තාරුණ්‍යයට මාවතක් නැති, මව්පියෝ ජීවිතේ ගැටගහගන්න අප්‍රමාණ දුක් විඳින මේ වැරදි ක්‍රමය ගැන මනා අවබෝධයක් ලබාගන්න මේ වගේ කාලයන් ඉතා වැදගත්. එහෙම නැතිව ව්‍යාජ හීනවල සැරිසරමින් මාධ්‍ය තොග පිටින් සපයන අපේ ඇත්ත ජිවිත වලින් එහා සිහින ලෝකවල සැරී සැරීම තමාවම නාස්ති කරගැනීමක්.

කෝවිඩ් වසංගතය තුළ තරුණ ජීවිත පත්ව ඇත්තේ දරුණු අපේක්ෂා භංගත්වයකට. එසේ වීම පුදුමයක් නෙවෙයි. තාරුණ්‍යයට විකසිත වෙන්න පුළුවන් සමාජ ක්‍රමයක් අපේ රටේ නෑ. ලෝකය තුළ වුනත් එහෙම පසුබිමක් තිබෙන රටවල් හුගාක් නෑ. ඒ රටවල උනත් සැලකිය යුතු දුප්පත් ජනතාවකගේ තරුණ දූ පුතුන්ට එහෙම ඉඩකඩක් නෑ.

අන්න ඒ යථාර්ථය තේරුම් ගත්තම මේ අපේක්ෂා භංගක්තවය තමාට විතරක් තිබෙන තත්ත්වයක් නොවන බවත් ඒ අපෙක්ෂා භංගත්වයේ පතුලට තව තව කිමිදෙන එකේ තේරුමක් නැති බවත් වැටෙහෙන්න අවශ්‍යයි.

පාසල් අධ්‍යාපනය නිමා කළාට පස්සේ කෙල්ලෙක්ට කොල්ලෙක්ට කැම්පස් යන්න බැරිවුනාත්, ලක්ෂ ගණන් වැය කරන පාඨමාලාවක් කරන්න තරම් වත්කමක් නැති වුනොත් මේ ක්‍රමය තුල ලොකු අසරණකමක් දැනෙනවා.

අම්මා තාත්තා ලොකු සල්ලිකාරයෝ නොවන නිසා. ඒ අය තාමත් කට්ට කනවා දැක්කම හිතක් පපුවක් තියෙන, සංවේදිතාවයක් තියෙන කොල්ලෙක්ට කෙල්ලෙක්ට තව අවුරුදු තුන හතරක් ඉගෙන ගන්න හිත හදාගන්න එක අමාරු කාර්යයක්.

අනිත් අති්න් අම්මලා තාත්තලා කට්ටක් කාලා ඒ ලේවල් කරවලා නිකම් මොකක් හරි කුලී වැඩක් තමන්ගේ පුතා, දුව කරනවා දකින්න කැමැතිත් නෑ. ඔවුන් තව ටිකක් ඉගෙන ගෙන හොඳ රස්සාවක් කරන්න පුතාට කියන්නේ තව ටිකක් දුක් විඳින්න ස්වෙච්ඡාවෙන් ඉදිරිපත් වෙමින්. ඒ ඉගෙනීම තමාගේ පුතාට දුවට විශාල බරක් බව අම්මලා තාත්තලාට හිතෙන්නේ නෑ. නමුත් කොල්ලෙකුට කෙල්ලෙකුට ඒක තදට වදින දෙයක්. ලංකාව ඇතුලේ හරි හමන් පාට් ටයිම් ජොබ් සංස්කෘතියක් නෑ.

තව අවුරුදු දෙකයි. ! තම වුරුද්දයි  ! ඊට පස්සේ මම ගෙදරට බරක් වෙන්නේ නෑ කියමින් කාලය ගණන් කරමින් අමාරුවෙන් ඉගෙන ගන්න අතර මේ වගේ හිරවීමක් කියන්නේ පට්ට අවුලක්.

ඒත්, එහෙම අවුල් වෙලා බෑ. අවුල් වුණා කියලා කිසිම යහපතක් වෙන්නේ නෑ. තව තවත් මානසිකව, ශාරීරිකව දුර්වලවීමක් විතරයි වෙන්නේ. ඒ නිසා වෙනස් සිතීමක් හා ක්‍රියාවක් වෙත යොමුවෙන්න අවශ්‍යයි.

එකක් තමයි තමන්ගේ දිවි පැවැත්ම කිසි ලෙසකින්වත් ගෙදරට බරක් නොවන ලෙස තව තවත් අල්පවිඡ කරගන්න එක. අවශ්‍යම කෝල් එකක් මිස ඩේටා වැය නොකරන එක. ෆෝන් බිල ගැන අති සංවේදි වන එක.

දෙවැන්න තමයි ගෙදර වැඩවලට එකතුවෙන එක. පුංචි ඉඩක් හරි ඇත්නම් මොනවා හරි දෙයක් වවන එක. ගෙදර කළ යුතු දෙයක් නිදසුනකට කැඩුනු දෙයක් හදන එක. දෙමාපියෝ අකමැති වුනත් සමාජ විරෝධි නොවන පුංචි රැකියාවක අවස්ථාවක්  ලදොත් යෙදෙන එක. එසේ කටයුතු කරන එක වරදක් නොවෙයි.

ඒ අතර තමන්ගේ පාඨමාලාවට අමතරව ජීවිත අධ්‍යාපනය සඳහා ක්‍රියා කරන එක. කියවීමට විකල්ප අවකාශ තියෙන නිසා ඒකට ඉඩ තිබෙනවා. දන්න කියන අයගෙන් උදව් ගන්න පුළුවන්.

තවත් දෙයක් තමයි තමන්ගේ හැකියාවන්ගේන් ප්‍රයෝජනයක් ගන්න එක. ලියන්න පුළුවන්නම් ලියන එක. ගයන්න පුළුවන් නම් සිංදුවක් නිර්මාණය කරන එක. අඳින්න පුළුවන් නම් පෑන‍ෙන් පැන්සලෙන් හෝ අඳින එක.

තාරුණ්‍යයට මාවතක් නැති, මව්පියෝ ජීවිතේ ගැටගහගන්න අප්‍රමාණ දුක් විඳින මේ වැරදි ක්‍රමය ගැන මනා අවබෝධයක් ලබාගන්න මේ වගේ කාලයන් ඉතා වැදගත්. එහෙම නැතිව ව්‍යාජ හීනවල සැරිසරමින් මාධ්‍ය තොග පිටින් සපයන අපේ ඇත්ත ජිවිත වලින් එහා සිහින ලෝකවල සැරී සැරීම තමාවම නාස්ති කරගැනීමක්.

මේ වගේ කාලවල තමයි ජීවිතේ ගැඹුරුම අරුත මිනිස්සු දකින්නේ. ජීවිතයට වටිනා මෙහෙවරක් ඇති බව දැකගන්නේ. ඉතිං විකල්ප සිතිමි අවශ්‍යයි. විකල්ප ක්‍රියාමාර්ග අවශයයි.

Jesustoday.lk 5 වන වසර 14 වන සතිය 2021 ජුනි 06 වන ඉරිදා

 

Comments powered by CComment