාවේ නම ‘මළවුන්ගේ අඩිපාර’ උන්නතිකාමි තරුණ මුල් ගුරුවරයෙක්. ග්‍රාමයේ මිෂනාරි පාසලකට පත් වී එනවා. ඔහු සිටින්නේ සුපිරි පාසලක් ගොඩනගලා තමා සුපිරි වැඩ්ඩෙක් බව පෙන්වන විජිහිෂාත්මක වුවමනාවෙන්. මේ කතාව තුළත් පෙර මා කී දේ තිබෙනවා.

එනම් ස්වදේශීකයින්ගේ පැරණි ආගම් හා විජිතවාදින්ගේ නව ආගම අතර ගැටුම. ඒ මිනිසුන්ගේ අධ්‍යාත්මය එක පැහැර මිථ්‍යා දෘෂ්ටියක් සේ නොසලකා හැරීමෙන් ක්‍රියාවලිය හා එහි විපාකය. ස්කෝලේ මිදුල හරහා අත් හැර දැමු සොබාවය අඩි පාරක් තියෙනවා. ඒක ගමේ පූජා ස්ථානය, ඒ කියන්නේ ඒගෝල්ලන්ගේ මළවුන් වළදාන තැන සමග ගම සම්බන්ධ කරන අඩිපාලම. මුල් ගුරුවරයා ඒ අඩිපාර වහලා දානවා. එතැන් සිට සිදු වන දේ කතාවෙන් අපට ඉදිරිපත් කරනවා.

"දින තුනක් ගත වී ගියාට පසු අනි ගමේ ප්‍රධාන පූජකයා ප්‍රධානාචාර්යතුමා බැහැ දැකීමට පැමිණියේය. ඔහු මඳක් කුදු ගැසී ඇවිදින්නා වු මහලු පුද්ගලයෙකි. ඔහු ශක්තිමත් හැරමිටියක් ගෙන ඇවිද්දේය. කතා කරන අතර එයින් වරින් වර බීමට ඇනීමට ඔහු පුරුදු ව සිටියේය."

සාමාන්‍ය පිළිසඳර කතාවෙන් පසු ඔහු, ‘අපගේ ප්‍රවේණි උරුමය වු අඩිපාර මේ ළග දී වහලා දාලා කියලා මට දැන ගන්ඩ ලැබුණා. යියි කීය.

‘ඔව්’ ඕබි මහතා පිළිතුරු දුන්නේය.

‘අපේ පාසලේ මිදුල මිනිසුන්ට මහා පාරක් කරගන්ඩ ඉඩ දෙන්ඩ බැහැ’

‘මේ අහන්ඩ මගේ පුතේ’ තම හැරමිටිය බිමට අනිමින් පූජකයා කීය.

‘පුතා ඉපදෙන්ඩත් කලින්, පුතාගේ තාත්තා ඉපදෙන්ඩත් කලින් ඉඳලා මේ අඩිපාර තිබුණා. මේ ගමේ මුළු ජීවිතයම රැඳී පවතින්නේ මේක මත. අපේ මළගිය නෑයෝ පිටත ව යන්නේ ඔය අඩිපාරෙන්. අපේ මුතුන් මිත්තෝ අපි ළඟට එන්නේත් ඕකෙන්. ඊටත් වඩා වැදගත් වෙන්නේ ඉපදෙන්ඩ එන ළමයින්ගේ අඩිපාරත් ඒක”

ඕබි මහතා තෘප්තිමත් සිනහවකින් යුතු වඅසාගෙන සිටියේය.

’මේ ඉස්කෝලේ එක ම අරමුණ’ පූජකයාගේ කතාව අවසානයේදී ඔහු කතා කළේය.

‘ඔය වගේ අදහස් සම්පූර්ණයෙන් ම නැති කරලා දාන එකයි. මැරුණ මිනිසුන්ට අඩිපාරවල් උවමනා කරන්නේ නෑ. ඒ මුළු අදහසම සිතින් මවා ගන්න දෙයක්. අපේ යුතුකම ඔය අයගේ දරුවන්ට මේ වාගේ අදහස්වලට සිනාසෙන්ට උගන්වන එකයි.”

පරම්පරා ගාණක මිනිසුන්ගේ සංස්කෘතික ජීවිතය එක පාරට වෙනස් කරන්නට බෑ. ඒ වගේ ම ඒ වෙනස වෙනස් කිරිමේ පිටුපස තියෙන්නේ සාමුහිකත්වයේ ප්‍රහර්ෂය වෙනුවට පෞද්ගලික දියුනුව පිළිබඳ අපේකෂාව නම් තත්වය තවත් බරපතල වෙනවා. ස්වදේශික ජනයා පසුවදා මල් වැට කඩා දමනවා පමණක් නොව පාසැල් ගොඩනැගිවලට ද හානි කරනවා. පාසලට පැමිණිනෙන සුදු ජාතික පරීක්ෂකවරයා අලුත් ප්‍රධානචාර්යවරයාගේ නොමගිය උනන්දුව නිසා පාසලත් ගමත් අතර වර්ධනය වන ගෝත්‍රික කැරලි සහගත තත්වය ගැන වැඩි බරක් යොදමින් ඔහු නිර්දය වාර්තාවක් ලියු බව පවසමින් කතාව අවසන් වෙනවා.

ඊළට අපි හැරෙමු ආසියාවට. අපේ අසල්වැසි ඉන්දියාවට. ලංකාවේ ක්‍රිස්තියානියටද බොහෝ නෑකම් තියෙන්නේ ඉන්දියාව සමග. කේරළය, ගෝව සමග.

කේරළයේ උපත ලද මලයාලම් ලේඛක පෝල් සෙකරියා කිතුනු සම්භවයක් සහිත ලේඛකයෙක්. ඔහුගේ බොහෝ නිර්මාණ තුළ කිතුනු ලකුණ සංලක්ෂීතයි. ගුණතිලකගේ මැටියගනේ විසින් පරිවර්තිත ඔහුගේ දෙවියන්ට ස්තූති වේවා කෙටි කතා සංග්‍රහය තුළ එන දෙවියන්ට ස්තූතියි වේවා ‘කවුරු දනීද’ ‘ජේසුගේ අක්කා අන්නම්මා’ ‘නත්තල් කතාවක්’ වැනි කතා බොහෝමයක් ඒ බව සනාථ කරනවා.

කවුරු දනීද. ජේසුගේ උපත පසුබිමේ හෙරොද්ගේ අනින් සිදු වන බිළිඳු ඝාතනයකට සහභාගි වන සොල්දාදුවෙක් ඇසුරෙන් ලියවෙන්නක් ‘දවසේ ඝාතක රාජකාරිය අහවර කර වෙහෙස නිවා ගැනීමට ඔහු යන්නේ ගණිකා නිවාසයකට. ඒ ගණිකා නිවාසය තුළ ජේසු බිළිඳා ආරක්ෂා වී සිටිනවා. ජේසු නම් ගැලවුම්කරු ලොකු මහත් වී ලිංගික සේවා සපයන්නියන්ට මෙන්ම සොල්දාදුවන්ට ද ගැලවීම මාර්ගය කියලා දේවි යන්න කතා ව අවසානයේ හැඟ වෙනවා. විශිෂ්ඨ පරිකල්පනයක් සහිත ප්‍රතිනිර්මානයක්.

ජේසුගේ අක්කා වන අන්නම්මා ගුරුතුමිය ඉන්දීය ගැමි ජන දිවියේ වැඩවසම් අගතීන් අතර ක්‍රිස්තියානිය පවතින ආකාරය අතිශය භාව පූර්ණ හා අර්ථ පූර්ණ ලෙස සිත්තම් කරන කෙටි කතාවක්.

මේ බලන්න කතාවේ ආරම්භය.

පවුලේ වැඩිමලා ලෙස හත්දෙනෙකුගේ යුත් පවුලක බර කර ගසන ඒ නිසා ම අවිවාහකව ජීවිතයේ හතරවන දශකය අගට පැමිණි සිටින රූපශ්‍රියෙන් අග තැන් අන්නම්මා ගුරුතුමිය මහ සිකුරාදා දිනයක මිය ගිය පුවත කතාව ආරම්භ කරනවා. එය ජේසුගේ අක්කා වන්නේ කොහොමද ?

‘තම තිස්තුන්වැනි උපන් දිනයේදී ඕ ජේසුන් ඇමතුවාය. අද ඉඳලා ඔයා මගේ මල්ලී. ඒ කියන්නේ ඔයා මැරුනේ මගේ වයසේදී. ඔයා හැමදාම තිස්තුනේ. මම ඔයාට වඩා වැඩිමහල්.‘

අන්නම්මාට තිබෙන්නේ ජේසු සමග ඉතා කිට්ටු සහෝදර සබැඳියාවක්. පවුල වෙනුවෙන් වැඩිමහල් දියණිය ලෙස තම මුලු වැටුප සම්පූර්ණයෙන්ම ගෘහ මූලික තාත්තාට දි අන්ත දුප්පතෙකු සේ ජීවත් වන ඇය විවාහය පිළිබඳ තම හැගීම් සිතුවිලි සගවා ගන්නේ සම්ප්‍රදායික පවුල් සංස්ථාවේ අගතීන්ට යටත්වයි. ඇය ජේසු එක්ක හැගීම් බෙදා ගන්නවා. ඇතැම් විට ජේසුන්ව විවේචනය කරමින්,

“හැම කෙනෙක්ම දන් දෙන්ට ඕනෑ කියා ඔයා දේශනා කර තියෙනවා. නමුත් ඔයා දන්නවා මට මුදල් නැති වග. මට එහෙම තිබුණා නම් දුප්පතුන්ට හුගාක් පරිත්‍යාගිශීලි වෙන්න තිබුණා. මොකද මම අවිවාහක නිසා” අනතුරුව සියුම් සිනහවක් නගා ගන්නා ඇය මෙසේ අසන්නීය. ‘නමුත් ඔය දේශනා කරන ඔයා කවදාද දන් දුන්නේ ? මොකෝ ඔයාට මුදල් තිබුණායැ. ඔයා හරඹ කළේ වචන වලින් පමණයි. ඔයාට තිබුණේ ටිකක් ප්‍රේමයත් එක්ක කෝපයක් පමණයි. එච්චරයි දෙන්න තිබුණේ. ඔයා මිනිසුන් අල්ලා ගත්තේ වචන දැලකින්’ අන්නම්මා තමාගේ මේ පුදුමාකාර සිතුවිලි කිසි දිනෙක පව් සමා කිරීමේදි සඳහන් නොකළාය.“

පෝල් සෙකරියාගේ කතා කියවන්න ආරාධනා කරමින් ලංකාවට එන්නම්. කිතුනු ලේබලය යටතේ ලියන ලේඛකයින්ගේ කෙටි කතා තිබෙනවා. එහි කිතුනු ලකුණ තිබුණත් කිතු විමුක්ති දැක්මවත් කෙටි කතාමය ගුණයක් අල්පයි. පොදු සිංහල සාහිත්‍ය තුළ කිතුනු ලකුණු ඇති කෙටි කතා ශානරය මුද්‍රා තබන්නේ මංජුල වෙඩි වර්ධන. ඔහුගේ මේරි නම් වු මරියා කෙටි කතා සංග්‍රහය තහනමට ලක් වෙනවා. ඊට පස්සේ ‘ශුද්ධෝ වු ජුදාස්’ ඒ ගැන විවරණය කරන්න වෙලාව ගන්නේ නෑ. ඒවා කියවන්නට ඔබට ආරාධනා කරන ගමන් මේ කතාවේ නිමාවක් තබන්න හිතනවා.

සිංහල කෙටි කතාවේ පතාක යෝදයෙකුටයි අද ඔබ ඇහුම්කන් දුන්නේ. ජයතිලක කම්මැල්ලවීර, වගේ ම අජිත් තිලකසේන, ලියනකේ අමරකීර්ති, නිශ්ශංක විජේමාන්න, කීර්ති වැලිසරගේ වැනි නූතන කෙටි කතාකරුවන් සේම සුමුදු නිරාගී සෙනෙවිරත්න වැනි කෙටි කතා කාරුණියන්ගේ කෘති ද කියවන්න. ඉන් අදහස් කරන්නේ කියවීම ඒ අයට විතරක් සීමා කරන කියන නෙමෙයි. නමුත් සමකාලීන සමාජ දේශපාලන සංස්කෘති සංදර්භය තුළ කෙටි කතා ලිවීම හඳුන ගන්න ඒ කියවීම ඔබට උදව් වේවි.

කිතුනු සම්භාවයක් සහිත මෙතන ඉන්න බහුතරයට අයත් ඔබට ඇතුලාන්ත තල්ලුවක් ඇති යම් කතාවක් ලියන්න ඒ කතාව සංස්කෘතික පසුබිම තුළ ක්‍රිස්තියානිය තියෙනවා නම්, නිරායාසයෙන් මතු වේවි ක්‍රිස්තියානි ලකුණ. අන්තර්ගතයට අනුව ආකෘතියක් සොයා ගන්න එක ඔබේ පරිකල්පනය තුළ ඉබේ ම වාගේ සිදු වේවි. ආකෘති හරඹ ගැන ලොකුවට හිතන්න අවශ්‍ය නැහැ. ඉතිං අපේ සංවාදය අපේ අධ්‍යයනය අපේ කියවීම ඉදිරියට ගෙනියමු. ඔබ කෙටි කතා ලියුවත් නැතත් ඒ අභ්‍යාස විසින් ඔබව ආධ්‍යාත්මිකව වර්ධනය කරනු ඇති.

Jesustoday.lk 5 වන වසර 13 වන සතිය 2021 මැයි 30 වන ඉරිදා

 

Comments powered by CComment