ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යොදා ගන්නෙත් දෙමළ මුස්ලිම් අයට විරුද්ධව මිසක් සිංහල අයට විරුද්ධව නොවෙයි නේද ? ජනපති සමාව ලැබෙන්නත් තමන්ගේ පාක්ෂිකයින්ට, තමන්ගේ පැත්තට එන අයට, ධනවතුන්ට නේද ? එහෙම වෙන එක දේව කැමැත්තද 

“මම සිරගතව සිටියෙමි. ඔබ මා බලන්න ආවාහුදැයි” ජේසුස් වහන්සේ අපෙන් විමසන බව කිතුනුවෝ විශ්වාස කරති. එසේම සිරගතවූවන් මිදීම ද ක්‍රිස්තු මෙහෙවරේ කොටසකි.

ඒ අනුව දුමින්ද සිල්වා නිදහස් කිරීම ගැන අපේ තරුණ සමිතියේ කීප දෙනෙක් අතර පැවැතුන සාකච්ඡාව ගැන කෙටි සටහනක් තබන්න හිතුණා.

“දුමින්ද නිදහස් කිරීම නිත්‍යානූකූලයි” එහෙම කිව්වේ අපේ තරුණ සමිතියේ සභාපති.

“ඒ කොහොමද එහෙම වෙන්නේ”

“ඇයි ජනාධිපතිට ඒ සඳහා තිබෙන නිත්‍යානූකූල බලය අනුවනේ එහෙම කරලා තියෙන්නේ”

“අපි ප්‍රශ්නේ දිහා බලන්න ඕනි ලෝක නීතිය අනුව නෙවෙයි. දේව නීතිය අනුව”

පුංචි ස්වාමි එහෙම කිව්වම තමයි. අපේ දේව ධර්ම උපාධිය හදාරන සභාපති තුමා කිව්වේ “ජේසුත් කියලා තියෙනවනේ සිරගත වූවන් මුදවන්න” කියලා.

“එතකොට එහෙනම් සියලුම සිරගතවූවන් නිදහස් කරන්න. දුමින්දව විතරක් නොවෙයිනේ”

”ඇයි නැත්තේ එල්. ටී. ටී. ඊ. එකේ 16 කුත් නිදහස් කරලා තියෙන්නේ ?"

අපේ සභාපති තුමා පාදයක් පෙරට ගෙන පහරක් ගැසුවේය.

“එල්. ටී. ටී. ඊ. 16 දෙනා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට අරගෙන දීර්ඝ කාලීනව රඳවාගෙන සිටි අය මිසක් දුමින්ද සිල්වා මෙන් රටේ ඉහළම අධිකරණය ඇතුළු අධිකරණ දෙකකින් මරණ දඩුවම නියමවූවෙක් නෙවෙයි”

එහෙම කිව්වම සභාපති තුමා මදක් නිහඬ වුණේ තමාගේ ඊළඟ අරමුණ වන ඊළඟ පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත්වීමේදි දිනක පැත්ත තෝරා ගැනීම සාධාරණිකරණය කිරිමට තර්ක සෙවීමේදී තමාගේ ක්‍රිස්තියානි දැක්මට සිදුවන හානිය හඳුනා ගත්තා වාගේය.

“ඔයාලා හිතන විදිහට ඇයි ආණ්ඩුව දුමින්ද සිල්වා ව නිදහස් කිරිමත් එල්. ටී. ටී. ඊ. රැඳවියන් නිදහස් කිරිමත් එකවර කරන්න ඇත්තේ”

පුංචි ස්වාමි දුස්රා පන්දුවක් දැම්මා. (පවතින) දේශපාලනය ගැන උනන්දු සභාපති තුමා මෙන්ම දේශපාලන සාක්ෂරතාවය නැති බහුතර සාමාජික සාමාජිකාවෝද නිහඬ වූ විට පවතින දේශපාලනය නොව ක්‍රිස්තියානි සමාජ දර්ශනය කියන දේශපාලනයක් අපිට ඕනෑ යැයි කියන අපේ තරුණ සමිතියේ ‘ඇණය’ වන රවිඳුවා මෙහෙම උත්තර දුන්නා.

“මානව හිමිකම් ගැන අධිකරණයේ ස්වාධිනතාවය ගැන අට අනුවක් ප්‍රශ්න නඟන ජාත්‍යන්තර සංවිධානවලට දුමින්ද නිදහස් කිරීම පහසුවෙන් විවේචනය කරන්න බැරි වෙන්න තමයි ගුග්ලී පන්දුවක් හා දුස්රාවක් එකට එක්කොට විශේෂ පන්දුවක් ආණ්ඩුව දැම්මේ”

ඒක සැබැයි. සැබැයි ! යන්න තේරුම් ගන්න. සෙසු අදේශපාලනික ඔළු ගෙඩිවලටත් පුළුවන් වූ බව මුහුණුවලින් පෙනුනා.

දුමින්ද නිදහස් කිරිමේ කසකාර කතාව පාර්ලිමේන්තුවේ පැවැත්වූයේ නාමල් රාජපක්ෂ ඇමති තුමා. ඔහු කිව්වේ දුමින්ද ගැන නොවෙයි. නඩු විභාගයකින් තොරව හෝ අධිකරණ ක්‍රියාවලියට යොමු නොවී වසර ගණනාවක් සිරගතවී සිටින තරුණ තරුණියන්ගේ ජීවිත නාස්ති වන බවයි. එහෙම වෙන්නේ ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත දිගින් දිගටම තබා ගැනීම හා එවැනි වෙනත් විශේෂ පනත් තබා ගැනීම නිසා කියලා නම් ඔහු කිව්වේ හෝ අධිකරණ ක්‍රියාවලියට යොමු නොවී වසර ගණනාවක් සිරගත වී සිටින තරුණ තරුණියන්ගේ ජීවිත නාස්ති වන බවයි. එහෙම වන්නේ ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත දිගින් දිගටම තබා ගැනීම හා  වෙනත් විපක්ෂ පනත් තබා ගැනීම නිසා කියලා නම් ඔහු කිව්වේ නෑ.

“ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යොදා ගන්නෙත් දෙමළ මුස්ලිම් අයට විරුද්ධව මිසක් සිංහල අයට විරුද්ධව නොවෙයි නේද ? ජනපති සමාව ලැබෙන්නත් තමන්ගේ පාක්ෂිකයින්ට, තමන්ගේ පැත්තට එන අයට, ධනවතුන්ට නේද ? එහෙම වෙන එක දේව කැමැත්තද ?

පුංචි ස්වාමි සන්සුන් ඉරියව්වෙන් ප්‍රශ්න කීපයක් ඇසුවා.

කොහොම උනත් අපේ අලුත් පුංචි ස්වාමි නිසා වෙනදා තරුණ සමිතිය ඉවර වෙලා හෝ තරුණ සමිතිය තුළ දෙතුන් පැත්තකට බෙදිලා නිල්, රතු, කොළ වර්ණවලින් දකිමින් අදහස් බොදගන්න අපේ තරුණ සමිතියේ කට්ටිය දැන් ‘ජේසුගේ ඇසින්’ කියන බැල්මට ටික ටික යොමුවෙන බව පේනවා. ඒක නම් සතුටක්.

Jesustoday.lk 5 වන වසර 19 වන සතිය 2021 ජූලි 11 වන ඉරිදා

 

Comments powered by CComment