ඔහුගේ පාසලට එක මොහොතකට ඇතුළු වුනොත් ඇති. අවුරුදු ගණන් ඉගෙන ගන්න අවශ්‍ය නෑ. ශුද්ධ වූ වාක්‍ය කට පාඩම් කරන්න අවශ්‍ය නෑ. ඔහු ආලෝකය දල්වා ගන්න යතුර එක වචනයකින් අපේ අතට දෙනවා.

ඔබ දන්නවා ජේසුස් අපේ නිවසට පැමිණි දා සිදුවු දේ. ඇත්තටම ජේසුස්ට ආරාධනා කළේ මම. ඔහු ඔහුගේ පිරිවර සමඟ පාද චාරිකාවේ යෙදෙමින් සිටියේ.

ඒක හිතාගන්න බැරි කැපවීමක්. ඔහුගේ පිපාසය වුණේ යුක්තිය, ප්‍රේමය

ඒ නිසා ඔහුට පිපාසය මහ ලොකු දෙයක් වුණේ නෑ. ජේසුගේ කුසගින්න වුණෙ දේව කැමැත්ත ඉටු කිරීම.

ඒ නිසා ඔහුට කුසගින්න එය ලොකු දෙයක් වුණේ නෑ.

ඒක මම දැනන් හිටියා. ඒ නිසාම තමයි මට ඕනි කළේ ඔහුට හොඳ කෑම වේලක් දෙන්න. ඒක මගේ ගෑණුකම වෙන්න ඇති. හැබැයි මම දැන් තේරුම්ගෙන තිබෙනවා. ඒ ගෑණුකම ස්ත්‍රීයව කුස්සියට සීමා කරපු සම්ප්‍රදායෙන් එන්නක් කියන එක.

මට ඇත්තටම ඕනි කළේ මිනිස්සු වෙනුවෙන් එපමණ වෙහෙස වන මිනිසාට සංග්‍රහ කරන්න. මම හිතුවේ ඒක තමයි. ඔහුගේ මෙහෙවරට මට කළ හැකි දේ කියලා.

ඉස්තරම් සත්කාරයක්. මගේ සහෝදරි ඒ ගැන වගක් නැතිව ජේසු එක්ක ලොකු කතාවක්.

මම ඇගේ ක්‍රියාව ගැන චෝදනා කිරීම ගැන මට ඇත්තටම දැන් පසුතැවීමක් තිබෙනවා. අපිව පුරුදු කරලා තියෙන්නේම එතරම් වැදගත් නැති හුගාක් දේවල් ගැන ඕනෑවට වඩා කරදර වෙන්න. ඒ අතර අපි දන්නේම නැතිව අපිට ඉතා වැදගත් දේවල් ගැන කිසිදු ආකාරයකින් අපි හිතන්නේ නෑ.

ජේසු කියපු වචන මගේ හදවතේ කිදා බැස්සා. ඒ වචනවල ඔහුගේ ආදරය තිබුණා. ඔහු මට සමච්චල් කළේ නෑ.

"මාර්තා මාර්තා ඔබ බොහෝ දේ ගැන කරදර වෙමින් තළංගු වන්නෙහිය.එහෙත් අවශ්‍ය එක දෙයකි."

මගේ සහෝදරි හිටියේ ජේසුගෙන් ඉගෙන ගනිමින්. ජේසුන් පුදුම ගුරුවයෙක්. ඔහු අපිව ඉගෙන ගන්න තැනට පත් කරනවා. ඔහුගේ වචන කීපයෙන් මම ඉගෙනීමට පත්වුණා. ඉගෙනීම ගෑණුන්ට අකැපැයි කිය හිතන කාලයක ඔහු මගේ සහෝදරියගේ ඉගෙනීමට කාලය දෙන හැටි මටත් කුසගිනි නොවන ආහාරයට ආරාධනා කළ හැටි විශ්මිතයි.

ඔහුගේ පාසලට එක මොහොතකට ඇතුළු වුනොත් ඇති. අවුරුදු ගණන් ඉගෙන ගන්න අවශ්‍ය නෑ. ශුද්ධ වූ වාක්‍ය කට පාඩම් කරන්න අවශ්‍ය නෑ. ඔහු ආලෝකය දල්වා ගන්න යතුර එක වචනයකින් අපේ අතට දෙනවා.

“මරියා යහපත් දේ තෝරා ගෙන ඇත. එය ඈ ක‍ෙරෙන් පැහැර ගනු නොලැබේ”

යහපත් දේ කියන්නේ ගැලවීමේ විමුක්තියේ ප්‍රඥාව. දෙවියන්ගේ කැමැත්තට නතු වීම. එය ඉටුකිරිමේ මාවතට පිවිසීම. ඒකට ඇතුළු වු පසු එය පැහැර ගන්න කාටවත් බෑ.

ඔහු මට කීවේ කොයිතරම් අඩු වචන ගණනකින්ද ? මුළු ජීවිත කාලයක් අකුරට ගියත් ඒ වචන ටිකෙන් ඉගැන්වූ දේ ඉගෙන ගන්න බෑ.

ඔහු මට වෙනස් වෙන්න කිව්වේ නෑ. නමුත් මම වෙනස් වෙලා. මරියා වගේම මමත් යහපත දේ තෝරාගත්තා. එය කාටවත් පැහැර ගන්න බෑ.

මම මගේ සහෝදරිව වැළඳ ගත්තා. මට සමාවෙන්න කියලා කිව්වා. ඈ ප්‍රේමයෙන් සිනාසුනා.

මම ඇයට දෝෂාරෝපනය කරද්දී ඇයට රිදුනේ නෑ.

එයා ප්‍රේමයෙන් පිරිලා හිටියේ. ජේසු පුදුමාකාර ප්‍රේමයේ ගුරුවරයෙක්.

Jesustoday.lk 5 වන වසර 15 වන සතිය 2021 ජුනි 13 වන ඉරිදා

Comments powered by CComment