මෙය කවියේ එන කතාව ඒ සීයාගේ හා මුණුපුරාගේ කතාව පමණක් නොවේ. රටේ පරම්පරා කතාවයි.

 

ටිම්රාන් කීර්ති නව පරපුරේ සම්මානනීය කවියකි. ඔහුගේ හතර වෙනි කාව්‍ය සංග්‍රහය ‘ඒ ජෙට් එකේ ගියේ සමන් සිරිමයි.”

“කවි නම් කවි" කියත හැකි කාව්‍ය සමුච්චිය අප්‍රමාණ මානව දයාවෙන් පිරි ඉතිරි යයි.

කවියෙන් කවිය ගැන ලියමන් ලිවිය හැකිය. ඒ තරමට ඒ කවි හද මනස කිතිකවයි. රිදවයි. දවයි.

මේ කුඩා සටහන එහි එන ‘ෆො‍ටෝ එක’ කව ගැනයි.

අත්තා‍ෙගේ ගෙදර ජනේලට උඩින් අතීතය කියන ෆොටෝ එකක් ගසා ඇත. මුණුපුරා එහි ඇති ඓතිහාසික වටිනාකම ගැන අගයයි.

“හරි අපූරුයි අත්තේ ආසාවේ බෑ මේ පොටෝ එක

සිහිවටනයක් නේද රත්තරං අතීතෙක”

“බලන්නකෝ සුදු වලාකුළු වගේ මූණුවල සංතෝසේ

අපේකම උතුරනව දෙයියනේ ! ගමක ඉතිහාසේ”

මුණුපුරා ඡායාරූපයේ සිටින පිරිස අතර අත්තාව හඳුනා ගනී. අන් අය කව්දැයි විමසයි. අනුමාන කරයි.

“ඉලන්දාරියෝ දෙන්නෙකුට මැදිවෙලා අත්තා ම නේද මේ

ඉඳගත්ත උඩු රැවුල්කාරයා ග්‍රාමසේවක ද වසමේ”

මුණුපුරා දකින්නේ රත්තරං අතීතයකි. මුහුණුවල උතුරනා අපේ කමය.

දැන් කවිය තුළ අත්තා කට හඬ අවදි කරයි. මුහුණුපුරාගේ විමසුම් වලට පිළිතුරු දෙයි.

“පොටෝ එක අරගත්තේ හැත්ත එක හැත්තෑවේ

සංතෝසයක් කොහේද හීසන කාලේ”

“රතු තරුව ඉහිං ගෙන සටන් කෙරුවා පොකුරේ

උඩු රැවුල් කාරයයි ඔත්තු දුන්නේ ඉඳං හිටියට පින්තූරේ”

“හිනාවෙනවා නෙවෙයි ඔය කැමරාව හුරු නැතිව මද්දහනේ

දෙපැත්තේ හිටිය දෙන්නට වෙඩි තිබ්බේ හැන්දෑවේ”

රත්තරං අතීතය, ගමේ රටේ ඉතිහාසය ලෙයින් කඳුළින් පෙගුණකි. භීෂණයෙන් මරණයෙන් ලියුවකි.

සීයා 1971 තරුණ නැගිටිමේ කොටස්කරුවෙකි. තම මිත්‍ර ඝනයා අතින්ම පාවාදීමට ලක් වී ඇතැම් මිතුරෝ මරණය වැළඳගෙනය.

මෙය කවියේ එන කතාව ඒ සීයාගේ හා මුණුපුරාගේ කතාව පමණක් නොවේ. රටේ පරම්පරා කතාවයි.

ටිම්රාගේ කවිය සරල ගාම්භීරත්වයකින් යුතුයි. අප හද මනස රිදවයි. අවදි කරයි.

සීයා ඇයි මේ ඡායාරූපය රාමු කරලා එල්ලාගෙන සිටින්නේ. සොහොන් පාළුව මකා ගන්න.

“සොහොන් පාළුව යංඩ ජනේලයට උඩින් ගැහුවේ ඔය පින්තූරේ

මං මෙතන, අනික් උන් නිදනවා ජනෙලට එපිටහ සොහොන්.”

ලේ වැකුණු අතීතයක ස්මරණ මකා දැමිය නොහැක. සංවේදි හදවත් වලින් එවන් ඉතිහාසයක් අනාගතයයට උරුම නොකරන ලෙසින් අප වැඩ කළ යුතුව ඇත කැපවීමෙන්. ඒ පොටෝ එක අපට කියන්නේ එයයි.

Jesustoday.lk 5 වන වසර 38 වන සතිය 2021 නොවැම්බර් 28 වන ඉරිදා  

 

Comments powered by CComment