පලස්තීනයේ දුප්පත් ගමක පිරිමින්ගේ නීතියේ ගොදුරක් වු ගැහැනියක් ගැන කියවෙන ‘බර්ඩන්ඩ් ඵලයිව්’ නව කතාවේ පුවත තරමට ඇමරිකානු සහය ලබන ඊශ්‍රායල් හමුදා පලස්තීනයේ දුප්පත් මව්වරු දරුවන් ෂෙල් ප්‍රහාර ගුවන් ප්‍රහාර මගින් තොග පිටින් මරා දැමීම් ලෝකයට නොඑන්නේ ඇයි ?

 

මුස්ලිම් ලකුණ සහිත සිංහල සාහිත්‍යයකට කවුළුවක්
නිර්භීත නිර්මාණ මැදිහත්වීමක්

සුළං සැරට

ඓතිහාසික සාකච්ඡාවක්

විනැණ සන්ධ්‍යාව -3 ලෙස අද පැවැත්වෙන ‘සුළං සැරට’ නව කතාව පිළිබඳ සංවාදය එක් අතකින් සිංහල සාහිත්‍ය කතිකා අතරේ ඓතිහාසික සාකච්ඡාවක්. මුස්ලිම් ජාතික නිර්මාණකාරියක විසින් සිංහල බසින් ලියන ලද නව කතාවක් නිමිති කරගෙන සිංහල හා මුස්ලිම් තරුණ තරුණියන් පිරිසක් එකතුව ‘මුස්ලිම් ලකුණ ඇති සිංහල සාහිත්‍යයක්’ පිළිබඳ කරන සාකච්ඡාව පුරෝගාමි සාකච්ඡාවක් වනු ඇති.

ඒ වගේම මේ සාකච්ඡාව සිදුවන්නේ මුස්ලිම් ලකුණ ඇති සාහිත්‍යයකරණයක නිරත වන අරාබි සම්භවයක් සහිත ටැන්සියානු කළු අප්‍රිකානු ලේඛක අබ්දුල් රසාක් ගර්නා නොබෙල් ත්‍යාගය පිරිනැමුනු උණුසුම පවතින මොහොතකය. අබිදුල් රසාක්ගේ විශේෂත්වයක් වන්නේ ඔහු අල් කුර්ආනයෙත්, අරාබි නිසොල්ලාසයෙත් කතන්දර සංඛේත චරිත සංසිද්ධින් සිතුවම් උපයුක්ත කරගනිමින් නිර්මාණකරණයේ යෙදීමයි. ඔහුට නොබෙල් ත්‍යාගය හිමි වීම අද අපි සාකච්ඡා කරන සිංහල සාහිත්‍ය තුළ සළකුණු කිරීමට උත්සහ කරන ඉස්ලාම් ලකුණ ඇති සාහිත්‍යය ශානරයට ගෝලීය පිළිගැනීමක් ලැබීමකි.

සිංහල සාහිත්‍ය තුළ ඉස්ලාම් ලකූණ ඇති සාහිත්‍යය අතු ඉතිලා වර්ධනය විය යුතු සාහිත්‍යය ශානරයෙකැයි අපි සිතමු. අද අපගේ කතාබහට ලක්වන සෙනිෆා සනීර්ගේ ‘සුළං සැරට’ නව කතාව එවන් සාහිත්‍යය ශානරයකට දොරටුවක් විවෘත කරයි. ශක්තිමත් පදනමක් සකස් කරයි. සෙනිෆාගේ ‘සුළං සැරට’ නව කතාව අපගේ ඇගයුමට ලක්වන පළමු කාරණය එයයි.

ඉස්ලාම් ෆෝබියා සාහිත්‍යය

‘සුළං සැරට’ නව කතාව හා ඉන් ලකුණු කරන ඉස්ලාම් ලකුණ ඇති සිංහල සාහිත්‍යයක් අපට අවශ්‍ය වන්නේ ගෝලීය හා දේශීය ඉස්ලාම් ෆෝබියා දේශපාලනය තුළින් අපගේ මානව සහෝදරත්වය පළුදු කොට බලය ඩැහැගන්නා මානව විරෝධි දේශපාලනයට එරෙහිව මානව සහෝදරත්ව ශක්තිමත් කිරීමට එය අත්‍යවශ්‍ය සාහිත්‍යය මැදිහත්වීමක් වන නිසාය.

පසුගිය දශක කීපය තුළ ලොව පුරා දහස් ගණනින් අළෙවි වූ නව කතා ප්‍රවර්ගයක් වන්නේ මුස්ලිම් කාන්තාවන්ට එරෙහිව සිදුවන හිංසාවෙන් හා ඔවුන්ගේ දුක් කම්කටොලු ගැන කියවෙන අද සසල කරවන නව කතාය.

මේ නව කතා ව්‍යාපාරය සියුම්ව නිරීක්ෂණය කරද්දී අපට හඳුනාගත හැකි කරුණක් වන්නේ ඒවා ව්‍යාප්ත කිරීමට බටහිර යුරෝපා රටවල් විසින් දක්වන දායකත්වයයි. ඒ නව කතා රැල්ල සමකාලීන ලෝකය තුළ මතු කොට ඇති ඊනියා ඉස්ලාම් හා ක්‍රිස්තියානි ශිෂ්ටාචාර ගැටුමට අදාල ඉස්ලාම් ෆෝබියා මතවාදය සියුම්ව ප්‍රවර්ධනය කරනු ලබයි. මේ නව කතා අතර ඇති බොහෝ නව කතා සියුම් ව චිත්‍රණය කරන්නේ මුස්ලිම් කාන්තාවන් දරුණු පීඩාවන්ට, ඝාතනයන්ට, වද හිංසාවන්ද ලක් වන්නේ ආගමික ඉගැන්වීම්, බලපෑම් නිසාවෙන් බවයි. මේ නව කතා කියවන බොහෝ පාඨකයා තමාටත් හොරා තමා තුළ වගා කර ගන්නේ ඉස්ලාම් දහමට එරෙහි පිළිකුලකි. මුස්ලිම් සංස්කෘතියට එරෙහි හැගීමකි.

මේ නව කතා වලින් ඇතැම් ඒවා සත්‍ය කතා පුවත් වෙනවා. (Not without my Daughter) නමුත් සිංහල පාඨකයින් අතර ඉතා ජනප්‍රිය සිංහල පරිවර්තන දෙකක්ම තිබෙන Forbidden love වැනි කෘති ගණනාවක් සත්‍ය කතාවන් සේ හැගවූවත් එය සත්‍ය කතාවන් නොවන බව හෙළි දරව් වී තිබෙනවා.

පසුගිය කාලය තුළ මෙරට මුස්ලිම් විරෝධි දේශපාලන මතවාදයට බොහෝ ප්‍රගතිශීලි සාහිත්‍යකරුවන්, රසිකයින් ආදින් ද, හූ මිටි තබන්නන් වීමට ඔවුන් කියැවු මේ සාහිත්‍යයද එක් හේතුවක් ව තිබු බව මේ ලියුම්කරු කීප දෙනෙකු සමඟ කළ සාකච්ඡා වලදි අනාවරණය වුණා.

නිසැක වශයෙන් හැම ආගමික සංස්කෘතියක් තුළම ගැහැනිය ද්විතීක කොට සලකනවා. ලෝක කතෝලික සභාව ස්ත්‍රී පූජකවරයට ඉඩනොදෙන අතර මෙරට අධිපති බෞද්ධ මතය මෙහෙනි සස්නට පිළිගැනීමක් ලබා නොදෙයි. හින්දු ආගමික සංස්කෘතිය මෑතක වන තුරුම සති පූජාවට පක්ෂව ක්‍රියා කළේය. ඇතැම් රටවල ඉස්ලාම් ආගමික සංස්කෘතිය තුළද ස්ත්‍රිය විෂයෙහි බරපතළ සීමා පනවා තිබේ.

අප විමසුම් ඇසින් බලන විට මේවා ආගමික ශාස්තෘවරුන් වදාළ ධර්මයට අදාල දේවල්ට වඩා එකී ජන සමාජයන් විසින් ගොඩනගාගෙන ඇති ආගමික සංස්කෘති තුළින් පැන නගින ඒවාය. ඉස්ලාම් ෆෝබියා දේශපාලනය කරන්නේ අනෙකුත් ආගමික ජන සමාජ තුළ පවතින ස්ත්‍රීයට එරෙහිව භාවිතයන් සියුම්ව සඟවා මුස්ලිම් ආගමික සංස්කෘතිය පමණක් යක්ෂයෙකු සේ මතු කර දැක්වීමයි.

පලස්තීනයේ දුප්පත් ගමක පිරිමින්ගේ නීතියේ ගොදුරක් වු ගැහැනියක් ගැන කියවෙන ‘බර්ඩන්ඩ් ඵලයිව්’ නව කතාවේ පුවත තරමට ඇමරිකානු සහය ලබන ඊශ්‍රායල් හමුදා පලස්තීනයේ දුප්පත් මව්වරු දරුවන් ෂෙල් ප්‍රහාර ගුවන් ප්‍රහාර මගින් තොග පිටින් මරා දැමීම් ලෝකයට නොඑන්නේ ඇයි ?

තලෙබාන්වරුන්ට එරෙහිව කටයුතු කරන ඇෆ්ගන් ස්ත්‍රීන් ගැන කියවෙන "ඇෆ්ගන් වූමන් ස්ටුගල් ෆෝ ප්‍රීඩම්" වැනි කතාවක් තරම් ඇමරිකානු හමුදා විසින් ඇෆ්ගනිස්තානයේදි දූෂනයට ලක් කොට මරා දැමු ඇෆ්ගන් යුවතියන්ගේ ඉරණමත්, ඔවුන්ගේ පවුල්වල අය සාධාරණය පතා කරන අරගලත් බටහිර විසින් ලෝකයට ගෙන නොයෙන්නේ ඇයි ?

මේ පසුබිමේ අප අපගේ මෙම සාකච්ඡාව ස්ථානගත කළ යුතුය. "සරුංගල් ලුහු බදින්නා" වැනි කතාවක් දෙකක් හැරුනු විට පසුගිය දශකය දෙක තුළ පෙර කී ප්‍රවර්ගයේ නව කතා පනහක් හැටක් පමණ කියවූ සිංහල පාඨක සමාජයට අප සමඟ ජීවත්වන අපේම සහෝදර මුස්ලිම් ජනයාගේ කතාවක් කියවීමට ලැබීම අලුත් ද්වාරයක් විවෘත කිරිමකි. සෙනිෆාගේ නව කතාව එක්තරා රැඩිකල් දේශපාලන මැදිහත්වීමක් ලෙසද, සැලකීමට අප කැමැත්තේ ඉහත පසුබිම තුළය.

සුළං සැරට

සුළං සැරට අති විශිෂ්ඨ නව කතාව කැයි අප කිසිසේත් අදහස් නොකරමු. එහෙත් එය කිසිසේත්ම බොළඳ ප්‍රේම වෘත්නාත්යක් නොවේ. එය විශිෂ්ඨ නව කතාකාරිනියක් වීමට අවශ්‍ය ශාක්‍යතා සහිත නිර්මාණාකාරිනියකගේ ප්‍රශස්ථ නව කතාවකි.

ඉතිරිය ලබන සතියට

Jesustoday.lk 5 වන වසර 36 වන සතිය 2021 නොවැම්බර් 14 වන ඉරිදා 

Comments powered by CComment