විචාරකයාගේ කාර්යභාරය වන්නේ කලාකරුවාත් රසිකයාත් අතර හෘදය සංවාදය ඇති කිරිමය. රසිකයා වඩා සුසංවේදී ජිවිතයක් වින්දනය කිරිමට හැකියාව ඇති වඩා සංවර්ධිත ආධ්‍යාත්මයක් ඇති පුද්ගලයෙකු බවට පත් කළ යුතුය.

සාහිත්‍ය විචාරය

සාහිත්‍ය නම් වූ විසල් විෂය ක්ෂේත්‍රයේ එක් අංශයක් වන විචාර කලාව වර්ථමානය වන විට අප රට තුළ ඇත්තේ ඉතා පිරිහිණු තත්වයකය. ක්‍රිස්තියානි සාහිත්‍ය හා කලා ක්ෂේත්‍රය තුළ විචාරයක් ඇත්තේම නැති තරම්ය. ඔබ පසුගිය වසර පහක කිතුනු ක්ෂේත්‍රයේ නිල පුවත්පත් සඟරා අරන් කියවා බලන්න විචාරයක් කිව හැකි කිසිවක් ඔබට හමුනොවනු ඇත. යම් කෘතියක් ගැන හැඳින්වීම් සටහනක් හෝ කියවීමක් මිස විචාරයක් හමුවේ නම් එය ඉතා දුලභය.

නමුත් ජේසුස්වහන්සේ විචාරශීලි දැකීම මිනිසුන් තුළ ගොඩනැගීමට ක්‍රියාකල මහ පුර්ෂයෙකි. විචාරශීලි රසිකයෙකු සහෘදයෙකු බිහි කිරිමේ සාහිත්‍ය හා කලා විචාර දූත සේවාව දේව කැඳවීමකි. එය සාහිත්‍ය කලාවන්ගේ දියුණුවට පමණක් නොව මානව සංහතියෙන් සොබාදහමෙන් යහපැවැත්ම උදෙසා අත්‍යාවශ්‍යය වන්නකි.

අප ප්‍රථමයෙන් විචාරය යන්නෙහි අදහසක් විචාරකයාගේ භූමිකාව කුමක්ද යන්න විමසා බලමු. මෙහිදී අප දැනුවත්ව උපුටා ගන්නේ ලාංකික විචාර කලාව තුළ වාද විවාද වලට තුඩුදුන් විචාර කලාවේ පෝෂණයට දායක වූ කීප දෙනෙකුගේ අදහස් හා එක් විදේශීය සමකාලීන විචාරකයෙකුගේ අදහස්ය.

සිංහල සාහිත්‍යය ක්ෂේත්‍රයේ පුරෝගාමි සාහිත්‍යධරයෙකු වූද, විචාරකයෙකු වූද මාර්ටින් වික්‍රමසිංහයන් ‘විචාරය’ දකින්නේ මෙසේය.

“සාහිත්‍ය කලා කෙතෙහි උපදින අස්වැන්න අතර ඉතා බහුල වන බොල් බැහැර කළ හැක්කේ විචාරය නැමැති කුල්ලෙනි.”

මේ අනුව විචාරයේ කාර්යභාරය වන්නේ නොබොල් සාහිත්‍යය කෘති මොනවාද බොල් සාහිත්‍ය කෘති මොනවාද යන්න හඳුනා ගැනීමට උපකාර කිරිමයි. වික්‍රමසිංහයෝ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ සාහිත්‍යධරයෙක් වන්නේ විශ්ව විද්‍යාල ශාස්ත්‍රීය අධ්‍යාපනයකින් නොවේ. හැදැරිමෙනි. පසු කලෙක එතුමා ජාතිකවාදී හා බෞද්ධ සාහිත්‍යය විචාර විධි ක්‍රමයක් ප්‍රවර්ධනය කිරිමටද උත්සහ ගත්තෙකි.

පේරාදෙණි විශ්ව විද්‍යාලය (පේරාදෙනි ගුරුකුලය) ඇසුරින් බිහි වූ සාහිත්‍ය කලා විචාරයේ පුරෝගාමි ප්‍රකාශකයා වූ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර මෙරට විචාර කලාවට දැනුවත් සම්ප්‍රදානයක් එක් කළේය. එතුමා විසින් රචිත ‘කල්පනා ලෝකවාදය’ ග්‍රන්ථය පසු කාලීනව ජනතාවාදි හා මාක්ස්වාදි කලා විචාරකයින්ගේ දැඩි විවේචනයට ලක්විය. කීර්ති බාලසූරිය හා සුචරිත ගම්ලත් විසින් "කල්පනා ලෝකවාදය, සාහිත්‍ය කලා හා මාක්ස්වාදය" නමින් වූ ප්‍රතිචාරය නිසා ඇති වූ විවාදය මෙරට සාහිත්‍යය කලා විචාරයේ ප්‍රගමනයට දායක විය. කල්පනා ලෝකවාදය කෘතියේ පසුව කළ සංස්කරණයකදී සරච්චන්ද්‍රයන් විචාරය ගැන මෙසේ අදහස් දක්වයි.

“අවසාන වශයෙන් කලා කෘතියක් අගයනු ලබන්නේ එයින් මනුෂ්‍යාගේ අභිවෘද්ධිය සැලසේද, ඔහුගේ ඥාන වර්ධනය සිදුවේද, උසස් පුරුෂාර්ථයන් කරා ගෙනයාද යනාදිය සළකා ගෙනය.”

කල්පනා ලෝකවාදය තුළ සරච්චන්ද්‍රයන් මතු කළ අදහස සාහිත්‍ය කලා විචාරයේ රසවාදය සමඟ සමාන්තරව යමින් සාහිත්‍ය හා කලාවන් මනස මුල්කරගෙන උත්පාදනය වන මානසික නිෂ්පාදනයන් යන්නයි. ඔහු එකල විප්ලවාදී කොමිනියුස්ට් පක්ෂය හරහා මතු වූ මාක්ස්වාදී විචාර කලාව විසින් භෞතිකවාදි පදනමක් මත සාහිත්‍යය කලා විචාරයේ යෙදීම විවේචනයට ලක් කළේය.

අප දැන් අවධානය යොමු කරමු සරච්චන්ද්‍රයන්ට පිළිතුරු සැපයු මාක්ස්වාදි විචාරය උදෙසා පෙනී සිටි සුචරිත ගම්ලතුන් විචාරයේ කාර්යභාරය ගැන දක්වන් අදහස් වෙත.

“විචාරකයාගේ කාර්යභාරය වන්නේ කලාකරුවාත් රසිකයාත් අතර හෘදය සංවාදය ඇති කිරිමය. රසිකයා වඩා සුසංවේදී ජිවිතයක් වින්දනය කිරිමට හැකියාව ඇති වඩා සංවර්ධිත ආධ්‍යාත්මයක් ඇති පුද්ගලයෙකු බවට පත් කළ යුතුය."

ගම්ලතුන් පවසන්නේ විචාරකයාගේ කාර්යභාරය වන්නේ නිර්මාණ කරුවා හා රසිකයා අතර හෘදය සංවාදයක් ඇති කිරිම බවයි. විචාරය මගින් රසිකයාට නිර්මාණයේ ගැඹුරට යාමට නව දොරටු විවෘත කරනු ලබයි. ඉතා සරලව මෙය ඔබ අත්දැක තිබෙනු නිසැකැයි. ඔබ කාලයක් පුරා ඇළුම් කළ ගීතයක් පිළිබඳ ඔබ ඇසු විවරණයක් නිසා ඒ ගීතයේ ආත්මය හඳුනා ගැනීමට හැකිවීමෙන් එය වඩලාන් විදීමටත් ඉන් විශද වන ආනන්දය හා ප්‍රඥාව වඩලාත් අයිතිකර ගැනිමටත් ඔබට හැකි වූ අවස්ථා සිහිපත් කරන්න.

නිර්මාණකරුවා හා රසිකයා අතර වන මේ හෘදය සංවාදයේ අරමුණ වන්නේ කුමක් ද ? රසිකයා වඩා සුසංවේදී ජීවිතයක් වින්දනය කළ හැකි වඩාත් සංවර්ධිත ආධ්‍යාත්මයක් ඇති පුද්ගලයෙකු බවට පත් කිරිමයි. ගම්ලතුන්ගේ මෙම නිර්වචනය සමඟ අපිට ද එකඟ විය හැකිය.

ඉදිරියට..........

Jesustoday.lk 5 වන වසර 19 වන සතිය 2021 ජූලි 11 වන ඉරිදා

Comments powered by CComment