“කපල් එකක් ප්‍රී ෂූට් හා වෙනත් වියදම් කපලා. ඒ සල්ලි වලින් ගෙවල් හයකට විදුලි සබඳතා ලබා දීලා."

 

තරුණ සමිතිය

2022 ට තරුණ සමිතිය රැස්වුණේ අද ජනවාරි තුන්වෙනිදා. පුංචි ස්වාමි ටිකක් පරක්කු වුණේ වෙඩින් මාස් එකක් (කසාද පූජාවක්) නිසා. අපි ඉති වෙඩින් මාස් එක ඉවර වෙනකල් උන්නා.

පොට්ටු පොට්ටු මල් පොහොට්ටු
පෙත්ත පෙත්ත විකසිත වී
මල් ලෝකෙට පිවිසෙනවා.
කැදැල්ලේ  උන් කුරුළු පැටව්
මව්පියෝ හැර‍ දෙපත් සලා
අහසට ඉගිලි යනවෝ

ඒ ගීතිකාව පසුබිමේ මනාල යුවල පල්ලියෙන් පිටවෙලා යන හැටි අපිට පේනවා.

දැන් ඉතිං ඔය මල් ලෝකෙටද ? පිවිසෙන්නේ ?

අපිත් ටිකක් ඈතින් දන්න කපල් එක ලොකු ණය ලෝකෙකට පිවිසෙන බව අපි දන්නවා.

එකසිය පනහකට පමණ දෙපැත්තේම පාටි දෙකක්. දෙපැත්තේම අය වෙඩින් එක ගන්න ණය වෙලා.

අපේ කතා බහ ගීතිකාව එක්කම ඇදි ගියා

“මම නම් ඔය ගීතිකාවට එච්චර කැමැති නෑ”

“අහසට ඉගිලි යනවෝ”

වෙඩින් එක ගන්න දවස් හතර පහේ, ප්‍රී ෂූට් එකේ, වෙඩින් එකේ නම් සිහින අහසක සැරිසරනවා. හැබැයි හෝම්කමින් ඉවර වෙලා දෙන්නා ජීවත්වෙන්න පටන් ගත්තම තමයි ඇත්ත මහ පොළව හම්බවෙන්නේ.

“ඒක ඇත්ත. ගීතිකාවෙන් කියන්නේ ඔවුන් දැන් ඔවුන් ලෙස ජීවිතය ඉදිරියට ගෙනි යන්න හදනවා කියන එකනේ."

"ඔව්, ඔව් මම නිකමට වගේ කිව්වේ අහසින් පොළවට වැටෙන්නේ ඇත්ත ජීවිතයට ආවම"

"පුංචි ස්වාමි වෙඩින් මාස් එක ඉවර වෙච්ච ගමන් ආවා"

“අද මට පූජාවේදි තරහත් ගියා. හැමෝම ඉන්නේ පූජාවේ නෙවෙයි. වෙන වෙන ලෝකවල. උත්තර දෙන්නේ ගීතිකා කියන දෙන්නා විතරයි. ජන වන්දනාවක් නැති තරම්"

"අපිත් ඉතිං ෆාද ඕකට වගකියන්න එපැයි. පල්ලියත් දැන් ඉතිං වෙඩින් මාස් වලට පැකේජ් ඉදිරිපත් කරනවානේ. වීඩියෝ කරනවා නම් එච්චරයි. පල්ලියෙන්ම සැරසිලි ගන්නවානම් මෙච්චර වගේ"

පුංචි ස්වාමි හිනා වුණා. ඒ එකඟතාවයක් ඵළ කරමින්.

“ඇත්තටම කොල්ලා අවුරුදු හතරක් හම්බ කරපුවයි. තවත් රු 4 00 000 ක් ණයට අරගෙන මේ වෙඩින් එක කරලා තියෙන්නේ."

කෙල්ල කියනවා එයාගේ අම්මලා තාත්තලා වෙච්ච ණය ගෙවන්න අවුරුදු තුනක්වත් තම රස්සාව කරන්න වෙනවලු.

ඔන්න ඔය අතර තමයි අපේ එකෙක් ෆේස්බුක් පෝස්ට් එකක් පෙන්නුවේ.

“කපල් එකක් ප්‍රී ෂූට් හා වෙනත් වියදම් කපලා. ඒ සල්ලි වලින් ගෙවල් හයකට විදුලි සබඳතා ලබා දීලා."

තමන්ගේ ජීවිත ණය වෙලා අඳුරු කරගන්නා ලෝකෙක උන් දෙන්නා නම් පට්ට

ක්‍රිස්තියානි කොල්ලෙක් කෙල්ලෙක් ලෙස ඒක අපිට ලොකු අභියෝගයක් නේද ?

මේ අවුරුද්දේ (2022) වෙඩින් එක ගන්න ප්ලෑන් කරන තුන් දෙනෙක්ම තරුණ සමිතියේ ඉන්නවා. ඒගොල්ලන්ට අවුරුද්ද මුල මේ කතා බහ හොඳ ආලෝකයක් වේවි.

කසාදේ තමයි අපේ විනාසේ. බවට පත් නොකරගෙන තමනුත් පවුලේ අයත් ලෝකයත් නිදහස් කරන කසාදයක් ගැන හිතන්න.

Jesustoday.lk 5 වන වසර 44 වන සතිය 2021 ජනවාරි 09 වන ඉරිදා

 

Comments powered by CComment