බොහෝ පිරිසක් ගතින් එක් තැන සිටියත් ඩිජිටල් සංක්‍රමණකයින් බවට මානසිකව පත් වී සිටිනවා. මුල් ගැලවුනු අවතැන් වූවන් බවට පත් වී සිටිනවා.

 

සනත් කුමාර කෙනෙක් හෙවත් සදාතන යෞවන බවින් යුතු තරුණ තරුණියන් වීම සැබෑ අභියෝගයක්.

ඒ, ඉතාම යොවුන්, තරුණ අදහස් ලෙස තාරුණ්‍යයට තිළිණ කරන්නේ ඉතාම ජරපත් වෙච්ච වෙළඳපොළ ක්‍රමයේ අදහස් නිසාවෙන්.

ඒ අදහස් බොහොමයක් නවීන උපකරණ, ඩිජිටල් උපාංග, නූතන මාධ්‍ය හරහා අතිශය විසිතුරු ලෙස සමාජගත කෙරෙනවා.

නිකමට හිතලා බැලුවොත් රියැලිටි වැඩ සටහන් දිහා. ඒවා තුළ පිටාර ගලන්නේ තාරුණ්‍යයේ ජවය කා දමන කාලකන්නී පරණ ගතියක් නොවෙයිද ?

සමාගම්වල ලාභය උදෙසා ගොදුරු වීම නොවෙයිද සිද්ධ වෙන්නේ. එවැනි රියලිටි තරඟයක අවසන් විසිහතර දෙනා වෙනුවෙන් එස්. එම්. එස්. මගින් මනාපය ප්‍රකාශ කළ තරුණ තරුණියන් වගේම මැදිවියේ කීප දෙනෙකුත් සමග කතා බහ කළා.

ඔවුන් තමන්ගේ ප්‍රදේශයේ, නිසා ආගමේ නිසා, පාසලේ නිසා ආදී අතිශය මහළු මිණුම් දඩු මත එස්. එම්. එස් මනාප පළ කරන්න වැය කළ මුදල්වල සාමාන්‍ය රු. 200/ක්. රු 200 ගානේ ලක්ෂයක් දෙනා මනාප ඵල කළොත් ඒ වැඩ සටහන විකාශනය වන පැය දෙක තුළ සන්නිවේදන සමාගම්වලට නිකම්ම රු. 200 00 000 ලැබෙනවා. ඒ කියන්නේ කෝටි දෙකක්.

අපි දන්නවා මේ වැඩ සටහන්වල ප්‍රේක්ෂක සංඛයාව ලක්ෂයක් නොවෙයි කියලා. ඉතිං හිතලා බලන්න මේ උගුලට හසුවෙන තරුණ තරුණියෝ අතිශය මහළු නොවෙයි ද කියලා. තාරුණ්‍යය කියන්නේ පවතින යථාර්ථයේ අඳුරු අහුමුළු ඛණ්ඩනය කරන ආලෝකවත් බවක් සහිත ගුණයක්.

මේ ගැන ප්‍රැන්සිස් සුදතුම් පියතුමා ක්‍රිස්තුස් ජීවමානයි අපොස්තලික අනුශාසනාවේ මෙහෙම සඳහන් කරනවා.

“අද මංගත, අන්තර්ජාල සබඳතා බොහෝ තරුණ පිරිසක් නිර්-මානුෂික බවට පත් කර තිබෙනවා. ඇතැම් විට ඩිජිටල් අවකාශයේ දේවල් අපව අන්ධභාවයට පත් කරනවා. තව කෙනෙකුගේ අසරණකම දුබලකම පාවිච්චි කරන්න පෙළඹවනවා වගේම අපේ ස්වයං මෙනෙහි කිරීමෙන් අපව ඈත් කරනවා."

අසභ්‍ය පතපොත, චිත්‍රපටි, ලිංගිකත්වය පිළිබඳ මිනිසුන්ගේ සංජාතනය වෙනස් කරනවා. තාක්ෂණය මානව උදාරත්වය පහත හෙලීමට යොදාගන්නා තත්ත්වයක් ඇති වී තිබෙනවා.

"බොහෝ පිරිසක් ගතින් එක් තැන සිටියත් ඩිජිටල් සංක්‍රමණකයින් බවට මානසිකව පත් වී සිටිනවා. මුල් ගැලවුනු අවතැන් වූවන් බවට පත් වී සිටිනවා.”

එතුමා ඒ යථාර්ථය සඳහන් කරන ගමන්ම පවසනවා. අද සිටින තාරුණ්‍යයට මේ අභියෝගය තුළ ජීවත්වෙන්න සිදුවන බව. ඊට ශක්තිය සැපයීම සැමගේ යුතුකම බව.

“නමුත් අමතක නොකළ යුතුයි මේ සයිබරිය නව තත්ත්වයට මුහුණ දීමට වී තිබෙන්නේ මේ තරුණ පරපුරට බව, තමන් නොදන්නා ලෝකයට පා තබන්නට වී තිබෙන්නේ ඔවුන්ටමයි. ඒ අභියෝගයට මුහුණ දීමට අප ශක්තිය සැපයීය යුතුයි.”

මේ ගීතිකාව යෞවන යෞවනියන් ලෙස අපට අවශ්‍ය ඒ ආලෝකය මතු කරගන්න හොඳ යැදුමක්.

සදා යෞවන ජේසුනි
ලබා දෙනු මැන නීතියෙනි
ඔබේ හදේ තිබු තුරුණු බව අපට
සදා යෞවන ජේසුනි
ඔබේ හදේ පිරි ප්‍රේමයෙන් අපි
පිරෙන්නට හිස් වන්නෙමු

සතුරටත් ප්‍රේමයම පුදනා
පාපයත් ප්‍රේමයෙන් මුදනා
ප්‍රේමයම දෙවිඳුන්ය දකිනා
ප්‍රේමයේ පවතින්නටා

පීඩිතව දුක් විඳින ජනයා
දිළිඳු පව්කාරයන් දැකලා
බඩේ බඩවැල් උණුවෙනා
ප්‍රේමයෙන් පෙම් බදින්ටා

විශ්වයේම තම නිවස සදනා
ඥාති බව ප්‍රේමයෙන් මනිනා
කොන්දේසි කිසිවක් නැති වූ
ප්‍රේමයෙන් ලොව දකින්න

Jesustoday.lk 5 වන වසර 37 වන සතිය 2021 නොවැම්බර් 21 වන ඉරිදා 

 

Comments powered by CComment