සාහිත්‍ය නිර්මාණයට විචාරය ප්‍රදීපාගාරයක් සහ උත්තේජනයක් වනුයේ විචාරය විචක්ෂණශීලිව මෙන්ම මානුෂීක (අව්‍යාජ හා අවංක) විචාරයක් වුවහොත් පමණි.

සාහිත්‍ය කලා විචාරය කුමක් ද ?

විචාරයේ කාර්යභාරය කුමක්ද යන්න ගැන තව දුරටත් පැහැදිලි කරගැනීම සඳහා ඊළඟට මා කැඳවන්නේ ලාංකේය කලා සාහිත්‍ය විචාරයේ ස්ත්‍රී සළකුණ වන නිර්භිත ගැහැණිය මහාචාර්ය පියසිලි විජේගුණසිංහ.

ඇය මාක්ස්වාදි කලා විචාරය ගරුකොට ගෙන ඉතා වැදගත් මැදිහත්වීමක් ලාංකේය සාහිතය විචාර භූමියට රැගෙන ආවාය. ඇගේ සුවිශේෂිතාව වන්නේ මහාචාර්ය සුචරිත ගම්ලතුන් සමඟ මාක්ස්වාදී කලා විචාරය ගැන ඈ ගෙන ගිය විදග්ධ පැසුනු ශාස්ත්‍රීය අරගලයයි.

ඇයගේ සාහිත්‍ය කලා විචාර මෙහෙවර හඳුනා ගැනීමට ඇය විසින් සිංහල භාෂාවෙන් රචිත ග්‍රන්ථ ත්‍රිත්තවයක් තිබේ.

සාහිත්‍යය.භෞතිකවාදි අධ්‍යයනයක් (1982)

නූතන සිංහල සාහිත්‍ය විචාරය මාක්ස්වාදී අධ්‍යයනයක් (1987) හා

සුචරිත ගම්ලත්ට එරෙහිව මාක්ස්වාදී කලා විචාරයේ මූලධර්ම හා අරුන්දති රොයිගේ ‘ද ගෝඩ් ඔෆ් ස්මෝල් තින්ග්ස් විචාරයක් හා පිළිතුරක් (2000)

මේ ග්‍රන්ථයන් කියවීම මනා සංයමයක් පරිශ්‍රමයක් සහිතව කළ යුතු කාර්යයකි. මාක්ස්වාදි සාහිත්‍ය කලා විචාර විධි ක්‍රමය හඳුනා ගැනීමට එය මහෝපකාරි වේ.

අප මෙහිදි උපුටා දක්වන්නේ පියසිලි විජේගුණසිංහ අරුන්දති රෝයිගේ ද ගෝඩ් ඔෆ් ස්මෝල් තින්ග්ස්ගේ විචාරයක් හා පිළිතුරක් කෘතියේ කරන සඳහනකි.

සැබැවින්ම කලා කෘතියක් වචනයේ පරිසමාප්තර්ථයෙන්ම සජිවිය. එය විචාරකයා නැතිනම් සහෘදයා දැඩි ලෙස ග්‍රහනයට ගන්නවා පමණක් නොව තමන් පිළිබඳ හඬක් නැංවීමටත් ඔහුට / ඇයට බල කරයි.

 

විශේෂිතව තමන්ට පමණක් නොව මුළු මහත් සමාජයටම කලා කෘතියෙහි පවත්නා දැවැන්ත අදාලත්වය සත්සුදක්සේ පැහැදිලි වන කල්හී විචාරකයාට නොවේ නම් සහෘදයාට කලා කෘතියෙහි බල කිරීම නොතකා සිටිය නොහැකි වෙයි.

අප මේ කොටස උපුටා ගන්නේ විචාරයෙහි යෙදීම තමන්ට සතිපතා හෝ මාස්පතා හෝ යමක් ලියන්නට තිබෙන නිසා, වෘත්තියක් නිසා කරන්නක් නොව, කෘතියක් කියැවීමෙන් ලැබෙන පෙළඹුමක් හේතුවෙන් සිදු කරන්නක් බව ඔබ හා බෙදා ගැනීමටයි. තමන්ට මෙන්ම මුළු මහත් සමාජයටම කලා කෘතියෙහි අදාල බව දැනෙද්දී තමාව කෘතිය විසින් දැඩි ග්‍රහනයකට ගැනෙද්දී ඒ කෘතිය ගැන හඬක් නොනංවා සිටීමට විචාරකයාට සහෘදයාට නොහැකි වන තැන සහෘදයා තම කියවීම හෝ විචාරකයා තම විචාරය සිදු කරයි.

පියසිලි විජේගුණසිංහ පැහැදිලිව තමා මාක්ස්වාදි විචාරිකාවක් බව ප්‍රකාශ කර සිටියාය. ඒ වෙනුවෙන් පෙනී සිටියාය. ඒ විචාර විධි ක්‍රමය සුපෝෂණය කළාය. සාහිත්‍යය හා කලා විචාරයේ ක්‍රිස්තියානි විධි ක්‍රමය ලෙස අප මතු කරන න්‍යාත්මක ප්‍රවේශයට වඩා සමීපවන විචාර විධි ක්‍රමය වන්නේ මාක්ස්වාදි විචාර විධි ක්‍රමය බඩ නොවළහා පැවැසිය යුතුය. එසේ කීම ඇතැම් විට කෙනෙකු ඒ කෙරෙන් පලායාමට හේතු වූවද සත්‍යය එයයි. ඒ නිසා කලා විචාරය පිළිබඳ විවිධ විචාර විධි ක්‍රම වේදි්න අතර අද ලෝකයේ හා ශ්‍රි ලංකාවේ සිටින මාක්ස්වාදි විචාරකයින් දෙදෙනෙකුගේ අදහස් මෙහිලා උපුටා දක්වමු.

“මාක්ස්වාදි විචාරය වනාහි සියලුම කාලයන්හී මිනිසුන් විසින් තමන්ගේ සමාජයන් අත්දකිනු ලබන අදහස් ඇගයුම් සහ හැඟීම් වලින් සංයුක්ත වූ දෘෂ්ටිවාදයන් වටහා ගැනීම ඉලක්ක කොටගත් සුවිශාල න්‍යායාත්මක විශ්ලේෂණයක කොටසකි."

සාහිත්‍ය විචාරයට කළ හැකි භූමිකාව නම් ඓතිහාසික තත්වයක් ප්‍රත්‍යයන් සහ සාහිත්‍ය අතර පවතින වැදගත් පුරක නිර්වචනය කර දැක්වීමයි.

ටෙරි ඊගල්ටන්

සාහිත්‍ය විචාරය සප්‍රයෝජනවත් කාර්යයක් වන්නේ එය කෙබඳු වූ විටකදී ද යන්න ඩෙස්මන් මල්ලිකාරච්චි මෙසේ දක්වයි.

සාහිත්‍ය නිර්මාණයට විචාරය ප්‍රදීපාගාරයක් සහ උත්තේජනයක් වනුයේ විචාරය විචක්ෂණශීලිව මෙන්ම මානුෂීක (අව්‍යාජ හා අවංක) විචාරයක් වුවහොත් පමණි.

සාහිත්‍ය විචාරය සැබෑ විචාරයක් වීමට නම් එය සාධාරණිවුද, යුක්තිසහගතවූද, විද්‍යාත්මක වූද පදනමක් සහිත විධි ක්‍රමයක් මත සිදු විය යුතු බව වටහා ගැනීමට ඉහත සාකච්ඡා කළ විචාරය පිලිබඳ අදහස් නිර්වචන ප්‍රමාණවත් යැයි සිතමු.

විවිධ නම්වලින් හැඳින්වෙන විචාර විධි ක්‍රම රාශියක් ලෝකය පුරා මෙතෙක් භාවිතා වී තිබේ. රසවාදය, ධිවනිවාදය, නියතවාදය, ව්‍යුහවාදය, පශ්චාත් ව්‍යුහවාදය, ස්ත්‍රීවාදි න්‍යාය පශ්චාත් නූතනවාදී න්‍යායෝ මාක්ස්වාදි න්‍යාය මනෝවිශ්ලේෂණවාදය පරිසරවාදය ආදි සාහිත්‍ය විචාර විධි ක්‍රම ඊට නිදසුන් කීපයකි.

ඉදිරියට.................

Jesustoday.lk 5 වන වසර 20 වන සතිය 2021 ජූලි 18 වන ඉරිදා

Comments powered by CComment