සාගර පතුලේ උෂ්ණත්වය ඉහළ යාම සමඟ ඒ ප්‍රදේශවලින් මත්ස්‍යයින් වෙනත් මුහුදු ප්‍රදේශ කරා සංක්‍රමණය වන අතර එය එම සාගර තණබිම් ප්‍රදේශ විනාශ වන බවට ලකුණක් බවද ඈ සඳහන් කරන්නීය.

ෂාමා සන්දුයා (Shaama Sandooyea)

පසුගියදා සාගර පතුලේ සිට සාගර අභය භූමි ජාලයක් නම් කරන ලෙස ඉල්ලමින්, විරෝධතා ව්‍යාපාරයක් දියත් කරමින් මුළු ලෝකයේම අවධානය උක්ත කාරණය සම්බන්ධයෙන් යොමු කිරිමට සමත්වු ෂාමා සන්දුයා (Shaama Sandooyea) තවමත් විසි තුන් හැවිරිදි යුවතියකි.

1997 ජනවාරි 07 වනදා මුරුසි දූපත් හී උපත ලද ඇය, අප්‍රිකානු මහද්වීපික ක්‍රීඩා තරඟාවලීයේදී සිය රට නියෝජනය කරමින් බැඩ් මින්ටන් ඉසව්වෙන් රිදි හා ලෝකඩ පදක්කම් දිනා ගැනීමට සමත්වූ තරුණ ක්‍රීඩිකාවකි.

තරුණ ක්‍රීඩිකාවක ලෙස වූ ඇගේ ජනප්‍රියත්වය ඇය ආයෝජනය කරනු ලැබුවේ ලෝකයේ අවධානය මෙතෙක් යොමු නොවු ප්‍රශ්නයක් වෙත යොමු කිරීමටයි.

ඇය මේ වසරේ මාර්තුවේදී ග්‍රීන් පීස් සංවිධානයේ පරිසරවේදින් හා විද්‍යාඥයින් සමඟ සාගර පතුලේ පර්යේෂණ මෙහෙයුමකට එක්වූවාය.

පෘතුවි ගෝලය මතු පිටට මිනිසා කරනු ලබන හානියට වඩා විශාල හානියක් සාගරයට කරමින් සිටින බව දැන් අනාවරණය වෙමින් පවතී.

අප මෙතෙක් දැන සිටි ඇමසන් වනාන්තර උරාගන්නා කාබන්ඩයොක්සයිඩ් ප්‍රමාණයට වඩා වැඩි කාබන්ඩයොක්සයිඩ් ප්‍රමාණයක් සාගර තණබිම් මගින් උරා ගන්නා බවත් එබැවින් සාගර තණබිම් පෘතුවි උෂ්ණත්වය පවත්වා ගැනීම කෙරෙහි විශාල සේවයක් කරන බවත් අනාවරණය වී ඇත.

‘නිල් ආර්ථිකය’ යන ආකාර්ෂනීය පාඨය ඔස්සේ ලෝකයේ බලවත් රටවල් සාගර පතුලේ බොහෝ සම්පත් මෙන්ම සාගර තණබිම්ද විනාශ කරමින් සිටි.

ෂාමා සන්දුයා. සමුද්‍රජීවි විද්‍යාව හදාරන්නීය. ඈ ඇතුළු පරීක්ෂණ කණ්ඩායම අනාවරණය කළේ සී ෂ‍ෙල්ස් දූපත්වල සිට කිලෝමීටර් 735 ක් පමණ ඈතින් පිහිටි සාගර තණබිම් කොල කැස්බෑවන්, ඩොල්ෆීන් ඇතුළු සුවිශේෂි සමුද්‍ර ජීවින්ට වාසස්ථානය වන අතර ඇමසන් වනය තරමට වැදගත් මෙහෙවරක් ඉටු කරන බවයි.

සාගර පතුලේ උෂ්ණත්වය ඉහළ යාම සමඟ ඒ ප්‍රදේශවලින් මත්ස්‍යයින් වෙනත් මුහුදු ප්‍රදේශ කරා සංක්‍රමණය වන අතර එය එම සාගර තණබිම් ප්‍රදේශ විනාශ වන බවට ලකුණක් බවද ඈ සඳහන් කරන්නීය.

‘සාගර අභය භූමි ජාලයක් වහා නම් කරනු’ ‘සාගර තණබිම් සුරකිනු’ මේ තරුණ සාගර ජීව විද්‍යාඥ පරිසරවේදිනිය සාගර පතුලට බැස ලෝකයෙන් ඉල්ලා සිටි. ලෝකය පුරා විසිරි සිටින තරුණ තරුණියන්ට ෂාමා කදීම ආදර්ශයකි.

Jesustoday.lk 5 වන වසර 15 වන සතිය 2021 ජුනි 13 වන ඉරිදා

 

Comments powered by CComment