වෙස්වලාගෙන කුමට වෙනස් කළ නොහැකි නම් ඔබේ ඇතුළාන්තය

 

කවියාගේ සටහන

1974 යාපනයේදි පවත්වන ලද දෙමළ භාෂා සමුළුව කඩාකප්පල් කෙරිණ. එහිදි නව දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. ඒ සඳහා සිහිවටන 9 ක් ඉඳි කෙරුණු අතර පොලිසිය එයද කඩා බිඳ දැමීය. 1977 බලයට පත් ආණ්ඩුවේ අගමැතිවරයා යාපනයට ගොස් යළි තනන ලද එම සිහිවටනවලට මල් වඩම් තබා ඒවා විවෘත කළේය. යාපනය සංචාරය නිමකොට යළි පැමිණෙන්නට සූදානම් වෙද්දි ‘මගේ හදවත ඔබ වෙත තබා යන්නෙමි’ යි ඔහු පැවසීය.

බිඳ හෙළුෑ ස්මාරක
යළි ඔබ නැගුවෙහි
බිඳ හෙළුෑවන් සිහි කරන්නට

දකුණේ හැත්තෑ හතේ අගොස්තුවෙහි
අහිමි වු ජීවිත වෙනුවෙන්
ස්මාරක ඉදිකළොත් මොකද
ඔබේ සැහැසිකම් සිහිකරන්නට

මල්දම් මල් වඩම් කුමකටද?
අවැසි නැත
අපේ මතකයන් තුළ ඔබ
රඳවා තබා යන
අලංකෘත වදන් මෙනි.

පර වී වැටෙයි නියතයි
මේ මල් වඩම්

මල් දම් දැමු අත්
පසුදා අවි දැරූ හැටි
දුටිමු අපි

මල් ඇතිරූ අත්වලින්ම
දුටු ගැමුණුගේ භෂ්මාවශේෂ විසිරුණේ
ජාතිවාදි කළු වලාවෙන්
රුහිරු වැහි වහින්නයි

ඔබේ පිය ලකුණුවල
රතු රුහිරු සලකුණුය.
ඒ වුණත් සැඟව සිට යළි ඇවිත්
වෙස් වලාගෙන අනේ
හඬා වැලපෙන්නෙහිය.

වෙස්වලාගෙන කුමට
වෙනස් කළ නොහැකි නම්
ඔබේ ඇතුළාන්තය

ජාතිවාදි දුග මුඛයෙන්
අමා මී වන් තෙපුල් වැගිරෙයි
‘මගේ හද තබා යමි
සබඳ ඔබ වෙත’

රැගෙන යනු මැන
ඔබේ හද ඔබ සමඟ
අපේ මතකයන් තුළ
රඳවන්නට පෙර එය
සවන් දුන මැනව
ඔබේ ඔය හදවතට
ඔව්, ඔබම !

බොහෝ කාලයක සිට
රුධිරයෙන් කිළුටු වු
ඔබේ හද
යළිත් පිරිසිඳ බලනු මැන.
බොරු දැහැමි උතුරු සළු උනාදා
සත්‍ය වු නිවන් මග දකින්නට

කහ සිවුරු වලට හෝ
මුඩු හිස්වලට
නොපෙනි වැළලි තිබෙන
බුදුන්ගේ කරුණා මෛත්‍රීය
වටහා ගන්ට
ඔබේ ඔය හද
යොමු කළ මැනව ඒ වෙතට

රැගෙන යනු මැන
මේ අපේ උපදෙස්ය.

 

 7GradeWriterWorkshopඑස්. විල්වරත්නම්
             පරිවර්තන - නිලාර් එන්. කාසිම්

අපේ සටහන

ජාතියක සංස්කෘතික උත්සවයකට වෙඩි තබා 2022 ජනවාරි 09 වනදාට වසර 48 කි. මගේ හදවත තබා යන්නේ යැයි පැවසු දකුණේ දේශපාලකයෝ නව දෙනෙකු නොව, දස දහස් ගණනින් දෙමළ ජනයා ගෙවුනු වසර 48 තුළ සංහාරයට ලක් ‍කළෝය. ඔවුන්ගේ බොහෝ ස්මාරක ඩෝසර් කරනු ලැබුවෝය. කවියාගේ උපදෙස් දකුණේ වර්ගවාදි පාලකයෝ කිසිදිනක නෑසුවෝය. එහෙත් ඉතිහාසය වළදැමිය නොහැකිය. මේ ජනවාරි සමූහ මතක දමිළ හදවත්වල දැල් වේ. 

Jesustoday.lk 5 වන වසර 45 වන සතිය 2021 ජනවාරි 16 වන ඉරිදා

 

Comments powered by CComment