අවුරුද්දකට වැඩි කෝවිඩ් කාලයකින් පස්සේ අපෙන් සමහරු සම්පූර්ණයෙන්ම පාසල් ගමනින් හැලිලා. ඔබ කව්රු හෝ අපිව සොයාගෙන ඒවිද ?

මම ඔබට ලියන්නේ අපි වෙනුවෙන්,
අපි කියන්නේ කව්ද ?
උසස් පෙළ හා සාමාන්‍ය පෙළ වයස් වල නව යොවුන් ළමයි.
ඒ ළමයි අතර ඉන්න අපතයෝ.
ඉගෙන ගන්නේ නැති ළමයි.
හරියට ඉස්කෝලේ එන්නේ නැති ළමයි.
ඉස්කෝලේ එන්නෙම නැති ළමයි.
වැඩ නොකරන ළමයි.
කිසිකමකට නැති ළමයි.
දෙමව්පියෝ කියන දේ නාහන ළමයි.
කිසිම උනන්දුවක් නැති ළමයි.
එක එක දේවල් පටලවාගෙන නාස්ති වෙච්ච ළමයි.
කොටින්ම කිව්වොත් ප්‍රේම සම්බන්ධතා නිසා වැඩ අවුල් කරගත්තු ළමයි.
මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙච්ච ළමයි.
අසභ්‍ය පතපොතට වීඩියෝ වළට ඇබ්බැහි වෙච්ච ළමයි.
ඔව් සමහර අපි ලිංගික සම්බන්ධතාත් පවත්වන ළමයි.
ෆෝන්වලට ඉන්ටනෙට් එකට ඇබ්බැහි වුනු ළමයි.
ලිංගික අපයෝජවලට ලක්වෙච්ච ළමයි.
ඵරිවාසගත වෙව්ච ළමයි.
වීදියට වැටුනු ළමයි.

මුලින්ම අපිට ඕගොල්ලන්ගෙන් අහන්න තියෙන්නේ
ඇයි අපිට මෙහෙම වුණේ ?
මේක අපේ කරුමයද ?
මේක දෙවියන්වහන්සෙf්ග කැමැත්තද ?
ඒක අපි ලබා උපන් හැටිද ?


.............................
ඔහෙම නම් ඉතිං ඕගොල්ලන්ට වගේම අපිටත් තියෙන්නේ මේ අපේ තත්වේ භාරගෙන ඔහේ ඉන්න. එතකොට හරිද ? අපි මෙහෙම හිටියම ඕගොල්ලන්ට කමක් නැද්ද ?
දෙවැනියට අපිට අහන්න තියෙන්නේ
මේක අපේ වැරැද්ද ද ?
මේ අපේ නැහැදිච්චකමද ?
මේක අපේ පව්කාරකමද ?
මේක දේව කැමැත්තවත් කරුමෙවත් නොවේ නම් ?
ඕගොල්ලෝ ඔක්කෝම අපිව යහමගට ගන්න කරන්න ඕනි සියලු දේ කළා. අපි අපේ විහින් කාලකන්නි උනා.
ඒකද හේතුව ?
“තොපි හැදෙන්නේ නැත්නම් තොපි මකබෑවියව්”
ඒකද ඕගොල්ලන්ට අපිට කියන්න තියෙන්නේ.
එහෙම කිව්වොත් හරිද ?
එහෙම කියලා ඕගොල්ලන්ට අත් සෝදා ගන්න පුළුවන්ද
නැත්නම් මේක අපේ අම්මලා තාත්තලාගේ වරදක් ද ?
අපේ ඇතැම් ගුරුවරු කියන විදිහට
“තොපි ඉතිං හැදිලා තියෙන්නේ තොපේ අම්මලා තාත්තාලා වගේ තමයි. ඒ පව්වලට පිං දෙන්න අපිට බෑ”
එහෙම කිව්වම හරිද ?
දුප්පත්, පීඩිත, නූගත්, පව්කාර, සමාජද්‍රෝහී, ළමයි ගැන හැගීමක් නැති ඇගේ රුදාවට දරුවෝ හදපු මව්පියන්ගේ දරුවෝ කියමු කෝ අපි.
ඉතිං ගුරු දෙව්වරු ඉන්නේ අන්න ඒ වගේ ළමයින්ට මඟ පෙන්වලා අත්වැලක් වෙලා යහමඟට ගන්න නොවෙයිද ?
“ඇයි යකුනේ තොපිට අපි බණ කියනවා වගේ කොච්චර කියලා තියෙනවද. තොපි හැදෙන්නේ නැත්නම් තොපේ අම්මලා තාත්තලාටත් ඕනි නැත්නම් අපි මොකද කරන්නේ ?”
කේන්ති නොගෙන මේකටත් උත්තර දෙන්න.
ඕගොල්ලන්ගෙන් කීයෙන් කී දෙනාද බණ කියනවා වගේ කියන එක ඇරුනාම අපි වෙනුවෙන් යමක් කළේ. ?
ඕගොල්ලන්ගේ ගෝලයින්ගේ ලැයිස්තුවේ දක්ෂ හොඳ ළමයි මිසක් අපි හිටිය ද ?
අපි ව අගය කළේ කව්ද ?
අපිට වටිනාකමක් දුන්නේ කවදාද ?

අපි ඉන්න තත්වය අපි කන බොන හැටි ඕගොල්ලෝ කී දෙනෙක් දැකලා තියෙනවාද ? අපේ කුලී ගෙදරකට ලෑලි පැළකට ඇවිල්ලා තියෙන්නේ ඕගොල්ලන්ගෙන් කී දෙනෙක්ද ? රුපියල් දහස් ගණන් ගුරු පඬුරු දෙන ගෙවල්වලට ඕගොල්ලෝ ඇවිල්ලා හරි ආදරෙන් ශිල්ප කියා දෙන කොට අපේ ගෙවල් කෑලිවලට එහෙම ආදරයෙන් ආවේ නැත්තේ අපි මොනර කොළවලින් ගුරු පඬුරු දුන්නේ නැති නිසාම නේද ? ඒ හැර ඒ දෙක අතර වෙනසට වෙන හේතුවක් නෑ නේද ?

අමාරුවෙන් හරි අල්ලපු ගෙදරකින් සාරියක් ඉල්ලගෙන හරි ගුරු දෙගුරු සමිතියට අපේ අම්මලා ආවම දොස්තර කෙනෙක් ගුරුවරයෙක් ව්‍යාපාරියකයෙක් දේශපාලකයෙක් වන මව්පියෙක් එක්ක කතා කරන තරම් වෙලාවක්, ඒ අය එක්ක කතා කරන සුහදතාවයකින් අපේ අම්මලා එක්ක කතා කළේ ඕගොල්ලෝ අතරින් කීයෙන් කී දෙනාද ?

තෑග්ගක් අරගෙන ගුරු දිනයට ඇවින් වැන්දේ නැති, තෑග්ගක් අරගෙන ඕගොලන්ගේ ගෙදරට ඇවිත් ගියේ නැති. ඕගොලන්ගේ වැඩක් ඔෆිස් එකකින් කරලා දෙනවා වගේ උදව්වක් කරලා දීලා නැති නිසාම කවදාවත් අපිව ඉස්සරහට ගත්තු නැති නිසාම, අපේ සමාජ පසුබිම නිසාම අපේ අදක්ෂකම නිසාම පංතියකදි ප්‍රශ්නයක් අහපු නැති නිසාම ඕගොල්ලෝ එක්ක සුහදව කතා කරපු නැති නිසාම ඕගොල්ලන්ට අපේ යහපතක් පෙනුනේ නැති නිසාම ඕගොල්ලන්ගේ මතකයේ රැඳීලා නැති එක පාන් කෑල්ල නංගී මල්ලි එක්ක බෙදා ගත්ත. අම්මා නැති ගෙදර මල්ලිව ආන්ඩුවේ ඉස්පිරිතාලෙට ගෙනිහින් බෙහෙත් අරන් දෙන, තාත්තාගේ තිත්ත කුණුහරුප අහගෙන දිවි නසා නොගෙන ජීවත්වන අපි තුළ ඕගොල්ලෝ කවදාවත් ගුණ යහපත් දරුවෙක්ව දැක්කේ නෑ. දෙමව්පියන්ගේ ආලෝකයෙන් බැබළුණු ළමයින්ව දකින ඕගොල්ලෝ වැඩි දෙනෙක්ගේ ඇස්වලට ඒ අපේ ඇත්ත පෙනුනේ නෑ.

ඉතිං දයාබර ගුරු මව්පියෙනි.

අවුරුද්දකට වැඩි කෝවිඩ් කාලයකින් පස්සේ අපෙන් සමහරු සම්පූර්ණයෙන්ම පාසල් ගමනින් හැලිලා. ඔබ කව්රු හෝ අපිව සොයාගෙන ඒවිද ?

එකම දවසක්වත් ඔන්ලයින් පංති ආය නැති අපිට දැන් ඕගොල්ලෝ ඇගයීම් දෙනවා විභාග තියනවා. ඒවායේ ලකුණු වාර්තාවල දානවා. එහෙම දාලා අපේ ලකුනු 0.2.4.8.10.20 ගැන වපරැසින් බලනවා.
කමක් නෑ. හැලෙන්නේ නැතිව ඉස්කෝලේ එන්න දඟලන අපේ සමහරුන්ට මීට වඩා අත්වැලක් වෙන්න.

සුළං, ගං වතුර, නාය යෑම් වගේම වසංගතතත් නැවත නැවත විනාශ කරන්නේ අපිවමයි. ඒත් අපිත් ආසයි නැගිටින්න. අපි කව්රුත්ම මේ ලිපිය මුලදි ලිව්ව හැදින්වීම් එකකටවත් ආස නෑ. අපේ අම්මලා තාත්තලා දුර්වල ඇති. ඒත් ඔබ ශක්තිමක් නේද ? ආන්ඩුත් අපිව අත් හැරලා දෙනවා. ඒත් ඔබ ශක්තිමක් නේද ? අපි වෙනුවෙන් ඔබට කරන්න මීට වඩා දෙයක් නැද්ද ?

Jesustoday.lk 5 වන වසර 8 වන සතිය 2021 අප්‍ර‍ේල් 25 වන ඉරිදා 

 

Comments powered by CComment