රිසානාගේ හිස කඳෙන් වෙන් කළ ජනාවරි 09 දින, අපි මරණ දඬුවම් විරෝධි දිනය ලෙස නම් කරමු.

 

රිසානා දැරිය මරා දැමුවේ 2013 ජනවාරි 09 දිනයි

කාලයක් තිස්සේ අපි එකිනෙකා මරාගනිමින්, ආගමික, දේශපාලනික හා ‘සදාචාර’ කරුණු මත ඒවා සාධාරණිකරණය කරමින් සිටින්නෙමු. දැන් රජයත් ඒ කාරිය භාරගෙන ඇති නිසා එය ‘නිත්‍යානූකූල සහ යුක්ති සහගත’ වී ඇත. නූතන රාජ්‍යයන් නෛතික බසකින් සන්නද්ධ වී තමන්ගේ උසාවි, නීතිඥයෝ සහ විකටයෝ ලෙස හැඳගත් විනිසුරුවන් ද යොදාගෙන, සමහර විට ආගමික නායකයින්ගේ උදවු උපකාර ද ඇතිව, තමන්ගේ පුරවැසියෝ මෙන්ම බාහිර අය ද නිත්‍යානූකූල ලෙස මරණයේ ගල් රෝහලට යට කරති. ‘කොමිනියුස්ට්’ යැයි කියා ගන්නා චීනයේ මෙන්ම ආගම් ලැදි යැයි කියන ඇමරිකාවේ ද මෙය මෙසේමය.

මේ තරුණියගේ මරණය වීඩියෝ ගත කර ඇති බව වාර්තා වේ. ඇයව දණගස්වා, ඇගේ දිගු කොණ්ඩය හිස උඩට කැරලි දෙකකට බැඳ, කුරානය අතට දීවැනි විස්තර එහි අඩංගුලු මෙය, වැඩේ තිතට කෙරුවා යැයි උන්ගේ මිලෙච්ඡ හාම්පුතුන්ට ඒත්තු ගැන්වීමට විය හැක. නොදකින් මෙවැනි ‘සංස්කෘති’ නොදකින් මෙවැනි රටවල්.

ස්වභාවික යුක්තියවත් ලබා නොදෙමින් රිසානාගේ ගෙල සිඳ දැමීම, මරණීය දණ්ඩයට විරුද්ධවන්නන්ගේ ජාත්‍යන්තර පිළිගත් මතය තහවුරු කර සිටි. තවත් ලෙසකින් කිවහොත් මරණීය දණ්ඩනය පිළිබඳ වාද විවාද දැන් යල් පැන ගොස් ඇත. එය තව දුරටත් බුද්ධිමත් කතා බහකට ඇතුළත් නැත. ආදී කාලයේ තිබු පොළව වටකුරු ද පැතිලි ද යන විවාදයේ මට්ටමට එය පත්ව ඇත. ‘මරණ දඬුවම’ යනු සිය බලය හා වරප්‍රසාදවලින් හිස් උඳුම්මවා ගත් සුළුතරයක් සියලු දේ අහිමි කරන ලද, සූරා කෑම ලක් කෙරුණු, දැනුම් තේරුම් නැති බහුතරය කෙරේ දක්වන ක්‍රෝධයේ ප්‍රකාශනයක් බව ජනයාට ඒත්තු ගැන්වී ඇත.

දිගු කලකට පෙර බ්‍රිතාන්‍යයේ මරණ දණ්ඩනය පිලිබඳ සංවාදයකදී ‘පළිගැනීමට අයිති මටය, අගවිනිසුරු සාමිවරයාට නොවේ’ යැයි දෙවියන් කියු බව සඳහන් කළේ බර්නාඩ් ෂෝ නොවේද ? මරණ දණ්ඩනයට සහයෝගය දක්වන ආගම් ලබ්ධින්ගේ තර්කය රැඳී ඇත්තේ ‘මිනි නොමරව’ යන දේව පනතටත් ‘පාණාති පාතා’ යන බුදු වදනටත් එරෙහි වීමෙනි. ඒ ඉගැන්වීම් අනුව නම් කිව යුත්තේ ‘මිනිසුන් නොව මරණ දඬුවම එල්ල මරන්න’ කියා යි.

දූෂිත පාලක පැළන්තියේ බොරු බේගල් සංඛ්‍යා ලේඛන ගිලගන්නන්ට මිස, මරණ දඬුවම හේතුවෙන් කිසිම තැනක අපරාධ අනුපාත පහත වැටුණේ නැත. මරා දැමිය යුත්තේ නියම වැරදිකරුවා ද නැද්ද යන්නත් වගත් නොවේ. එබඳු රෝගී පුද්ගලයන්ට අවශ්‍ය වන්නේ සංඛකේතයක් පමණි. ‘අන්න අර අපරාධය සඳහා මෙන්න මේ පුද්ගලයා මරා දමා ඇත. දැන් මට සැනසිල්ලේ සිටිය හැකිය’ යන්නය.

අවසාන විග්‍රහයේදි, මරණීය දණ්ඩනය යුක්ති සහගත කරන්නන්ගේ මනෝභාවය රැඳී ඇත්තේ සාධාරණය සහ අනුකම්පාවෙන් තොරවූවන්ගේ චේතනා මතය. ඔවුන් පළිගැනීමට සැරසි සිටින්නේ කාගෙන්ද ? ඔවුන් ආදරය කරන්නන් ගෙන් නම් නොවේ. වියරු මානසික රුදුරු ලේ පිපාසයෙන් ඔවුන් මුදවා ගත නොහැක. ශ්‍රී ලංකාවේ මුස්ලිම් ජනතාවගෙන් යහපත් ප්‍රවණතාවයක් මතු වී ඇත. ඔවුහු විරෝධතා සංවිධානය කරමින් ස්ත්‍රීන් සවුදි අරාබියට යැවීම නවත්වන ලෙස ඉල්ලා ජනාධිපතිට පෙත්සම් අත්සන් කිරීම වැනි ක්‍රියාදාමයන්හි යෙදි සිටිති. එහෙත්, රජය විසින් 70 දශකයේ සිට විරාමයක් දී ඇති එල්ලුම් ගහ නැවත පණ ගන්වා ගැනීමට දරණ වෑයම වැරදි පැත්තකට නැඹුරුවීමකි. ප්‍රතිගාමි ක්‍රියාවකි. පෝරකය, කඹය, අලුගෝසුවා, සියල්ල සූදානම් යැයි කිය වේ.

කුමන හේතුවක් නිසා හෝ අද දිනයේ මරණ දඬුවමට සහයෝගය දක්වන්නෙකු නිවහල් චින්තකයෙක්, මානවවාදියෙක්, හේතුවාදියෙක් තියා සිහි බුද්ධියෙන් යුතු මිනිසෙකු කියා හෝ සැලකිය නොහැක. රිසානා සහ අනෙකුත් ගැනිය නොහැකි තරම් මරණ නොසලකා නොසිටිමු. එම නිසා, රිසානාගේ හිස කඳෙන් වෙන් කළ ජනාවරි 09 දින, අපි මරණ දඬුවම් විරෝධි දිනය ලෙස නම් කරමු.

7GradeWriterWorkshopරංජන් ප්‍රනාන්දු 

පියාපතක සැහැල්ලුව කෘතියෙනි.

Jesustoday.lk 5 වන වසර 44 වන සතිය 2021 ජනවාරි 09 වන ඉරිදා

 

Comments powered by CComment