සංක්‍රාන්ති ලිංගිකයන්ට කාන්තා කාණ්ඩය යටතේ තරග ඉසව් නියෝජනය කිරීමේ අවස්ථාව තිබෙන අතර, ඔවුන්ගේ ශරීරයේ ඇති ටෙස්ටොස්ටරොන් හෝමෝන මට්ටම නියම කර ඇති සම්මත මට්ටමට වඩා අඩු විය යුතුයි.

පාසල් වසා දැමීමේ තෙවෙනි වටය මාස දෙකක් වත්දී කෝවිඩ් අවදානම ඒ විදිහටම පවතිනවා.

අපේ නව යොවුන් කතා බහ සූම් හරහා විධිමත්ව පටන් ගත්තේ සතියකට වරක් ජීවිත කතාබහ අලුත් කර ගැනීමට වෙනදාටත් වඩා වැදගත් බව හැගුණ නිසා.

ඔන් ලයින් ඉගෙනුමේ අවුල් වියවුල් ගැන කතා කරලා අපි ක්‍රීඩාව දෙසට යොමු වුණේ ඉබේටම. බැරිම තැන අහල පහළ කීප දෙනෙක් එක්ක බැඩ්මින්ටන් ගහන්න පටන් ගත්තා කියලා අපේ මිතුරෙක් කිව්වා.

අපේ නව යව්වනයේ ඔලිම්පික් සෞන්දර්යය විදින්න බලාගෙන හිටපු අපිට ඒක අහිමි උනේ තෝකියෝ ඔලිම්පික් උළෙල කල් යාමෙන්. ඔලිම්පික් ගැන කියන අතර, අපේ ක්‍රීඩා වාර්තාකරු අලුත් ප්‍රවෘත්තියක් ගැන බෙදා ගත්තා.

ඒ තමයි පළමු වරට සංක්‍රාන්ති ලිංගිකයෙකුට ඔලිම්පික් වරම් හිමි වෙන්න යනවා කියන පුවත.

බර ඉසිලීමේ ඉසව්වෙන් නවසීලන්තය නියෝජනය කරන්නට වරම් ලැබූ ලොරේල් හම්බර්ඩ් තමයි ඒ වාර්තාගත අවස්ථාවට හිමිකම් කියන්න හදන්නේ.

2013 වසරේදී ලොරේල් නියෝජනය කර තිබුණේ පිරිමි කාණ්ඩය යටතෙයි. මෙවර තෝකියෝ ඔලිම්පික් උළෙලේ ලොරෙල් කාන්තා කාණ්ඩය යටතේ බර ඉසිලීමේ තරගයට ඉදිරිපත් වෙනවා.

මේ ඓතිහාසික අවස්ථාව නිකම්ම උදා වුණු එකක්  නොවෙයි. ක්‍රීඩා ක්ෂේත්‍රය තුළ වාද විවාද මතු කළ දිගු සටනක ප්‍රතිඵලයක් කිව්වම අපේ මිතුරෙක් මෙහෙම කිව්වා.

අපි නම් මචං අපේ ට්‍රාන්ස් ජෙන්ඩ මිතුරාව අපි සෙල්ලම් කරද්දී සම්බන්ධ කරගත්තේ කිසිම සටනක් නැතිව.

ඒක ඇත්ත. අපිට එයා ස්ත්‍රියක්ද, පුරුෂයෙක් ද කියන ප්‍රශ්නය තිබුණේ නැහැ. අපේ යාළුවෙක්.

ලොරේල් 2018 පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙල නියෝජනය කරන්න යද්දී ඕස්ට්‍රේලියානු බර ඉසිලීමේ සංගමය ඊට විරෝධය පළ කළා. එහිදී බොහෝ දෙනා ඒ ගැන කතා කළා. විශේෂඥයින්ට මැදිහත් වෙන්න සිදු වුණු  LGBTQIA  ප්‍රජාව ගැන හඩ නගන සංවිධානත් උස්ව හඩ නැගුවා.

දැන් ඔලිම්පික් පිළිගැනීම මෙන්න මේ වගේ එකක්.

සංක්‍රාන්ති ලිංගිකයන්ට කාන්තා කාණ්ඩය යටතේ තරග ඉසව් නියෝජනය කිරීමේ අවස්ථාව තිබෙන අතර, ඔවුන්ගේ ශරීරයේ ඇති ටෙස්ටොස්ටරොන් හෝමෝන මට්ටම නියම කර ඇති සම්මත මට්ටමට වඩා අඩු විය යුතුයි.

මේ නිදර්ශනයෙන් අපි හැමෝටම වැදගත් විද්‍යාත්මක සත්‍යතාවක් පැහැදිලි වෙනවා. සංක්‍රාන්ති ලිංගිකත්වය ඒ පුද්ගලයාගේ වරදක්වත්, පූරුවේ කළ පවක්වත් නොවෙයි. ශරීරයේ සිදුවන ජීව රසායන ක්‍රියාවලියක ප්‍රතිඵලයක් කියන දේ .

ලොරෙල් ඔලිම්පික් උළෙලේ ජයග්‍රහණයක් වාර්තා කළත්, නැතත් දැනටම ජයග්‍රහණය කරලා ඉවරයි.

ක්‍රීඩාවේ මූලික අවශ්‍යතාවය වන ශාරීරික ක්‍රියාකාරිත්වය සක්‍රියව පවත්වාගන්න සංචරණ සීමා තුළ නිවසේ සිට හෝ ව්‍යායාම්වල යෙදෙන්න ඕනි කියලා අපේ කතාබහ නිමා වුණේ. .. විෂය කරුණු පාඩම් වැඩවලින් ඔබ්බෙහි වන මේ වගේ සංවාද ඉතා වැදගත්. ඩේටා ප්‍රශ්න තියෙන යාළුවන්ගේ ඒ ප්‍රශ්න විසදමින් අපේ සාකච්ඡාව ඉදිරියට ගෙනියන්න අපි තීරණය කළා.

Jesustoday.lk 5 වන වසර 17 වන සතිය 2021 ජුනි 27 වන ඉරිදා

Comments powered by CComment